ලසන්ත වික්‍රමතුංග ඝාතනය : "ඔබ නැතුව ඔබ එක්ක දස වසක්" - පරීක්ෂණ කොයිබටද ?

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : "ඔබ නැතුව ඔබ එක්ක දස වසක්" - පරීක්ෂණ කොයිබටද ?

8 January 2019 07:17 am

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මුල් වරට පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ ගල්කිස්ස පොලීසිය විසිනි.

ඉන් අනතුරුව එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ත්‍රස්ත විමර්ශන අංශයටත් යළි 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරේ.

එවකට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවක් ගානේ කැට තබා ප්‍රකාශ කළේ එදා රාජපක්ෂ පාලනයේ පැවති පොදු සමාජයෙන් සඟවා තැබීමට උත්සහ දැරූ එකී කුරිරු හිංසනයන්ට යුක්තියෙන් ප්‍රති උත්තර බඳින බවයි.

මේ වන විට එහි යථාර්ථය ගැන වෙනම සිතා බැලීමට සිදුවෙයි. එය එසේ වන විට,ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් වසර 09ක් ගෙවුණු මොහොතේදී ( පසුගිය වසරේ)වැඩි කතාබහකට ලක් වූයේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකුට එරෙහිව ඒ මොහොත වන විට නීතිය ක්‍රියාත්මක වීමයි.

අතින් අතට මාරු වූ ලසන්ත ඝාතනයට CID ය පණදෙයි

අතින් අතට මාරු වූ ලසන්ත ඝාතනයට එලෙස නව පණක් ලැබුණේ සැබවින්ම එය යළිත් වරක් නිසි තැන නිසි නිලධාරීන් අතට පත්වීමෙන් අනතුරුවය. එහි ප්‍රථිපලයක් ලෙස ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය යට ගැසීම සහ සාක්‍ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගත්තේය. එහි ප්‍රබලතම සාක්ෂිකරුවෙකු වූ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිව කටයුතු කළ ප්‍රසන්න නානායක්‌කාරද අත්අඩංගුවට පත්විය.

එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතාය.

එහෙත් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිව කටයුතු කළ ප්‍රසන්න නානායක්‌කාර තවදුරටත් හෘද සාක්ෂියට වසන් වීම නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකී පරීක්ෂණ එම ඉමෙන් පන්නා ගැනීම දුෂ්කර කටයුත්තක්ව පැවතුණි.

ලසන්ත ඝාතනය සිදු වූ කාල සීමාවේ ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වූ හේමන්ත අධිකාරි මහතාවද සී.අයි.ඩී.යට ගෙන්වා ප්‍රශ්න කර තිබේ.

මේ අතින් අතට මාරු වෙමින් තිබූ ලසන්ත ඝාතන පරීක්ෂණ යළි අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට පැවරීමේ ප්‍රථිපලය.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන දුරකථන අංක පහක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වන අතර ඒ ඔස්සේ වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරමින් එවකට නුවර එළියේ පදිංචිව සිටි ජේසුදාසන් නැමැත්තා 2010 වසරේ පෙබරවාරි මාසයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.

සරත් ෆොන්සේකා බිල්ලට දීමට උත්සහ කිරීම

ඒ වන විටත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත පැටවීමට කටයුතු කරමින් සිටි ත්‍රස්ත විමර්ශන ඒකකය සිදු කර ඇත්තේ එම ඝාතනයට සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කිරිමේ අරමුණින් ඔහු යටතේ සේවය කළ හමුදා නිලදාරීන් 17 දෙනකු ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමයි.

කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක බව දැනගත් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අවස්ථා දෙකකදී අධිකරණය මගින් ඔවුන්ට ඇප ලබා දීමට ක්‍රියා කර තිබේ.

කෙසේ නමුත් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් වන අයකුට ඇප ලබා ගත හැක්කේ නීතිපති උපදෙස් අනුව පමණි.

ලසන්ත ඝාතන සිද්ධියේ මූලික විමර්ශන කටයුතු භාර වී තිබුණේ තිස්‌ස සුගතපාල වෙතය. ඒ අනුව ඝාතනය වූ අවස්‌ථාවේ ලසන්තගේ මෝටර් රථයේ තිබූ ඔහුට අයත් දේපළ සියල්ල තිස්‌ස සුගතපාල වෙත ලැබෙන්නේ 2009 වර්ෂයේ ජනවාරි 16 වැනිදා ය.

