ශ්‍රී ලංකාවේ ‘ණයබර නිදහස‘ - දිනේෂ් වීරක්කොඩි

ශ්‍රී ලංකාවේ ‘ණයබර නිදහස‘ - දිනේෂ් වීරක්කොඩි

5 February 2019 04:37 am

ලබන පෙබරවාරි 4 වැනි දාට බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින් කියැවෙනවාට වඩා විශාල ආර්ථිකයකි. කෙසේ වෙතත්, ඒ ඩොලර් බිලියන 87 ආර්ථිකය පවා, දරා ගත නොහැකි ණය බරකින් පෙළෙයි. 2019-2022 අතර කාලය තුළ අප ආපසු ගෙවීමට නියමිත ණය වාරික සහ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 21 ක් පමණ වන බව මේ වන විට ගණන් බලා තිබේ.

විදේශයන් වෙත ලංකාව ණය වී ඇති ප්‍රමාණය ඩොලර් බිලියන 55 කි. එයින් සියයට 14 ක් චීනයට ය. සියයට 12 ක් ජපානයට ය. සියයට 14 ක් ආසියානු සංවර්ධන බැංකුවට ය. සියයට 11 ක් ලෝක බැංකුවට ය. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ගත් විට එය, රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමින් සියයට 78 කට සමාන වන්නේය. ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියාතික සංවිධානයට’ අයත් රටවල් සහ ‘අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට’ අයත් රටවල් අතරේ එය සැලකෙන්නේ ඉතා ඉහළ ණයගැති භාවයක් ඇති රටක් වශයෙනි.

2010-2015 අතර කාලය තුළ චීනය ඩොලර් බිලියන 5 ක ණය ප්‍රමාණයක් ලංකාවට පොම්ප කෙළේය. ඒ, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය සහ ගල්අඟුරු බලාගාරයක්, සන්නිවේදන කුළුණක් සහ අධිවේග මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා ය. 2018 වන විට ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අවාසනාව වන්නේ, මේ ණයවලින් සෑහෙන ප්‍රමාණයක් යොදවා ඇත්තේ, ජනතාවට සෙතක් නැති නිසුරු ව්‍යාපෘතිවලට ය.

එවැනි අවාසනාවන්ත තත්වයකට පත්ව සිටින අපේ ජංගම ගිණුමේ හිඟයත් දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ. එසේ තිබියදී, ඊළඟ මාස 15 තුළ අප විසින් ආපසු ගෙවීමට නියමිත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ලබන සතියේ යෙදෙන 71 වැනි නිදහස අප සමරන්නේ එවැනි දොම්නස් සහගත වටපිටාවක ය.

ශ්‍රී ලංකාවේ අවාසනාව එතෙකින් නිමා නොවේ. අපේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 94 දෙනෙකු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් පිරිසකි. රටේ ආර්ථිකය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙයි. වැටහෙන පිරිස පවා ඊට ඇස් කන් පියාගෙන සිටිති.

ණය ආපසු ගෙවීම

2019 ජනවාරිය වන විට ශ්‍රී ලංකාවේ රුපියලේ අගය පෙර නොවූ විරූ අයුරින් පහළ වැටුණේය. ඒ, ඇමරිකානු ඩොලරයට රුපියල් 182.80 ක් වශයෙනි. ඉන් පසු එය තරමක් ස්ථාවර විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ අනාගත චිත්‍රය අඳුරු ය. එහෙත්, මහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මෑතකදී එක්තරා රූපවාහිනි සාකච්ඡාවකදී පෙන්වා දුන් පරිදි, එය කළමනාකරණය කර ගැනීමට බැරි කමක් නැත. වර්තමාන වෙළඳපොළ මූලාශ්‍ර දක්වා සිටින පරිදි, ජනවාරි මාසයේ ලංකාව සිය විදේශ ණයවලින් ඩොලර් බිලියන 1.2 ක් ගෙවා දමා තිබේ. එසේ කොට ඇත්තේ, ජාත්‍යන්තර බැඳූම්කර වෙළඳපොළෙන් අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට ගත් උත්සාහය මුළුමණින් සාර්ථක කර ගැනීමට නොහැකි වීම නිසා, අපේ විදේශ විනිමය සංචිතයේම ඉතිරි කරගෙන තිබූ මුදල් පාවිච්චියට ගැනීමෙනි.

