ස්ත්‍රීත්වය සහ HIV

ස්ත්‍රීත්වය සහ HIV

7 February 2019 10:45 am

ජලජ පෘථිවිය අරුමයි. කාබනික පදාර්තයක් තුළ ජීවය හට ගන්නේ ස්වභාවධර්මයේ අරුමයන් කියා පාමිනි. ජීවය ඇතිවී නැතිවී යයි, නැවත ඇතිවෙයි. පරිණාමයේ දායාදය සරදමට ලක්වන්නේ දියුණුතම සත්ත්වයා වන මිනිසා ලද මොළයේ විචක්ෂණය ‘ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට’ පණ පෙවූ මෙහොතේ පටන් ය; පිරිමියකු ගේ හා ගැහැණියක ගේ සමාජ භූමිකාව ලේබල් කළ මොහොතේ පටන් ය. මිනිසා මෙලොව වසන්නේ තනිවම නොවේ. ලෙඩ රෝග හටගන්නේ ද බොහෝවිට ජීවීන් දෙදෙනකු ගේ අන්තර් සබැඳියාවට එකෙකු ගේ ජෛව ප්‍රතිචාරය උරණ වූ විටදීය. ඇතැම් වෛරස, බැක්ටීරියා, දිලීර නියෝජනය කරන්නේ ද මෙලොව ජීවයම වුවද පැවැත්ම තහවුරු කොට ගැනීමට ආසාධනයක මුහුණුවරක් ගනු ලබයි. එවිට මිනිසා “මට අසනීපයි!” යන නිගමනයට එළඹේ. ආසාධනයකට සමාජ සම්මත, ලේබල්කරණය අදාල නැත. ආසාධනය ගැහැණියට ත් පොදුය, පිරිමියාට ත් පොදුය.

HIV පිළිබඳ ගොඩනඟන සමාජ කතිකාවත ශ්‍රී ලංකාව තුළ පුළුල් විය යුතුම කාලයකි මේ. මෙරට HIV සමඟ ජීවත් වන පුද්ගලයින් අතර කාන්තා පාර්ශවය නියෝජනය කරන්නෝ ද වෙති. එහෙත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හමුවේ පුරුෂ මූලික සමාජ ක්‍රමයක කිරුළු පළඳින ශ්‍රී ලංකාව කාන්තාවට උරුම කොට දී ඇති සමාජීය පිළිගැනීම දෙහි පළුවක් දිව ගැටෙනා බිළිඳෙකුගේ මුහුණෙන් පිළිබිමු වන ඉරියව් හා සමාන වන සන්දර්භයක, HIV සමඟ ජීවත් වන කාන්තාවකට ලැබෙනා ප්‍රතිචාරය කෙබඳුද?

HIV සමඟ ජීවත් වන කාන්තාවන් හට පැවසෙන බොහෝ දෑ වේ. ඈ ගැහැණියක් ව උපත ලද ‘පාපය’ අතරම, සමාජ විරෝධී ක්‍රියාවන් හට පණ පෙවූවන්, ‘පතිවත’ රැක ගත නොහැක්කන්, පිරිමියාට නිගරු කරන්නන්, ඇගේ ‘පව’ දරුවන්ට ද උරුම කර දෙන්නන් ඒ අතර කිහිපයකි. ජීවන අඩිතාලම කරුම, පව්-පින් වෙත මායිම් නොකරන, මනුෂ්‍ය නිදහස හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව ගරුකොට සලකන, තාර්කික හා විද්‍යාත්මක විඥාණයකින් සමාජය දෙස බලන මිනිසුන් වසන්නේ දියුණු සමාජ ඒකකයක් තුළ පමණි. පරිණාමයේ දායාදය සැබවින් භුක්ති විඳින්නේ ඔවුන් පමණි. ඒ තුළ මෙවන් පුහු මත බොල් පොලවේ අට්ටාල ගැසුවා වැනිය.       