ලසන්ත පුරුද්දක්‌ වශයෙන් තොරතුරු සටහන් පොතක්‌ පාවිච්චි කළ අතර එය ඔහු අත සෑම අවස්‌ථාවකදීම පාහේ දක්නට ලැබුණි. දෛනිකව විශේෂ සටහන එහි තැබීම ඔහුට පුරුද්දක්ව තිබුණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන විටත් එම පොත් ඔහුගේ මාටර් රථයේ තිබී ඇත.

එම සියලුම දේවල් තිස්‌ස සුගතපාල භාරයට ගෙන තිබුණි. එම සටහන පොතෙහි සියලු තොරතුරු ඉංග්‍රීසි බසින් ලියැවී තිබූ හෙයින් තිස්ස සුගතපාලට එහි සමස්තය පිළිබඳ අදහසක් නොවුණත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිව කටයුතු කළ ප්‍රසන්න නානායක්‌කාර එහි තිබූ බොහෝ දෑ සටහන් කර ගන තිබේ.

එහෙත් ලසන්ත වික්‍රමතුංගගේ තොරතුරු සටහන් පොත සහ තිස්‌ස සුගතපාල විසින් අපරාධ අංශයේ තොරතුරු සටහන් පොතේ තැබූ සටහනට සිදු වූයේ කුමක්‌ ද යන්න අදටත් අභිරහසකි. එය අවසන් වරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර අතට අවසන් වරට පත්ව ඇති අතර ඒවාට සිදුවූයේ කුමක්ද යන්න ප්‍රසන්න නානායක්‌කාර අනාවරණ කිරීමෙන් වැළකී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර පෙනී සිටියේ කවුරු වෙනුවෙන්ද?

ඒ අනුව මෙහිදී පැනනැගෙන ප්‍රශ්නය වන්නේ සාහසික අපාරාධයක ප්‍රධාන සාක්ෂි එලෙස වසන් කිරීමට නීතිය රැකීම වෙනුවෙන් ඊට අනන්‍ය නිල ඇඳුමක් ඇගලාගත් ප්‍රසන්න නානායක්කාරට පැවති අවශ්‍යතාව කුමක්ද යන්නයි. මෙහිදී ප්‍රසන්න නානායක්කාර පසුපස සිටි හස්තය කවුරුන්ද යන්නයි.

එම සටහන පොතෙහි ලසන්ත තමන්ව හඹා එමින් සිටි තම ජීවිතයට තර්ජන එල්ල කරන වාහනවල අංක සටහන් කරගෙන තිබුණි. එහෙත් ගල්කිස්ස පොලිසිය ඒ සම්බන්ධයෙන් හෝ විධිමත් පරීක්ෂණයක් පවත්වා තිබුණේ නැත.

මේ අතර ලසන්තගේ තොරතුරු සටහන් පොත නඩු භාණ්‌ඩයක්‌ ලෙස නම් කිරීමට තිස්ස සුගතපාල කටයුතු කළේය. මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරු අනුව ලසන්ත වික්‍රමතුංගගේ තොරතුරු සටහන් පොතේ තිබූ වාහන අංක දෙක යතුරුපැදි දෙකකට අයත් ඒවා බව හෙළිව තිබුණි. එම යතුරුපැදි ජාඇල සහ බොරලැස්‌ගමුව ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකුට අයත් බව ද තිස්‌ස සුගතපාල සොයා ගේ ඇත.

ලසන්ත, උපාලි , සහ කීත් එකම දම්වැලේ පුරුක්

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබූ දුරකථන අංක තවත් පැහැරගැනීම් දෙකකට සම්බන්ධ බවට අනාවරණය වී තිබුණි. ඒ, රිවිර පුවත් පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතා වෙත එල්ල වූ පහර දීම සහ ද නේෂන් පුවත්පතේ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක්කිරීමේ සිදුවීමය.

ඒ අනුව මෙම සිදුවීම් එකකට එකක් හුදෙකලා සිදුවීම් නොව එකම චක්‍රයේ කැරකෙමින් තිබූ ඒවා බව අපරාධ පරීක්ෂණ නිලධාරීන් තහවුරු කර ගෙන තිබුණි.