2018 අප මුහුණදුන් ඒ ආර්ථික අහේනිකර තත්වය, අපම ඇති කර ගත් දේශපාලනික අර්බුදයක් හේතුකොට ගෙන තවත් උග්‍ර විය. 2018 අවසාන භාගයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහා අර්බුදයක් ඇති කෙළේය. මුලින්ම ඔහු හිටපු අගමැතිවරයා ඉවත් කොට මහින්ද රාජපක්ෂව එම අගමැති තනතුරට පත්කෙළේය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය ඔහුට ලබාගත නොහැකි වීම නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. ඊළඟට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එහෙත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු හරවන ලදි. ඒ සියල්ලේ ප්‍රතිවිපාකයක් වශයෙන්, ලෝකයේ රටවල ආර්ථික ස්ථාවරයත්වයේ මට්ටම පිළිබඳ ඇස්තමේන්තු කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයතන දෙකක් වන ‘ෆිෂ්’ සහ ‘ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්’ විසින් ශ්‍රී ලංකාවේ තත්වය පහළ දැම්මේය. එසේ වන විට, ජාත්‍යන්තරයෙන් අපට ලබා ගැනීමට තිබෙන ණය සඳහා දැරිය යුතු වියදම නිතැතින් ඉහළ යන්නේය. එපමණක් නොව, මේ කාලයේ රට තුළ ඇති වූ දේශපාලනික අස්ථාවරත්වය හේතු කොටගෙන, ලංකාවේ කොටස් වෙළඳපොළේ සහ බැඳූම්කර වෙළදපොළේ තිබූ ඩොලර් මිලියන 900 ක පමණ වටිනාකමින් යුත් මුදලක් ලංකාවෙන් ඉවත් කර ගැනුණි. මේ කාලය තුළ විශාලතම පාඩුව ලැබුවේ සංචාරක ව්‍යාපාරයයි. එම ක්ෂේත්‍රයේ ප්‍රශස්ත වාරයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු බොහෝ සංචාරක අවස්ථා මේ අර්බුදය නිසා අවලංගු වී ගියේය.

2018 වසර තුළ රුපියලේ අගය සියයට 15 කින් පමණ අවප්‍රමාණ විය. විශේෂයෙන්ම ඊට හේතු වූයේ, අපේ අසතුටුදායක ආර්ථික ක්‍රියාකාරීත්වයත්, ලෝකයේ දේශපාලනික නොසන්සුන්තාවත්, ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ යාම සහ ලංකාවේ දේශපාලනික අර්බුදයත් ය. ලංකාවේ විදේශ ණය ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් සමන්විත වන්නේ, ලංකා රජය මගින් ඩොලර් වටිනාකමින් නිකුත් කළ බැඳූම්කර හරහා ලබා ගත් ණය මුදල්වලිනි. අපේ ණය ප්‍රමාණයෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ඊට අයත් වෙයි. එසේ හෙයින් අභියෝගය බරපතල ය. මන්ද යත්, ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ යන තරමට අප ගෙවීමට ඇති ඩොලර් ණය ප්‍රමාණයේ බරත් වැඩි වන බැවිනි.

ඉදිරිය

මේ නිසා ආණ්ඩුව තමන්ගේ ප්‍රාග්ධන ගිණුම ශක්තිමත් කර ගත යුතුව තිබේ. ඒ, තව තවත් විදේශ සෘජු ආයෝජන ලංකාවට හැකි තාක් ගෙන්වා ගැනීමෙන් සහ අපේ අපනයනයන් උපරිමයෙන් වර්ධනය කර ගැනීමෙනි. මේ අංශ දෙකම අද පවතින්නේ දුෂ්කර මට්ටමක ය. අපේ ණය ආපසු ගෙවීමට ඇත්තේ ඩොලර්වලින් නිසා, වැඩි වැඩියෙන් ඩොලර් මේ රටට ගෙන්වා ගන්නා ක්‍රමයක් ඇති කර ගත යුතුව තිබේ. මේ ආණ්ඩුවට තවමත් ලෝකයේ ප්‍රසාදය තිබේ. ඒ වාසිය පාවිච්චියට ගෙන ආර්ථිකයට වහා තල්ලුවක් දීම ආණ්ඩුවේ වගකීමයි.

