බාධක මැද ඉදිරියට... ආකල්පමය වෙනසක් කියා දෙන පොළවේ පය ගැසූ අනුහස්

බාධක මැද ඉදිරියට... ආකල්පමය වෙනසක් කියා දෙන පොළවේ පය ගැසූ අනුහස්

5 February 2019 06:01 am

දින කිහිපයකට මත්තෙන් ශ්‍රී ලාංකික සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන් හා බැඳි සමාජීය ගැටළු පිළිබඳ අප සමඟ සාකච්ඡා කිරීමට පැමිණි ඉසුරු ගෙන හැර පෑ අදහස් අපි ඔබ වෙත ඉදිරිපත් කළෙමු. අද දින මේ පිළිබඳව අප සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ මෙම ප්‍රජාවේ ප්‍රජා මූලික වැඩසටහන් සඳහා වෘත්තිකයෙකු වශයෙන් සෘජුවම සම්බන්ධ වන සුවිශේෂී පුද්ගලයෙකි.

ඔහු නමින් අනුහස් ය. අනුහස් ගෝලීය අරමුදල හා සෞඛ්‍යය අමාත්‍යංශය එක්ව මෙහෙයවන ජාතික HIV හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ව්‍යාපෘතිය හා බැඳි රාජ්‍ය නොවන සංවිධානයක ක්ෂේත්‍ර නිළධාරියකු වශයෙන් ක්‍රියා කරයි. වෘත්තීය ජීවිතයේ LGBTIQ ප්‍රජාවන් සමඟ නිතර ගැටෙන අනුහස්, තම පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් අප සමඟ බෙදා හදා ගැනීමට ප්‍රවේශයක් ගත්තේ කුඩා කළ පටන් ම තමා කවුරුන් දැයි තමාගෙන් ම ප්‍රශ්ණ කළ අයුරු ගෙනහැර පාමිනි.

ආරම්භය කටුකයි

“පොඩි කාලේ ඉඳලාම මම නිතරම මගෙන්ම ප්‍රශ්ණ කළා මම කවුද කියන එක.. පිරිමි දරුවකු ලෙස මට ඇතිවුන හැඟීම්, මා සමාජය දුටු ආකාරය, සමාජය මා දුටු ආකාරය, එදිනෙදා වැඩ කටයුතු වල නිරත වීමේදී මුහුණ පෑ අභියෝග.. මේ හැම දෙයක්ම මට ප්‍රශ්ණයක් වුණා.. මොකද කියනවා නම් ඒ හැම දේකදීම මම මා තුළ අනෙත් දරුවන් ට වඩා වෙනසක් දුටුවා.. ”

කුඩා අවදියේ පටන් අනුහස් ප්‍රිය කළේ ගැහැණු ළමුන් සමඟ සෙල්ලම් කිරීමට. වයසේ පියගැට පෙළ නැඟීමත් සමඟ තමා ආකර්ෂණය වන්නේ පිරිමි ළමුන් හට බව ඔහු හඳුනා ගත්තේය. තම පවුල් පසුබිම තුළ පැවති අක්‍රමත්බව හමුවේ අභියෝග රැසකට මුහුණදුන් අනුහස් මානසික වශයෙන් පීඩාවට පත්වූවා පමණක් නොව ඔහුගේම බලකොටුවක් තුළ තනි විය.

“මගේ දෙමාපියන් නිතරම වාද කරන්නට වුණා, ඉතින් මා මුහුණ පෑ ගැටළු මට ඔවුන් සමඟ කතා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න සූදානම් වුණු කාලවකවානුවේදී ලොකු පීඩනයක් දැණුනා. ඇයි ද කියනවා නම්, ඒ වෙනකොට මගේ අනන්‍යතාවය පිළිබඳ ලොකු පැටළීමකින් මා සිටියේ. විභාගේ අත ලඟ එනවා, ඒ පීඩනය දරා ගන්න අමාරු වුණා. මගේ අනාගතය කොහොම වේවිද කියලා ගොඩක් බය දැනුණා. ”

එහෙත් තම පෞද්ගලික අරගල පසෙක ලා අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට අනුහස් සමත් විය. කොළඹ ප්‍රදේශයේ කාර්‍යාල සේවයේ නියුතු නිළධාරියකු වශයෙන් තම වෘත්තීය දිවිය ආරම්භ කළ අනුහස් එකල ද තම ලිංගිකත්වය පිළිබඳ නිතර ප්‍රශ්ණ කළේය. තම අභ්‍යන්තර හැඟීම් කෙබඳු ද කියා වටහා ගැනීමට අසමත් වූ අනුහස් පළමු වරට තමා සමරිසි යැයි හඳුනා ගන්නේ ඔහුගේම කාර්‍යාලයේ කලමණාකාර වරයකුගේ සහයෙනි.

