ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

9 January 2019 08:01 pm

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන් වෙත ලබාදුන් එක් අවසන් මාර්ගෝපදේශනයක් වූයේ, හමුදාවට බාර වෙනවා නම් බාර විය යුත්තේ 58 වන සේනාංකයට පමණක් බව ය.

යුද්ධයට මැදිවූවන් ඇතුළුව ලක්ෂ 3 ක් පමණ මුදාගත් සේනාංකයේ - හිතක් පපුවක් ඇතිව ක්‍රියාන්විතය මෙහෙවන නිලධාරියා ලෙස ශවේන්ද්‍ර සිල්වා එදා නමක් දිනා සිටියේය. එසේ බාර වූ දමිල සටන්කාමීන්ට විටෙක සොල්දාදුවන්ගේ ආහාර සලාකය පවා 58 වන සේනාංකය විසින් ලබාදුන් බවට අප සතුව ඡායාරූප සාක්ෂි තිබේ. ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා නායකත්වය යටතේ LTTE සටන්කාමීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද දහස් ගණනක්, IDP (Internally Displaced Persons) හෙවත් ‘අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ‘ අය සේ සලකා ඔවුන් නිදහස් ජීවිතයක් සඳහා අවතැන් කඳවුරු වෙතට යොමු කිරීම ද සිදුවිය.

අප යුද්ධය දිනුවත් සාමය දිනුවේ නැත!

අප කැමති වුණත්, අකමැති වුණත් යුද්ධයෙන් LTTE ය පරාජය විය. අපි යුද්ධය ජයග්‍රහණය කළෙමු. නමුත් අප තවම සාමය ජයග්‍රහණය කළේ නැත.

ඒ යුද්ධය අවසන් වී වසර 10 ක් ගෙවෙන්නට මාස කිහිපයකට පෙර එළැඹුණු මෙතැන් පටන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සියලු පරිපාලන කටයුතුවල ප්‍රධානියා වන්නේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ය.

සැබවින්ම මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනියා ලෙස, එනම් මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව තිබෙන්නේ තීරණාත්මක මොහොතක ය.

දක්ෂ පරිපාලන නිලධාරියෙක්

ශවේන්ද්‍ර සිල්වා මහතා දක්ෂ පරිපාලන නිලධාරියෙකු බව අපි දනිමු. ගජබා රෙජිමේන්තුව, ගජබා සුපර්ක්‍රොස් වාර්ෂික තරගාවලිය, පැහැදිලි ලෙස නවීකරණය කළ සාලියපුර යුධ හමුදා කඳවුර එයට උදාහරණ කිහිපයක් පමණි.

අවසන් සටනේදී 58 වන සේනාංකයට ප්‍රධානත්වය ලබාදෙමින් එය මෙහෙයවූ ඔහු ‘විජයග්‍රහණයේ නියමුවෙකු‘ ලෙස යුධ වාතාවරණය තුළ උත්කර්ෂයට නැංවිණි. සිය සේනාංකයේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට නිබඳ කටයුුතු කළ ඔහු, කැලෑ සටන්වලදී  ඔවුන්ට නිසි කෑම වේලක් ලැබෙන බවට තහවුරු කර ගත්තේ, එය සිය පුද්ගලික වගකීමක් ලෙස ද එය සලකමිනි.

දරුණුම යුද සමය පශ්චාත් යුද සමයයි.

මේ අතරම ඔහුට සිවිල් සමාජය හා ජාත්‍යන්තරය විසින් එල්ල කරන චෝදනා ද සුළුපටු නොවේ. එම චෝදනාවල ඇත්ත නැත්ත අදට ද හෙළිදරව් වී නොමැති අතර, එය හෙළිදරව් වනු ඇතැයි ද සිතීම අපහසු ය. නමුත් හමුදාවට යම් අවමානයක් වී නම්, එයින් හමුදාව ගළවා ගැනීමේ අවස්ථාව දැන් ශවේන්ද්‍ර සිල්වා හට ලැබී ඇති බව අපේ අදහසයි.

අප ඉතා පැහැදිලිව දන්නා පරිදි, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යනු, මතුපිටින් පෙනෙන යුධකාමිත්වය සහ නිලධාරිත්වය ඉක්මවා ගිය යම් බුද්ධිමය සංජානනයක් සහිත අයෙකි.

යුද්ධයක් අවසන් වූ පසු පුනරුත්ථාපනයට ලක් කළ යුත්තේ යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් හා යුද්ධයෙන් පීඩා විඳි අය පමණක් නොවේ. යුද්ධයට සක්‍රියව දායක වූ සියලු පාර්ශවයන්ට ද එම අවස්ථාව ලැබිය යුතුය. යුද්ධයේ භ්‍රාන්තිය, භීෂණයේ මතකය, වේදනාවේ පීඩනය සහ මරණයේ දෝංකාරය ඒ කිසිවෙකුට මියෙන තුරා අමතක නොවේ. යථාර්ථය එයයි.

