ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ඔබ නැතුව ඔබ එක්ක දස වසරයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ඔබ නැතුව ඔබ එක්ක දස වසරයි

8 January 2019 03:12 am

දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමමින් 2015 ජනවාරියේ අද වැනි මෛත්‍රී, රනිල් සුසංයෝගය රට භාර ගන්නේ රටේ සියලු ප්‍රගතිශිලී ජන කොටස් තුළ නැවුම් බලාපොරොත්තු දල්වමිනි.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා සියලු ජාතීන්ට සම අයිතිවාසිකම් ලබා දීමට පොරොන්දු දෙන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැතිවරණ සමයේදී ජනතාවට ලබා දෙන ප්‍රමුඛ පෙ‍ාරොන්දුවක් වන්නේ මැර දේශපාලනය ඉවත් කර යහපාලනයක් රට තුළ ස්ථාපිත කරන බව පවසමිනි.

ඒ පොරොන්දු වටා සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාධරයන්, වාම දේශපාලන බලවේග ඒකරාශි වෙද්දී ජනතාව වෙනුවෙන් පෙනී සිටින රටේ මාධ්‍ය ක්‍රියාධරයන්ද ඒ හා සම්බන්ධ වන්නේ ගෙවී ගිය දස වසරක පාලනය තුළ පැහැරගැනීමට, පහරකෑමට, ඝාතනයට ලක්වු තම සහෝදර මාධ්‍ය ක්‍රියාධර‍යන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙනි.

මහින්ද රාජපක්ෂ පාලනය තුළදී උතුරේත් දකුණේත් මාධ්‍ය ක්‍රියාධරයෙන් 44 දෙනකු ඝාතනය වෙද්දි දකුණේ මෙන්ම උතුරේ දේශපාලන වේදිකාවන් තුළදී වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, කීත් නොයාර්, පොද්දල ජයන්ත වැනි රටේත් ජාත්‍යන්තරයේත් නම් දිනු මාධ්‍යවේදීන් පිළිබදවය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා ලෙස වගකීම් භාරගන්නේ සන්ඩේ ලීඩර් පුවත් පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුවී වසර හයක් සපිරෙන දිනයේය. ඒ 2015 ජනවාරි 8 දාය.

අපට මේ සටහන තබන්නට සිදුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිවිවැනි පදවි ප්‍රාප්තිය යෙදී ඇති ඇති මොහොතකය.

"දේශපාලනය සමඟ සම්බන්ධතා නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් කළ විට එය ඉතා ඉක්මණින් විභාග කොට වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට අපොහොසත් වීම හේතුවෙන් ඊට වගකිව යුතු ප්‍රධාන සැකකරු හෝ සැකකරුවන්ට අනාගතයේදී රටේ ජනාධිපති හෝ අගමැති පදවියට වුවද තේරී පත් වීමට දොරටු විවෘත විය හැකියි"

ඝාතනයට ලක්වු ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතා වෙනුවෙන් පවුලේ සාමාජිකාවක් ඉහත ප්‍රකාශය සිදු කර තිබුනේ 2018 ජනවාරි 8 වනදාය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණවල මන්දගාමීභාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් ඇය ඒ බව පවසා තිබුණේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදු කොට 2018 (ජනවාරි 08) ට වසර නවයක් සම්පූර්ණ වු දාය.

ඇය එම ප්‍රකාශය සිදු කර වසරක් සපිරෙද්දි, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර දස සරක් සපිරෙන අද දිනයේ දී මාධ්‍යවේදීන් ප්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයන් මේ වසරේත් සූදානමින් සිටින්නේ "ඝාතනයට දස වසරයි මිනිමරුවන් තවමත් නිදැල්ලේ" සටන් පාඨය පෙරටු කරගනිමින් ලසන්ත වික්‍රමතුංග මහතා සිහිකර බොරැල්ල කනත්තේ මල් මිටක් පුජා කිරීමටයි.

 ලසන්ත ඝාතනය

'සන්ඩේ ලීඩර්' පුවත් පතේ කතෘවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා රත්මලානේ කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී, අධි ආරක්ෂිත කලාපයක් තුළ මහගමදී (අත්තිඩිය ප්‍රදේශයේදී) තියුණු ආයුධයකින් ඇනීමෙන් ඝාතනය කරන ලද්දේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දිනයි.

එම අපරාධයෙන් අනතුරුව වසර දහයක කාලයක් ගතවී ඇතත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන් හෙළිකරගෙන අධිකරණය ඉදිරියට පමුණුවා දඩුවම් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලිසිය තවමත් අපොහොසත්ව ඇත.

2015 වසරේදී වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන් සොයා ගැනීමේ රාජකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් නමුත් වසර හතරක් ගත වී ඇතත් තවමත් එහි අවසන් ප්‍රතිඵලයක් ලැබී නැත.

අදාළ පරීක්ෂණ එහි අවසාන අදියරේ පවතින බව ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇතත් එම ප්‍රකාශයන් හුදු දේශපාලන වාසි කතා සිදු කරනු ලබන ප්‍රකාශයන් බවට ආණ්ඩුවට එරෙහිව දිනෙන් දින නැගෙන චෝදනා එල්ල වෙමින් පවතියි.