“සමරිසි, එහෙම නැත්නම් සමලිංගික කියන්නේ මොකද්ද කියන එක ගැන ඇත්තටම මට වැටහීමක් තිබුණෙ නෑ, ඒත් මගේ කලමණාකාර තුමා ඉතාම කරුණාවන්ත වුණා එය මා හට කියා දෙන්නට.. එය ඉතාම සාමාන්‍ය දෙයක් යැයි වටහා දීමට. ඒත් එක්කම මේ ගැන තොරතුරු සොයන්නට මම පෙළඹුනා. එතුමා මා හට අන්තර්ජාලයේ මේ පිළිබඳ තොරතුරු ඇතුලත් ලින්ක් ලබා දුන්නා. ඒ හැම දෙයක් ම මම කියෙව්වා. ඒ විදියට මම අවසානයේ හඳුනා ගත්තා මම කවුරුන් දැයි කියන එක. ආරම්භය කටුකයි, ඒත් අවසානයේ ඒ පීඩනයෙන් ගැළවුනු බව මම තේරුම් ගත්තා.”

ප්‍රජා මිතුරන් හමුවීම

LGBTIQ ප්‍රජාවන් සඳහා වූ HIV නිවාරණය හා ඒ පිළිබඳ අවබෝධය ඇතිකරවීමෙහි ලා පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාව අනුහස්ට උදා වන්නේ මේ අතරතුරදී ය.

“ඒක දින 5 ක වැඩමුළුවක්. මේ වැඩමුළුවේදී මම ලිංගික දිශානතිය වගේම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ලිංගිකත්වය අතින් වෙනස් වීම කියන්නේ සමරිසිභාවය ම නෙමෙයි නේද කියන එක මම ඉගෙන ගත්තා. සංක්‍රාන්ති සමාජභාවය, නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කියන දේ පිළිබඳ ව ඒ වෙනකොට මම දැනගෙන හිටියේ වත් නෑ. සමරිසි ප්‍රජාවට අමතරව තමන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අතින් සමාජය නම් කළ ගැහැණු හෝ පිරිමි සම්මතයට අමතරව වෙනස් ආකාරයෙන් දැනෙන ප්‍රජාවන් වෙනමම ජීවත් වෙනවා නේද කියන එක මම ඉගෙන ගත්තා. මේ වැඩමුළුව මගේ දෙනෙත් පෑදුවා කරුණු රාශියකට.. ඇත්තෙන්ම මේ මොහොතේ තමයි මම මා පිළිබඳව වුනත් සම්පූර්ණ අවබෝධයක් ලබා ගත්තේ. ”

වැඩමුළුව ප්‍රජාවේ නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අනුහස් හට තෝතැන්නක් විය. අනුහස් පවසන අන්දමට, වැඩමුළුව ඇමතූ පිරිස් අතරින් බොහොමයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ LGBTIQ ප්‍රජා මානව හිමිකම් ක්‍රියාකාරීන් ය. ඔවුන් සමඟ කතා බහ කොට උගත් කරුණු මත සමරිසි පුද්ගලයකු වශයෙන් ලොකු ආත්ම අභිමානයක් ඇති කර ගැනීමට අනුහස් සමත් විය.

බාධක මැද ඉදිරියට

“මම හැමදාම අනුගමනය කරේ මගේම ක්‍රමයක්. ඇඳුම් පැළඳුම්, විලාසිතාව, ඇවිදින විදිය, කතා බහ කරන විදිය.. මේ හැමදේකටම මගේම සුවිශේෂී අනන්‍යතාවක් තිබුණා. මම හැම මොහොතකම සමාජය ඉදිරියේ මා පිළිබඳ හොඳ ආකල්පයක් ඇතිවන අයුරින් කටයුතු කළා. මේ තුළින් මගේ ලිංගිකත්වය මගේ පෞද්ගලිකත්වය මිසක වෙනකෙකුගේ කුණු රසයට උඩගෙඩි දීමක් නොවන අයුරින් කටයුතු කළා. කිසිවිටක මගේ අනන්‍යතාවය සඟවා ගෙන මම ජීවත් වුණේ නැහැ.”

තම අභිමානය කැටි කොට ඉපයූ නව ආදර්ශය සමාජගත කරනු වස්, අනුහස් හට ජීවිතයේ නව අරමුණක් ඇතිවිය. එනම් LGBTIQ ප්‍රජා අයිතීන් වෙනුවෙන් සක්‍රිය ලෙස දායක වන මානව හිමිකම් ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කිරීමයි. ඒ අනුව ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙන හැර පෑමටත් ඔහු හා සම්බන්ධ වූ අනෙකුත් තරුණ ප්‍රජා සාමාජිකයන් හට රුකුලක් වීමටත් අනුහස් කටයුතු කළේය.