කිසිවකුත් ආසාධනයකට අත වනන්නන් නොවේ. HIV සමඟ ජීවත් වන කාන්තාවන් පිළිබඳ ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයකි. HIV සමඟ ජීවත් වන කාන්තාව යනු ජන වාර්ගිකත්වය, ආගම, සමාජ ආර්ථික පසුබිම, ලිංගිකත්වය ආදී සෑම ස්ථානයකම නියෝජනය වන එක් පුද්ගල කොට්ඨාශයක් පමණි. HIV ආසාධනය පැවතීම පිළිබඳ ප්‍රශ්ණ කිරීම දියවැඩියාව ප්‍රශ්ණ කිරීමෙන් වෙනස් වන්නේ නැත. HIV යනු හුදෙක් වෛද්‍යමය ගැටළුවක් විනා පුද්ගල කොට්ඨාශයක් නාමකරණය කිරීමට යොදා ගන්නා නිර්ණායකයක් නොවේ.

HIV යනු ආභරණයක් නොවේ

ගැහැණිය යනු වීරවරියකි. සමාජයේ හිමි විය යුතු වේදිකාව උරුම කර ගැනීමට වෙර දරන අභීත දියණියකි. පුරුෂ මූලිකත්වය රජයන තුරාවට ඒ සමාජ අරගලය අඛණ්ඩව පවතිනු ඇත. HIV සමඟ ජීවත් වන කාන්තාවක ඒ අතින් වෙනස් වන්නේ නැත. ඈ HIV සමඟ ජීවත් වීම එම අරගලය තුළ කැපී පෙන්විය යුතු නැත. එහෙත්, ලිපියක් තුළ ඈ වෙනමම ප්‍රජාවක් නියෝජනය කරන්නියක් යැයි නිස්සාරණය කොට පින්තාරු කිරීමට අපට සිදුවන්නේ මෙම ලේබල්කරණය මැඩපැවැත්වීමෙහි ඇති වැදගත්කම ඔබ වෙත පැහැදිලි කිරීමටයි. HIV පැවතීම වෛද්‍ය සායනයක් තුළ හා ප්‍රතිකාර ගැනීම මත පමණක් සීමා කර, ඔබ අප මෙන් ජීවන අරගලය තුළ අඛණ්ඩ සටනක ඈ ද නිරත වෙයි. “මට HIV, ඒ නිසා මට විශේෂයෙන් සලකපන්!” යැයි ඈ කිසිවිටක ඉල්ලන්නේ නැත. HIV යනු සමාජ අවදානය ලබා ගනු වස් හෝ අනුකම්පාව දිනා ගනු වස් ඈ හට පවතින ආභරණයක් නොවේ.

ඇගේ ලිංගික දිවිය ද උපරිම වින්දනීයයි!

නිසි ප්‍රතිකාර මත වෛරස මට්ටම පාලනය කර ගත යුතු ආකාරය හා එමඟින් සාර්ථක අන්දමින් තම ජීවිතය ගොඩනඟා ගත හැකි ආකාරය ඕනෑම HIV ආසාධිත පුද්ගලයකු වෙත ලැබෙන මූලික වෛද්‍ය උපදෙස් වල අන්තර්ගත වේ. කාන්තාවක ඒ අතින් වෙනස් නොවන අතර, HIV සමඟ ජීවත් වන කාන්තාවක ද නිසි ප්‍රතිකාර මත වෛරස මට්ටම පාලනය කොට ජීවත් වන්නියක වේ. මිනිසුන් අතර පවතින පුහු හිතළුවක් වන්නේ ඈ HIV සමඟ ජීවත් වන්නේ නම් ඇගේ සහකරු ද HIV ආසාධිත විය යුතුය යන්නයි. එයින් පිළිබිමු වන්නේ අනෙකක් නොව සමාජීය මූඨත්වයයි. ශ්‍රී ලංකාවේ HIV ආසාධිත කාන්තාවෝ HIV ආසාධිත නොවන සහකරුවන් සමඟ සුලභ ව ජීවත් වෙති. HIV යනු ප්‍රධානව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාධනයක් බව සැබෑය. එහෙත් ඔබ අප කවුරුත් අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ මෙය 70 හෝ 80 දශකය නොවන බවයි. වෛද්‍ය විද්‍යාව අද බොහෝ සෙයින් දියුණුය. ලිංගික ජීවිතය ආරක්ෂිත හා වින්දනීය අන්දමින් තම සහකරු හෝ සහකාරිය සමඟ ගත කිරීමේ හැකියාව ඈට ද පවතී.  සන්නිවේදනය, අවබෝධය, ආරක්ෂාව හා එකිනෙකාගේ හැඟීම් කෙරේ ඇති සංවේදී බව තුළ ලිංගික ජීවිතය ගොඩනංවා ගනු වස් ආසාධිත තත්ත්වයක් තීරණාත්මක සාධකය නොවේ.