‘‘යුද්ධයෙන් පසුව අපවත් පුනරුත්ථාපනය කළ යුතුව තිබුණා..“!

ඒ මතකයෙන්, ඒ වේදනාවෙන් සුවපත් වන තෙක්, සංහිඳියාවක් නැත. එනිසා සංහිඳියාව ඇති කළ යුත්තේ ජාතීන් අතර පමණක් නොවේ. යුද්ධය හා සාමය අතර ද සංහිඳියාව ඇති කළ යුතුය. පශ්චාත් යුධ සමය හා සාමය අතර ද එබඳුම සංහිඳියාවක් ඇති කළ යුතුය. ඒ සංක්‍රාන්තිය සිදුවන තෙක්, ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය තවත් එක් බර වචනයක් පමණි. එතෙක්, ජාතීන් අතර සහ හදවත් අතර, පාලම් තැනෙන්නේ නැත.

වැදගත්ම දෙය, මේජර් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා පුනරුත්ථාපනය හා සංහිඳියාව ගැන ගැඹුරු අවබෝධයකින් පසුවන අයෙක් වීමයි. ‘‘ඇත්තටම යුද්ධයෙන් පසුව අපිවත් පුනරුත්ථාපනය කළ යුතුව තිබුණා..“ යැයි වරක් සාලියපුර හමුදා කඳවුරේදී අප හමුවූ මොහොතක ඔහු සංවේදීව පැවසූ අයුරු අපට අමතක නැත.

කිසිවෙකුත් මව්කුසින් බිහිවන්නේ ත්‍රස්තවාදියෙකු ලෙස නොවේ.

අප සියලු දෙනා වටහාගත යුතු සත්‍ය ධර්මය වන්නේ කිසිවෙකුත් මව්කුසින් බිහිවන අවස්ථාවේදී ත්‍රස්තවාදියෙකු නොවන බවයි. ත්‍රස්තවාදීන් බිහිවීමට බලපාන්නේ වෙනත් සමාජ විභවයන් රාශියකි. අප අමතක නොකළ යුත්තේ අප අවි එසවූයේ අපේම රටේ වෙසෙන සහෝදර ජනතාවට බව ය. අප විසින් අපේ සතුරා ලෙස සැලකුවේ අපේම සහෝදර ජාතියක් බව ය. යුද්ධය විසින් ආවරණය කළේ ඒ ප්‍රශ්නයෙන් 20%ක් පමණි. ඉතිරි 80% ආවරණය කළ යුතුව තිබෙන්නේ සාමය හා සංහිඳියාවෙනි.

ගෙවුණු වසර 10 ක කාලය පුරාම අප සිටියේ ‘කැත්තට පොල්ල‘ න්‍යායෙනි. යුද්ධය ජය ගත්තත් අප කිසිදා සාමය ජය ගත්තේ නැත. දැන් ඉතිරිව තිබෙන්නේ කළ කී දෑ - සිදුවුණු දෑ විවෘතව කතා නොකිරීම නිසා සිදුවූ කැළල සහ අවමානයයි.

කළ යුත්තේ කුමක්ද?

ලංකාවේ වල් වැදී තිබෙන නීතිය මත පාලනය (Rule of Law) ස්ථාපිත කිරීම සඳහා යුද හමුදාව විසින් ද කළ යුතු වැඩ කොටසක් තිබේ. එම වැඩකොටස වන්නේ සංහිඳියාවට දායක වීමයි. එනිසා කවරෙකු හෝ යුධහමුදාවට හෝ ඔබට එරෙහිව චෝදනා නගන්නේ නම් දැන්වත් ඒවාට නොබියව මුහුණ දිය යුතුය. ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අප සූදානම් විය යුතුය. එසේම දේශීය වශයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යුධ හමුදාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට ද යුධ හමුදාව විසින් සහාය දැක්විය යුතුය. නිහඬව සිටීම හෝ නොසලකා හැරීම තවදුරටත් මේ ගැටළුවලට විසඳුමක් නොවේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාණෙනි, පසුගිය දස වසර පුරා අපි ඔබ සමග ගැටුණෙමු. ඔබව තියුණු ලෙස විවේචනය කළෙමු. දැන් එළඹ තිබෙන්නේ ඔබේ අවස්ථාව ය. ඔබ සංහිඳියාව ඇතිකිරීමේ පරිණතභාවයෙන් යුතු බව ඔප්පු කිරීම ඔබ සතු වගකීමයි. නිවැරදි දේ කරන තාක්කල්, අප ඔබ සමග ය.

යුධ ඡායාරූප: ධනංජය සෙනෙවිරත්න