“අපේම ප්‍රජාවේ තරුණ මල්ලිලා නංගිලා ගොඩක් ඉන්නවා බයෙන් හැංගිලා. මේ ගොල්ලන්ට උදව්වක් වෙන්න මම හැකි හැම අයුරකින්ම කටයුතු කළා. මේ පිළිබඳ තොරතුරු සෝෂල් මීඩියා වල මම ශෙයාර් කළා. මේ එක්කම මගේ අසල් වැසියන් ද මම අන්තර්ජාලයේ හුවමාරු කරන කරුණු ගැන විමසිල්ලෙන් හිටියා. ඔවුන් මගේ ගෙදරට ඇවිල්ලා මට අපහාස කළා. මගේ අම්මා ට අදහසක් තිබුණේ නෑ මේ මිනිස්සු මේ මොනවා ගැනද කියන්නේ කියලා. ඔවුන් මට පරුෂ වචන වලින් අපහාස කළා, මම ජීවත් වන විදිය අනෙත් මිනිසුන්ට සෝෂල් මීඩියා වලින් බලෙන් කවන්න හදනවා කියලා චෝදනා කළා. ගෙදරට ඇවිල්ලා මිනිස්සු මගේ මූණට මේ කීපු කතා අහපු මගේ අම්මා මේ තුළින් ගොඩක් වේදනාවට පත් වුණා.”

සමරිසි අනන්‍යතාවයක් ඉදිරියේ වෘත්තිමය ජීවිතය තුළ පැවති පිළිගැනීම කෙබඳු දැයි අපි අනුහස් ගෙන් ඇසුවෙමු. එයට පිළිතුරු දෙමින්,

“අපි ආයතනයක වැඩ කරන්න සම්බන්ධ වෙනකොට, ඒ ගොල්ලන්ට අවබෝධයක් නෑ අපේ ලිංගික දිශානතින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් මොන වගේද කියා. කාලයත් සමඟ ඒ ගොල්ලොන් ට වැටහෙන්න පටන් ගන්නවා අපි වෙනස් කියා.. අපේ සිතුම් පැතුම්, අපි ආස කරන කියන දෑ පිළිබඳව. මම සේවය කළ ආයතනයේම සේවය කළ කාන්තා සමරිසි යුවලක් සිටියා. ඒ වගේම මගේ කලමණාකාර තුමා මා පිළිබඳ හොඳ අවබෝධයකින් සිටියා. එය මට ලොකු ශක්තියක් වුණා. එදා සහ අද සන්සන්දනය කරලා බැලුවොත්, මම දකිනවා අද සමාජය තුළ එදාට වඩා පිළිගැනීමක් තියනවා LGBTIQ ප්‍රජාවන් හට.”

ඉතාම වැරදි පණිවුඩයක් මාධ්‍යය ලබා දෙන්නේ..

LGBTIQ ප්‍රජාව පිළිබඳ මාධ්‍යකරණය තුළ ඇති ගැටළු පිළිබඳ මීට පෙරද අප වෙත අදහස් ඉදිරිපත් වී තිබිණ. මාධ්‍යකරණය තුළ LGBTIQ ප්‍රජාවන් වෙත ලබා දී තිබෙන්නේ කුමන අන්දමේ වේදිකාවක් දැයි අනුහස් ගෙන් අපි ප්‍රශ්ණ කළෙමු.

“පුවත්පත් වලට ලිපි ලියන මිනිසුන් විවිධ කතා කියනවා LGBTIQ ප්‍රජාව පිළිබඳ. අන්තර්ජාලයේ විවිධාකාරයේ ලිපි පළවෙනවා, වීඩියෝ පළවෙනවා. මේවා තුළ බොහෝ වෙලාවට තිබෙන්නේ ඉතාමත් වැරදි තොරතුරු. සත්‍ය කරුණු විකෘති කරන්න හරි දක්ෂයි අපේ රටේ මාධ්‍යවේදියෝ යැයි කියා ගන්න පිරිස. අඩුම තරමේ මේ මිනිසුන්ට මාධ්‍යවේදීන් හැටියට වගකීමක් තිබෙනවා LGBTIQ ප්‍රජාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා නම් ඉස්සෙල්ලා ප්‍රජා ක්‍රියාකාරීන් හමුවී තොරතුරු සාකච්ඡා කිරීමට. අප කවුරුන් දැයි නිසි අවබෝධයක් ලබාගැනීමට. කිසි වගකීමක් නෑ, හිතළු මත තමයි ඔවුන් බොහෝ වෙලාවට ක්‍රියා කරන්නේ. මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන අන්දමින් ප්‍රවෘත්ති වාර්තා කරනවා, ඡායාරූප පළකරනවා.”