 දේහය ගොඩ ගැනීම

 අධි ආරක්ෂිත ප්‍රදේශයකදී මරා දමන ලද සන්ඩේ ලීඩර් පුවත් පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය 2016 වසරේ සැප්තැම්බර් 27 දින ගොඩ ගැණුනි.

රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ මොහොමඩ් මිහාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මළසිරුර ගොඩගැනීම සිදු විය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අවස්ථාවේදී ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා හා මරණ පරීක්ෂණයේ සහ රස පරීක්ෂක වාර්තාවේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇති කරුණු වල පරස්පරතාව හේතුවෙන් මෙසේ දේහය ගොඩ ගත් බව නිතිඥ අතුල එස් රණගල මහතා එවකට මාධ්‍ය වෙත ප්‍රකශ කර තිබුණි.

මාධ්‍යට වාරණයක්

දේහය වළ දමා තිබු බොරැල්ල කනත්ත අවට ආරක්ෂාව තර කර තිබු අතර දේහය ගොඩගැනීම මාධ්‍යයට ද එහිදී වාරණය කෙරිණි.

මේ අතර එක්තරා රූපවාහිනි නාලිකාවක් ඩ්‍රෝන් යානායන් ආධාරයෙන් ගුවනේ සිට මෙම දර්ශන ලබා ගැනීමට උත්සාහ කළ අතර ඩ්‍රෝන් යානය සොයා ගැනීමටද පොලීසියට නොහැකි වීමද එකල පුවත් මවන්නක් විය.

කෙසේ වෙතත් දේහයේ කොටස් රැගෙන යාමෙන් අනතුරුව දේහය තැන්පත් කර තිබු ස්ථානයට ඇතුල්වීමට මාධ්‍යයට අවස්ථාව ලබා දී තිබුණි.

 හමුදා නිලධාරියා සියදිවි නසා ගනී

සන්ඩේ ලීඩර් පුරෝගාමී කතුවර ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩ ගෙන මසක් ගතවන්නටත් මත්තෙන් ඔහුව ඝාතනය කළ බවට සටහනක් ළඟ තිබු හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියකු සියදිවි නසාගෙන තිබුනේ 2016 වසරේ ඔක්තෝබර් මස මැදදීය.

army

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ වගකීම බාරගත් බව පැවසෙන එම ලියුම හමුවී ඇත්තේ සියදිවි හානිකරගත් බවට සැක කෙරෙන හිටපු බුද්ධි අංශ නිලධාරියකු වෙත තිබීය.

සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරුණු සාජන් මේජර් ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න විසි අට වසරක සේවයෙන් පසු 2007 දී හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයකු බව යුද හමුදා ප්‍රකාශකයා සදහන් කර තිබුණි.

 හමුදා පරීක්ෂණයක් නෑ

 විශ්‍රාම ගිය හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න එවකට සදහන් කළේය.

දුරකථන ඇමතුමක් අනුව ගිය ත්‍රිරෝද රථ රියදුරකුට මියගිය හමුදා නිලධාරියා නිවසේ මුළුතැන්ගෙය තුළ ගෙල වැලලාගෙන සිටිනු දකින්නට ලැබී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එවකට පවසා තිබුණි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් එවකට රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශයේ ‘සිය මිතුරු’ මිලින්ද උදලාගම වරදකරු නොවන බව සඳහන් ලිපිය සැකකරු නිදහස් කරන ලෙස ද ඉල්ලා තිබුණි.

Lasantha suicide note k

 අණ දුන් අය ගලවා ගැනීම

 “මෙය ඝාතනයට අණ දුන් පුද්ගලයන් ගලවා ගැනීමේ උපායක් විය හැකි,” යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ප්‍රකාශ කළ බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එදින ප්‍රකාශයට පත් කළේය.

Lasantha Azzam twitter g

ගල්කිස්ස පොලිසියෙන් ඇරඹි ලසන්ත ඝාතන පරීක්ෂණ එතනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයටත්, යළි 2015 සැප්තැම්බරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැවරුණි. අතින් අතට මාරු වූ මෙකී පරීක්ෂණයන්ට දැන් වසර දහයක් ගතව ගොස් තිබේ.

දැනට සිදුව ඇති විමර්ශනයන්ට අදාළව ලසන්ත ඝාතන වුවමනාව තිබී ඇත්තේ කාටද යන්න පැහැදිලිව තිබේ. එහෙත් පරීක්ෂණ අවසන්ව නැත. එහෙයින් අපටද තවත් යම්කිසි කාලයක් බලා හිඳීමට සිදුව ඇත. බලයෙන් ඔද්දල්වූ ලේ පිපාසිතයින් රටට අහිමි කළ දෑ බොහෝය. එකී අහිමි කිරීම් වෙනුවෙන් සියල්ලන්ට ප්‍රති උත්තර ලැබිය යුතුය. එතෙක් අපිද දෑස් නොපියා බලා හිඳිමු.

ලසන්ත ඝාතනය : පරීක්ෂණ පැමිණි මඟ බලාපොරොත්තුවන්න