ඈ ද වෘත්තිකයෙකි

ශ්‍රී ලාංකික සමාජය තුළ HIV තත්ත්වය හමුවේ තම රැකියාව හෝ රැකියා අවස්ථාවන් අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා වීම සුලභ වේ. කාන්තාව මේ අතර ප්‍රමුඛ වේ. එය ප්‍රශ්ණ කළ යුතු නොවේද? මෙය හුදෙක් HIV තත්ත්වයක් අරඹයා එල්ල වන ප්‍රතිරෝධයක් යැයි සාධාරිණීකරණය කළ හැකිද? ඇගේ ස්ත්‍රීත්වය මෙම විරෝධයෙහි උත්ප්‍රේරකයක් නොවන්නේ ද? වෘත්තීමය වටපිටාව තුළ කාන්තාවකගේ ස්ත්‍රිත්වය මත සිදුවන බලපෑම්, කෙනහිලිකම්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පුරුෂාධිපත්‍යය මොනවට සපථ කරන බවටත්, එය දශක ගණනක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූලව සාමාන්‍යනරණය වූ නිධන්ගත සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති බවත් අප අවබෝධ කර ගත යුතුය. කාන්තාවකගේ වෘත්තියක් දැරීමට ඇති අයිතිය ඈගේ HIV තත්ත්වය මත නිශේධනය වන්නේ නම් එය පැමිණෙන්නේ හුදෙක් HIV ආසාධිත්වය මත නොව ලිංගිකත්වවාදයේ හා පුරුෂාධිපත්‍යයේ සුසංයෝගයක් ලෙස බවට අප අවබෝධ කර ගත යුතුය. කාන්තාව වෘත්තිකයෙකි. HIV ආසාධිත කාන්තාවද වෘත්තිකයෙකි.      

ඈ ද ආදරණීය මවකි

නූගත්කම හෝ අස්ථාන ගත දැනුම අවබෝධය පිරිහීමේ අධිවේගී මංපෙතයි. ‘තමන්ගේ පව් දරුවොත් ගෙවනවා’ යැයි කාච විශාලනය කරන ලද නිවට සමාජ මතවාදය මුලිනුපුටා දමමින් සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර හමුවේ මවගෙන්-දරුවාට‍ කළල බන්ධය හරහා හෝ මව් කිරි මත HIV වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීමටත්, ආසාදනය නොවූ දරුවකු බිහි කිරීමේ හැකියාවත් HIV සමඟ ජීවත් වන කාන්තාවකට පවතී. මවකගේ HIV තත්ත්වය දරුවකුගේ HIV තත්ත්වය ලේබල්කරණය කරන්නේ නැත. දරුවකුගේ පාසල් යාමේ වරප්‍රසාදය, හෝ පාසල තුළ මිත්‍රශීලී පරිසරයක් භුක්ති විඳීමට ඇති අයිතිය මවගේ HIV තත්ත්වය මත අහිමි කරවන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ නිධන්ගත කුහකත්වය නොවේද? අප නැවත මතක් කිරීමට කැමැත්තෙමු. මේ 80 දශකය නොවෙයි!