ඒ අතර එම පහරදීම් දෙකට අදාළ ඇසින් දුටු සැකකරුවන් 4 දෙනකු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇසින් දුටු සැකකරුවකු සිට ඇතත් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් නොකර විවෘත අධිකරණයට පමණක් දිරිපත් කිරීමට ත්‍රස්තවිමර්ශන ඒකකය ක්‍රියා කොට තිබේ.

මේ වන විට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ කර ගත් දුරකථන අංක පිලිබඳ පරික්ෂ කිරීමේදී ජේසූදාසන් නැමැත්තා අත්අඩංගුවට පත් වූ අතර ඔහු වසරකට අධික කාලයක් සිර ගතව සිටියදී 2012 වසරේ මරණයට පත් වන අතර ත්‍රස්ත විමර්ශන ඒකකය සදහන් යොදා ඇත්තේ එය ස්වාභාවික මරණයක් ලෙසයි.

ජේසූදාසන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වූ කරුණක් වූයේ ඔහුගේ හැඳුනුම්පතට හමුදා බුද්ධි අංශයේ සේවය කරන පියවංශ නමැත්තා සිම් පතක් මිලදී ගෙන තිබූ බවයි.

මෙම පියවංශ නැමැත්තා සහ ජේසුදාසන් සමග පැවැති සම්බන්ධයක් අනාවරණය වී තිබුණද ජේසුදාසන් මියයන තුරුම පියවංශගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කර නැත. මෙම තත්ත්වය තුළ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ භාරකරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කෙරේ.

පියවංශ රැකීමට උත්සහ දැරීම

පියවංශගෙන් ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම අධිකරණය හමුවේ පෙන්වා දී තිබූ නමුත් යුද හමුදාව ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. අධිකරණය නැවත නැවතත් කළ නියෝග හමුවේ එක් අවස්ථාවකදී පමණක් යුද හමුදාව විසින් පියවංශව තවත් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේය.

ලසන්ත ඝාතනයට පියවංශ නමැති යුධ හමුදාවේ බුද්ධි අංශ සේවකයාගේ සම්බන්ධය අනාවරණ වීමෙන් පසු යුධ හමුදාව එම පරීක්ෂණ වලට සහය දෙනවා වෙනුවට අධිකාර නියෝග පවා නොසලකා හැරීමට කටයුතු කළේ ඇයි? ඒ අනුව ඔවුන්ට රැකවරණය දුන්නේ කවුද? පියවංශ සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නය එයයි.

ගෝඨාභය ගැන කිව්වොත් මරණවා - ලසන්තගේ රියදුරුට මරණ තර්ජන

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් තවත් අවධානය යොමු වූ පුද්ගලයෙක් වූයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරුය. අතුරුදහන්ව සිටි එම රියදුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නේ බදුල්ල ප්‍රදේශයේදීය.

 ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් විසින් ඔහුගේ රියදුරු පැහැරගෙන තර්ජනය කර නිදහස් කර තිබූ අතර ඔහු ජීවිත ආරක්ෂාව පතා බදුල්ලට පලා ගොස් තිබුණි.

එම රියැදුර පැහැර ගැනීමට හේතු වී තිබුණේ ලසන්ත ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට ඔහු අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කිරීමය. ඒ අනුව පැහැරගන්නා රියදුරුට මරණ තර්ජන කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ගැන කතා නොකරන ලෙස බලකරමිනි.

කෙසේ නමුත් තමාව පැහැරගත් අය හදුනාගත හැකි බවට ලසන්ත වික්‍රමතුංග සමතාගේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසීමත් සමග ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ උදලාගම නැමැත්තා අත්අඩංගුවට ගනි. ඔහු අත්අඩංගුවට පත් වීම ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු තවත් ඉදිරි පියවරක් ගන්නා අතර එම කාලය තුලදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් තවත් පැතිකඩ කිහිපයක් ඔස්සේම සිය පරීක්ෂණ මෙහෙයවා තිබේ.

එම කාලය තුළදී ඔවුනට අනාවරණය කරගැනීමට හැකිව ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින යුද හමුදාවේ පියවංශ වෙනුවෙන් අදාල මාසික පඩිය සහ අනෙකුත් සියලුම ගෙවීම යුද හමුදාව විසින් ඔහුගේ බිරිදට ගෙවා ඇති බවයි. වැඩ තහනමට ලක්ව සිටින හමුදා සාමාජිකයකුගේ බිරිදක් වෙත නිතී විරෝධි ආකාරයෙන් එවැනි ගෙවීමක් සිදු කළේ කුමන පදනමකින්ද යන්න අදටත් ගැටලුවකි.