 අනුහස් පවසන්නේ LGBTIQ ප්‍රජාව පිළිබඳ කුණු රසය අවුලන හෝ අසත්‍ය හෝ විකෘතිකරණය කරන ලද තොරතුරු ඇතුලත් ප්‍රවෘත්ති හෝ කලා කෘති නිර්මාණය වනු විනා මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව තුළ සිදුවූ ප්‍රගමනයන් කිසිවකට නිසි මාධ්‍ය ආවරණයක් ලබා දී නොමැති බවයි.

“ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය සමරිසිභාවය හෝ සංක්‍රාන්ති සමාජභාවය යනු මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් ලිංගිකත්වය පිළිබඳ කරුණු ඇතුලත් පොත පත ප්‍රකාශයට පත්කර තිබෙනවා.. ඒත් මේ කිසිම දෙයක් ඔබ දැන සිටියාද? කෝ මේ කරුණු පිළිබඳ මාධ්‍ය ආවරණය?” අනුහස් ප්‍රශ්ණ කරයි.

අනුහස් මතුකළ තවත් වැදගත් කරුණක් විය. එනම් LGBTIQ ප්‍රජාව හට සංකේතාත්මක විලාසිතාවක් හෝ ජීවන විලාශයක් පවතින්නේ යැයි උළුප්පා පෙන්වීමට මාධ්‍ය දරණ උත්සාහයයි.

“මධ්‍යය පෙන්නන්න උතසාහ කරනවා මේ සමරිසියන් කියන්නේ කොණ්ඩේ වවා ගත්තු, පාට කරපු, කන් විදගෙන කරාබු දා ගත්තු, විසිතුරු ඇඳුම් පැළඳුම් අඳින පිරිසක් කියා. එහෙම පෙනුමකින් කෙනෙක් සැරසිලා ඉන්නවා නම් එයා තමයි සමරිසි කියලා ලේබල් කරන්නේ. එය ඉතාම වැරදියි. මොවුන් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ රටේ විෂමලිංගික පුද්ගලයකුගේ පෙනුමෙන් වෙනස් නොවන සමරිසි පුද්ගලයන් ඕනෑ තරම් සිටිනවා. විලාසිතාව මත සමරිසිභාවය මනින්න බෑ. පුද්ගලයකු ඇඳුමින් පැළඳුමින් සැරසෙන්නේ තමාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. එහෙත් පුද්ගලයකු සමරිසි වන්නේ ඔවුන්ගේ ආකර්ෂණය තමාගේ ලිංගයේම පුද්ගලයකු වෙත ඇතිවනවා නම්. අප විෂමලිංගික නොවන්නේ අන්න ඒ නිසයි. අඳින පළඳින විදිය නිසා නෙමෙයි.”

අනුහස් අප සමඟ පැවති සාකච්ඡාවේ අවසාන අදියර තුළ ඔහු මතු කළ තවත් එක් වැදගත් කරුණක් ඔබ වෙත ගෙන ඒමට අපි කැමැත්තෙමු. සමාජය තුළ LGBTIQ ප්‍රජාවන් පිළිබඳ ආකල්පමය වෙනසක් ඇතිකරලීමට නම් LGBTIQ ප්‍රජාව වෙතද ඉතාම වැදගත් වගකීමක් පැවරෙන බවට අනුහස් මත දරයි. එය ඔහුගේ වචනයෙන් මෙබඳුය.

“හිතන්න හෙට උදේ වෙන කොට මුළු සමාජයම LGBTIQ ප්‍රජාව පිළිගත්තා කියලා. ඒත් මම යමක් මතක් කරන්නට කැමතියි අපේ ප්‍රජාවේ සොයුරු සොයුරියන්ට. නිදහස ලැබීම කියන්නේ එය අයුතු විදියට භුක්ති විඳීම නෙමෙයි. සමාජයේ අභිමානවත් පුරවැසියන් කොට්ඨාශයක් හැටියට ජීවත් වන්නට නම්, අප පළමුව ගෞරවාන්විත අන්දමින් හා වගකීමකින් කටයුතු කළ යුතු වෙනවා. දවස අවසානයේ ඔබේ ලිංගිකත්වය කියන්නේ ඔබේ පෞද්ගලිකත්වය. ඔබ කරන කියන දෑ සමාජය බලා සිටිනවා. ඔබ ශාලාව හැර යන්නේ විවේචනාත්මක ප්‍රතිරූපයක් ප්‍රේක්ෂකාගාරය වෙත ඉතුරු කරලා නම්, එයින් විනාශ වන්නේ ඔබගේම සහෝදර ප්‍රජාවයි.”

- MIAP