මීට අවුරුදු 20 කට පෙර, අපේ අපනයනයන්හි වටිනාකම අපේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමින් සියයට 33 ක අගයක් ගත්තේය. අද එය සියයට 13 දක්වා පහළ වැටී තිබේ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’, පසුගිය කාලයේ අපේ අර්බුදය තුළ නවතා දැමූ ආධාර වැඩපිළිවෙල යළි සලකා බැලීමට මේ වන විට එකඟ වී ඇත. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ද් මෙසේ කියා ඇතැයි මාධ්‍ය වාර්තා කෙළේය. “ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ කර්තව්‍යයන් සාධනය කර ගැනීමෙහිලා ආධාර වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටී. ඒ වැඩපිළිවෙලවල් ගැන සාකච්ඡා කිරීම සඳහා පෙබරවාරි මැද හරියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට ඒමට නියමිතයි.”

මේ වන විට ලංකාවට ලොකුම ණය සපයන්නන් වන්නේ ‘චීන සංවර්ධන බැංකුව’, ජපාන ආණ්ඩුව සහ ඉන්දීය ආණ්ඩුවයි. ඒ සමගම ‘ආසියානු සංවර්ධන බැංකුව’ සහ ලෝක බැංකුවත් විශාල වශයෙන් අපට ණය සපයන ආයතන වන්නේය. කෙසේ වෙතත්, අපේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන්, අප වඩ වඩාත් ප්‍රධාන ආසියාතික රටවල් කෙරෙහි යොමු වීමේ ප්‍රවණතාවක් තිබේ. වෙළඳපොළ ආරංචි මාර්ග දක්වන පරිදි, විදේශ ණය පියවා ගැනීමේ පෙර නොවූ විරූ ප්‍රශ්නයක් මතුවුණොත්, ඒ සඳහා ආධාර ලබා ගැනීම අරභයා ඉන්දියාව සහ චීනය සමග මේ අවස්ථාවේ ලංකාව සාකච්ඡා කරමින් සිටී. ඩොලර් මිලියන 400 ක වටිනාකමින් යුත් මුදල් හුවමාරුවකට, ඉන්දියාවේ මහ බැංකුව සහ අපේ මහ බැංකුව පසුගිය මාසයේ එකඟත්වය ඇති කොටගෙන තිබේ. මේ අතර චීනයේ මහ බැංකුවත් ඩොලර් මිලියන 300 ක් ණයක් ලංකාවට දීමට එකඟ වී තිබේ. දැනට ලංකාවේ යහපත් බලාපොරොත්තුවකට ඇත්තේ චීනයේ මහ බැංකුව සහ ඉන්දියාවේ මහ බැංකුව ලංකාවට ආධාර කිරීමට වැඩි උනන්දුවක් පෙන්නුම් කරමින් සිටීමයි. එය සමහර විට ලංකාවේ භූ-දේශපාලනික වැදගත්කම සලකාගෙන විය හැකිය.

මේ අතර, කෙටිම කාලයක් තුළ සෘජු විදේශ ආයෝජන ලංකාවට අද්දා ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමාණවත් (ණය නොවන) දීමනා ලබා ගැනීමටත්, ඒ සමගම අපේ අපනයනයන් වර්ධනය කර ගැනීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. අවාසනාවකට, අශ්වයාට කලින් කරත්තය යන ඉතිහාසයකි අපට ඇත්තේ.

- 2019 පෙබරවාරි 1 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Sri Lanka's Debt-Ridden Independence නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි