දේශපාලන සිරකරු ප්‍රශ්නය ; උපවාසයේ නියුතු ශිවසීලන්ගේ කතාව

දේශපාලන සිරකරු ප්‍රශ්නය ; උපවාසයේ නියුතු ශිවසීලන්ගේ කතාව

10 January 2019 03:10 am

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දේශපාලන සිරකරුවකු වන ශිවප්‍රකාශන් ශිවසීලන් පසුගිය 05 වනදා උපවාසයක් ආරම්භ කළේ එක්කෝ නිදහස් කරන ලෙස හෝ නැතහොත් ඇප ලබාදෙන ලෙස හෝ එසේත් නොමැති නම් පුනරුත්ථාපනයට යොමු කරන ලෙස ඉල්ලා සිටිමිනි.

 

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඔහු ඊයේ (09) දිනයේදී අනුරාධපුර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ශිවප්‍රකාශන් ශිවසීලන් වයස 32ක තරුණයෙකි. පදිංචිය කිලිනොච්චි, වට්ටකච්චි ප්‍රදේශයේ ය.

ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ 2009.05.17 වනදාය. ඒ, 2007 වසරේදී විල්පත්තු ප්‍රදේශයේ ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අදාළ බෝම්බ පිපිරීමෙන් හමුදා කර්නල්වරයකු සහ වනජීවී නිලධාරීන් ඇතුළු පිරිසක් ඝාතනයට ලක්ව තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයෙහි නඩු පැවරෙන්නේ 2012.10.21 වනදාය. අදාළ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ සාක්ෂිකරුවන් 60 දෙනෙකු පමණ නඩුවට ඉදිරිපත් කර ඇතත් ශිවසීලන් මීට සම්බන්ධ බවට ඔහුට එරෙහිව සාක්ෂි ලෙස පවතින්නේ ඔහුගෙන්ම ලබාගත් "පාපොච්චාරණ" ලියවිල්ලක් පමණි.

ඔහුට එරෙහි සාක්ෂිය වන පාපොච්චාරණය අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී හෙළිදරව් වී ඇත්තේ එය ඔහුව පුනරුත්ථාපනයට යොමු කිරීමේ එකඟතාව මත ඔහුගෙන් අත්සන් ලබාගත් ලියවිල්ලක් බවයි. අදාළ පාපොච්චාරණය ලබාගත් බව කියන සහකාර පොලිස් අධිකාරීවරයා ද එය අධිකරණයේදී පිළිගෙන ඇත. පාපොච්චාරණයක් යනු සැකකරුවකු විසින් ස්වේච්චාවෙන් ලබාදිය යුතු එකකි. එය පොරොන්දු දී ලබාගත හැකි එකක් නොවේ. එහෙයින් ශිවසීලන්ගේ පාපොච්චාරණය ලෙස අධිකරණයට ඉදිරිපත් වුණු ලියවිල්ල සැබැවින්ම පාපොච්චාරණයක් ලෙස පිළිගත හැකි එකක් නොවේ.

ඒ අනුව අධිකරණය කරන්නේ ඔහුගේ පාපොච්චාරණ සාක්ෂිය විභාගයට ගැනීම නවතා දැමීමයි. නඩුවට තවත් සාක්ෂිකරුවන් 60 දෙනෙකු පමණ සිටින නිසා දැන් මාස කිහිපයකට වරක් නඩුව කැඳවමින් ඔවුන්ගේ සාක්ෂි විභාග කෙරේ. මේ සාක්ෂි 60 යනු බෝම්බ පිපිරීම ගැන ඇසූ දුටු, මියගිය පුද්ගලයින් ගැන වශයෙන් වන විවිධ සාක්ෂි ය. ඒවා කෙදිනක විභාග කර අවසන් වේදැයි කීමට ද නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් අධිකරණයේ සාධනීය මැදිහත්වීම පිළිබඳ බොහෝ වර්ණනාත්මක කතා පසුගිය දිනවල අසන්නට ලැබිණි. එහෙත් මෙවන් නඩු වල ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී එය ප්‍රශ්නකාරී වෙයි. මන්දයත් මෙවන් නඩුවල ස්වභාවය ම වන්නේ, ඒවා ඔහේ ඇදෙන්නට සැලැස්වීමයි. වසර 10කටත් එහා කාලයක් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ ජීවිත ගැන තඹයකට නොතකා සමස්ත නීති පද්ධතියම කල්මැරීම වෙනුවෙන් කැපවී සිටී.

මේ නඩුවට තවත් සැකකරුවකු ද සිටී. ඔහු සූර්යකාන්තන් ජයචන්ද්‍රන් නමැති ඔහු දෙපා ආබාධිත, කිහිලිකරුවලින් ගමන් කරන පුද්ගලයෙකි. ඔහු පුනරුත්ථාපනය වී නිදහස්ව ගොස් සිටියදී නැවත අල්ලාගෙනවිත් මෙම නඩුවට ඉදිරිපත් කළ අයෙකි. ඔහුට විරුද්ධව ඇත්තේ ද ඔහුගෙන්ම ලබාගත් බව කියන පාපොච්චාරණ ලියවිල්ලකි.

එකී පාපොච්චාරණ ලියවිල්ලම පදනම් කරගෙන වව්නියාව මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් පැවරී තිබුණු අතර එහිදී ඔහුගේ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බව අධිකරණය පිළිනොගැනීම නිසා ඔහු නිදහස් විය. එහෙත් වව්නියාව මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණු පාපොච්චාරණය මතම අනුරාධපුර මහාධිකරණයෙහි නඩුව පවත්වාගෙන යනු ලැබේ. මේ, දේශපාලන සිරකරුවන් සම්බන්ධ නඩුවල තවත් පැතිකඩකි. මෙකී පාපොච්චාරණ ලියවිලි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ටෙලිනාට්‍ය පිටපත් ලියන ආකාරයට ලියා සැකකරුවන්ට පහරදී වධහිංසාවට ලක්කර අත්සන් ලබාගන්නා ඒවා බව රටම දනී. එය උතුරේ මහාධිකරණ පිළිගන්නා නමුත් දකුණේ මහාධිකරණ පිළිගන්නේ නැත.

ශිවප්‍රකාශන් ශිවසීලන්ගේ පියා පසුගිය දෙසැම්බර් 16 වනදා මියගියේ වසර නවය හමාරක් තිස්සේත් තම පුතු නිදහස්ව එනු ඇතැයි මඟබලා සිටීමෙන් අනතුරුවය.

මේ සියල්ල දේශපාලනික ය. අතිශයින්ම දේශපාලනික ය. සැබෑ කතාව නම් මේ නඩු අවසන් කරන්නට දේශපාලන අධිකාරියට වුවමනාවක් නොමැති වීමය. දකුණේ මහජාතිවාදයට ගෙවන මානසික කප්පමක් වශයෙන් මේ ශිවසීලන් ඇතුළු සිය දෙනෙකු පමණ වන දේශපාලන සිරකරුවන් සිරගත කර තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ය. වයස අවුරුදු 22දී අත් අඩංගුවට පත්වූ තරුණයකුට, සාක්ෂිත් නොමැති නඩු විභාගයක් සඳහා වසර 10කට ආසන්න කාලයකුත් තව ඉදිරියට කොතෙක්දැයි නොදන්නා කාලයකුත් සිරගතවී සිටීමට සිදුවන්නේ ඒ අනුවය.

මේ, සංහිඳියාව ගැන ඡන්ද කාලයට ලොරි ටෝක් නැව් ගණනින් බාන ශ්‍රී ලංකාව ය. මේ, තමන්ට බලය අහිමිවූ විට පමණක් දෙමළා මතක් වන ශ්‍රී ලංකාව ය !

  • රුවන් නෙළුගොල්ල

සබැඳි පුවත් - 

අනුරාධපුර බන්ධනාගාරයේ යළිත් දේශපාලන සිරකරු උපවාසයක් !