එක් අවස්ථාවකදී මෙම ඝාතන සිදුවීම හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට බැර කිරීමට උත්සහ කළ අතර එය ව්‍යර්ථ විය. පසුව එය එල්.ටී.ටී.ඊ ය සම්බන්ධ බවට කතාවක් ගෙතීමට උත්සහ කර තිබුණි.

එල්.ටී.ටී.ඊ චෝදනාවත් පුස්සක් වෙයි

එල්.ටී.ටී.ඊ ය ඈදීමට කළ උත්සාහයේදී ලසන්ත ඝාතනයට පැමිණි ඝාතකයන් ගමන් ගත් යතුරු පැදියක්‌ අත්තිඩිය ඇළේ ගිල්වා ඇති බවට පොලිස්පතිවරයාට පෙත්සමක් ලැබී ඇති බව සඳහන් කරමින් එම යතුරුපැදිය ගොඩගැනීමට කටයුතු කළේය.
සොයාගත් එම යතුරුපැදියේ අංක තහඩු නොතිබුණු අතර එහි එන්ජින් අංකය පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් යතුරුපැදියේ හිමිකරුගේ ලිපිනය සොයා ගත්තේය.

යතුරුපැදිය හිමිකරු වවුනියාව ප්‍රදේශයේ පදිංචි නඩරාජා නමැත්තෙකි. ගල්කිස්‌ස පොලිසියේ නිලධාරීන් වවුනියාවට ගොස්‌ යතුරුපැදියේ හිමිකරු අත්අඩංගුවට ගත නමුත් ඔහු ඒ වන විට එම යතුරු පැදිය විකුණා ඇත.

රත්ත්‍රන් ව්‍යාපාරිකයෙකු වන විශ්න කුමාර් නැමැත්තා එම යතුරු පැදිය මිලදී ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් අවසානයේදී පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිකර ගත් බවට පැවසුණේ යතුරුපැදිය මිලදී ගෙන තිබූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවත්, ඔහු මුදා නොගත් ප්‍රදේශයක පදිංචි වී සිටින බවත් ය.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට එල්.ටී.ටී.ඊය සම්බන්ධ බවට ප්‍රචාරය වන්නේ ඉන් අනතුරුවය.

රාජ්‍ය භිෂණය : දෙමළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරයි

මේ අතර තුර ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් විශ්න කුමාර් සහ ඔහුගේ මිතුරෙකු අධි ආරක්ෂිත කලාපයක් ලෙස පැවැති සෙට්ටිකුලම ප්‍රදේශයේදී පැහැර ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා දම්බිරිගස්වැව ප්‍රදේශයෙදී දෙදෙනා මරා දමා තිබුණි. අනතුරුව ඔවුන් ගමන්ගත් යතුරු පැදිය ගෙනවිත් අත්තිඩිය ඇලට දමා ගොස් තිබේ.

ඒ අනුව ලසන්ත ඝාතනය එල්.ටී.ටී.ඊ ය විසින් කළ අපරාධයක් බවට හංවඩු ගැසුණි. එම කතාන්දරය අවසානයේ සිදු වූයේ විශ්න කුමාර් සහ ඔහුගේ මිතුරා යන අහිංසකයන් දෙදෙනාටද ජීවිත වලින් වන්දි ගෙවීමය.

කෙසේවෙතත් ලසන්ත ඝාතනයට එල්.ටී.ටී.ඊ ය සම්බන්ධ බවට වූ චෝදනාවද දැන් පුස්සක් බවට පත්ව තිබේ.

මිග් යානා ගණුදෙනුව වංචාවක් - ලසන්ත නිවැරදියි

ඊළඟට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන මෙහෙයවන්නේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල කළ චෝදනාව සම්බන්ධයෙනි. ඇය ප්‍රකාශ තිබුණේ එවකට ප්‍රචලිතව පැවති ලසන්ත වික්‍රමතුංග විසින් සාමාජ ගත කළ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වියරු වැටී සිටි බවයි.

 ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව සිය පියා අවස්ථා පහකදී පමණ ප්‍රකාශ කර තිබූ බව ඇය සඳහන් කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර ලසන්ත වික්‍රමතුංග විසින් ආනාවරණ කළ සියලු තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගෙන තිබුණි.

එහෙත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ පෙරළා අසන්නේද Who is Lasantha ? යනුවෙනි.

 

ඒ වන විට කිසියම් පිරිසක් විසින් ලසන්ත වික්‍රමතුංග ලුහුබඳිමින් සිටි අතර ඔහුව ඝාතනය කිරීමට ආරක්ෂා ලේකම්ට අවශ්‍යතාවක් මතුව තිබූ බවද ප්‍රසිද්ධ රහසක්ව තිබුණි. අවසානයේ ලසන්ත ඝාතනය වන්නේද අධි ආරක්‍ෂිත කලාපයකදීය.

 ලසන්ත වික්‍රමතුංගට පාතාල ප්‍රශ්න හෝ එල්.ටී.ටී.ඊ ප්‍රශ්න හෝ වෙනත් පෞද්ගලික කෝන්තර තිබී නැත. පැහැදිලි ලෙසම ඔහුට බලපෑමක් එල්ල වෙමින් පැවතියේ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ අනාවරණය බව දැන් අනාවරණය වී තිබේ.

මේ අතර ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ට බලකර තිබී ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ කෙළ බිඳක් හෝ නොසොල්වන බවටය. ඒ වෙනුවෙන් ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය යහමින් ලැබී තිබේ.

රජයේ අවසරයකින් තොරව කුරා කූඹියෙකුට හෝ ඇතුල් විය නොහැකි අධි ආරක්‍ෂිත කලාපයකදී අහිංසක දෙමළ තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණි.

මේ අතර ලසන්ත ඝාතනය , උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරය, කීත් නොයාර් පැහැර ගෙන ගොස් වදදීම යන සිදුවීම් සියල්ල එකම කවයේ පැවති සිදුවීම් බවද හෙළිදරව් වී තිබේ.

එමෙන්ම කීත් නොයර්ගේ සිදුවීම සමබන්ධයෙන් පැවති ආණ්ඩුවේ සම්බන්ධයද දැන් අනාවරණ වී තිබේ.

රණවිරුවන් කුලී මිනීමරුවන් නොවේ

මේ තිදෙනාම වෘත්තියෙන් මාධ්‍යවේදීන්ය. ඔවුන් නොබියව එවකට පැවති පාලනය විවේචනය කළේය. දූෂිත ගණුදෙනු රටට අනාවරණ කළේය. එහෙයින්ම ඔවුන් රාජ්‍ය පාලකයන්ගේ උදහසට ලක්ව තිබුණි. එය වසන් කළ නොහැකි සත්‍යයකි. එහෙත් තවදුරටත් සිදුවෙමින් පවතින්නේ මිනීමරු පාලකයන් සැඟවීමට දරන උත්සාහයන්ය. ඊට හොඳම උප්පරවැට්ටිය ලෙස යොදාගෙන තිබෙන්නේ රණවිරුවන් දණ ගැස්සීමට ප්‍රයත්න දරන බව සමාජයට ඒත්තු ගැන්වීමය.

රණවිරුවන් යනු දේශපාලන අපරාධකරුවන්ගේ කුලී මිනීමරුවන් නොවේ. රණවිරු ලේබලයට මුවාවී එලෙස අපරාධ කිරීමට කිසිදු අයිතියක් නැත.

අපරාධ වල දමන දේශපාලන ඩීල්

එහෙත් එකී සියලු දෑ භාවිතා කරමින් රාජපක්ෂ පාලනය හිංසනය රජ කරවූ අයුරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගනිමින් තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන්ද ඔවුන් තවදුරටත් විමර්ශන කරමින් පවතින අතර මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ හිටපු බුද්ධි අංශ ප්‍රධානින් පමණක් නොව, ඊට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමේ පසුබිමක් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබියදී ඒ දෙස නෙත් නොහෙළා ආණ්ඩුවද නිහඬව බලා සිටියි.

ඒ දේශාපලන ඩීල්ය. ඒවාද යුක්තිය හමුවේ පරාජය කළ යුතු අතර ඊට දිවිය කැපකොට ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයේද සමාජය අවදියෙන් සිටිය යුතුය.

සබැඳි පුවත්:

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ඔබ නැතුව ඔබ එක්ක දස වසරයි