ඈද සතුටින් ජීවත් වේ

නූතන ලෝකය දෙස විමසිල්ලෙන් බලා සිටින  පාඨකයකු තුළ ‘U=U ව්‍යාපාරය’ පිළිබඳ හසල දැනුමක් පවතී. එහෙත් අපි දනිමු. කුණු රසය ට ලොල්, ටෙලිනාට්‍යය නිලියකගේ ඇඳුමේ ඇදය සැමටම පෙර දකින තීක්ෂණ ඇසක් හිමි බහුතර පාඨක පිරිසක් අතර මෙවන් ව්‍යාපාරයක් පිළිබඳ දැනුමක් නොපවතින බව අපි දනිමු. ‘U=U’, නැතහොත් ‘Undetectable = Untransmittable’ යනු HIV සහිත පුද්ගලයන් පිළිබඳ පවතින නවතම සොයා ගැනීමක ප්‍රචාරණය සඳහා ගෝලීය වශයෙන් රැගෙන යන ව්‍යාපාරයකි. මෙමගින් කියවෙන්නේ HIV ආසාධිත පුද්ගලයකුගේ රුධිරයේ පවතින වෛරස මට්ටම හඳුනා ගත නොහැකි මට්ටමට ප්‍රතිකාර මත පාලනය වී පවතී නම්, ඔවුන්ගෙන් HIV ආසාධිත නොවන පුද්ගලයකු හට වෛරසය සම්ප්‍රේෂණය නොවන බවයි. නිසි ප්‍රතිකාර ගැනීමෙන් කාලයත් සමඟ වෛරස මට්ටම හඳුනා ගත නොහැකි (Undetectable) මට්ටමට පාලනය කළ හැකිවේ. HIV සමඟ ජීවත් වන වෛරස මට්ටම හඳුනා ගත නොහැකි මට්ටමට සාර්ථකව පාලනය කළ කාන්තාවෝ අප අතර සිටිති, ඉතිරි පිරිස එම මට්ටමට පැමිණෙමින් සිටිති. සාමාන්‍ය පුද්ගලයන් මෙන් සතුටුදායක ජීවිතයක් ඔවුහු ද ගත කරති. කාන්තාවක ගේ ස්ත්‍රීත්වය මත ඈ පවුල් ඒකකය තුළ මතු කරන භූමිකාව ඉඳිකටුවෙන්, හැඳිමිටෙන් හෝ මුළුතැන්ගෙයින් ඔබ්බට කළඑළි බැසීමට සූදානම් මෙවන් යුගයක, ඒ ජීවන ධාරාව HIV සමඟ ජීවත් වන කාන්තාවකටද භුක්ති විඳීමේ හැකියාව අද පවතී.

HIV යනු රුධිරගත වෛරස ආසාදනයකි. වෙනත් ආසාදනයන් මෙන්ම මුල් අවධියේදීම හඳුනා ගැනීම තුළින් ප්‍රතිකාර මත සාර්ථකව පාලනය කළ හැක. ජන වාර්ගිකත්වය, ආගම, සමාජ ආර්ථික පසුබිම, ලිංගිකත්වය ආදී ඕනෑම ස්ථරයක් තුළ සුළුතර ප්‍රජාව බහුතර ප්‍රජාවන්ගේ කෙනහිලිකම් වලට ලක්වීම ඓතිහාසික සංසිද්ධියකි; පරිණාමයේ සරදමකි. ඩාවින් එය දැන සිටියාද යන්න අප දන්නේ නැත. HIV සමඟ ජීවත් වන කාන්තාවන් හට එල්ල වන වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් තුළ පරිභ්‍රමණය වන්නේ හුදෙක් රෝගී තත්ත්වයකට පාන විරෝධය අභිබවා ගිය ලිංගිකත්වවාදය හා පුරුෂාධිපත්‍යයේ බෙලහීනකම හා කුහකත්වය මෙන්ම මෙම බහුතර සුළුතර ප්‍රජාවන් අතර පවතින ඝට්ඨනයේ ප්‍රතිඵලයක් නිසාවෙනි.           

MIAP