මහා නායක, “එල්ලා මරමු!” - පකට පුඟුලාගේ සංදේශය

මහා නායක, “එල්ලා මරමු!” - පකට පුඟුලාගේ සංදේශය

9 February 2019 10:00 am

පකට පුඟුලා බරපතල මානසික ආබාධයකට මුහුණදී උමතු ස්වරූපයෙන් හැසිරෙමින් ලිපි ලිවීම පවා අතපසු කරමින් සිටීම චතුර පුත්‍රයා දැඩි ශෝකයට පත් කළේය.

සමහර අවස්ථාවල කෝපයෙන් බැන වදින ඔහු තවත් විටෙක ශෝකීව හිස් බැල්මෙන් බලා සිටියි. පුඟුලා යම් අවස්ථාවල හුදෙකළාව කොළ කැබැලි වලත් වැසිකිළි බිත්තියෙත් කුරුටු ගාමින් මුමුණයි.

පුඟුලා ගේ අසනීපය අතීතය අමතක නොවීමේ මහා ව්‍යාධියයි. කොතරම් උත්සාහ ගැනුණත්, අතීත සිද්ධීන් අමතක නොවීමෙන් පීඩාව උත්සන්න වෙමින් පවතී. කළු ජනවාරිය අතිශය පීඩාකාරී වකවානුවක් වූයේ මාධ්‍යය ක්ෂේත්‍රයේ අමතක සටහන් සිතට වධ දීමෙනි. පුඟුලා දිගින් දිගට මුමුණයි.

“රිචර්ඩ් සොයිසා මරණ කාලයේ ජනාධිපති ප්‍රේමදාස. නිමලරාජන් මරණකොට චන්ද්‍රිකා. ලසන්ත, මහින්ද රාජපක්ෂ. එක මිනී මරුවෙකුටවත් තාම දඬුවම් නෑ!”

“මහා නායක හාමුදුරුවොත් කියන්නේ අපරාධ කාරයෝ එල්ලා මරන්න කියල. බුදු බණ වලට අනුව එහෙමලු. පෝරකේ කඹ අයින් කරලා පිරිත් නූල් වලින්ම එල්ලා මරන්න බැරිද දන්නේ නෑ. පන්සලෙන්ම අලුගොසුවෙකුත් යැව්වා නම්!” පුඟුලා දොඩවයි...........

එතකොට කළු මාජ්ජ අළු කරන්නේ....??

“ලේක් හවුස් රජයට ගත්තේ 70/77 සමගි පෙරමුණ. දවස කන්තෝරුවට සීල් තිබ්බේ එයාලමයි. එතකොට කව්ද කළු?”

කළු මාධ්‍යයට එරෙහි පෙළපාලි ගිය කට්ටිය පහුගිය අවුරුදු හතරේ හිටියේ කොහේද?

මතකය වදයකි.

මහින්ද රාජපක්ෂ රජතුමා ගේ පාලන කාලේ මේ අය විදේශ අරමුදල් ලබා ගත්තේ මාධ්‍ය මර්ධනයට එරෙහි අරගලයට. යහපාලන කාලේ රාජ්‍ය මාධ්‍ය පරිපාලනය භාරගත් මේ අය, අරමුදල් රැස් කරගත්තේ මාධ්‍ය ප්‍රතිසංවිධානය කරන බව කියමින්. සිරිසේන ගේ ජිල් මාල් කුමන්ත්‍රණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් රජයේ මාධ්‍ය මෙහෙයවීමේ බලය අහිමි වුණු රාජ්‍ය නොවන රාජ්‍ය ලොන්ඩරි අධිපතිවරු පහුගිය දෙමස තුළ විදේශ අරමුදල් රැස් කළේ කළු මාධ්‍යය ට එරෙහි සටනටයි. 

මේ අලජ්ජී සටන් කරුවන්ට එරෙහි කළු මාධ්‍ය ප්‍රහාරයට පරණ රජවරු පවා එක් වීම අපූරුය. සිරස ට නැගගත් රජ තුමා ප්‍රකාශ කළේ, මාධ්‍ය මර්ධනය දරුණු අතට හැරුණු රටවල මාධ්‍ය වේදීන් මරා දැමීම .... මරා! මරා!! දැමීම පවා සිදු වන බවක්. හැබැවටම? කොයි වගේ රටවලද? අපේ රජතුමා වගේ කුක්කු පැටව් මාධ්‍යවේදීන් මරා දමන පාලකයන් ගැන අසා මහත් භීතියට පත් වන්නට ඇත. එතුමා කළු ගෙජ්ජි, සුදු කඹ අතේ බැඳ ආරක්ෂා වන්නේ මෙවැනි බිහිසුණු පුවත් අසා හීනෙන් බය වන නිසාය. අහෝ! මතකයේ ශාපය.

මීට දශක කිහිපයකට පෙර, සබරගමු පළාතේ තම දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ පාපතරයෙක් පිළිබඳ පුවත පළ කළ දිනමිණ පුවත් පත, මෙම පියා සම සමාජ පාක්ෂිකයකු බව සඳහන් කිරීමට අමතක නොකරයි. සමාජවාදීන් කාටත් එක සමානව සලකන හෙයින් දියණිය කියා වෙනසක් නැති බව යි එම පුවතින් කියවුණේ.

මේ කළු පුවත මුද්‍රණය කෙළ දිනමිණ පුවත් පතේ එවක කතෘ, මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ බව පුඟුලාට මතකය. දිනමිණ පරිපාලකයා රනිල් තුමාගේ පියා ය. මතක වද....

මහා ගත් කරු නොව බුදු රජුන් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව කාලාම සුත්‍රයේ සඳහන් ය. කළු මාධ්‍යය බුදුන්ගේ කාලයේ පවා නොතිබුනේ නම් බුදුන් එසේ වදාරණු නොමැති බව පුඟුලාට මතක් විය. අම්බපාලී ගේ බඩේ දරමිටි බැන්දේ කිළී මහාරාජා ගේ මුතුන් මිත්තෙක් විය යුතුය.

ඇත්තේ අගය අම්බපාලී ගණිකාවට සිහි වුණේ මැහැලියක වූ පසුය. ඇය තම පියයුරු ගැන මෙසේ කී බව පුඟුලාට මතකය.

පීනවට්ට සහිතුග්ගතා උභො
සොහෙරේ සුථනකාපුරේ මම
ථෙවිකීව ලම්බන්තෙ නොදකා
සච්චාදීවචනං අනඤ්ඤතා
“පෙර මගේ මනා පියයුරු දෙක පිරී රවුම් ව උස්ව පැවතිණි. එහෙයින් ඉතා මනහර විය. දැන් එම පියයුරු දිය නැති පෙරහන්කඩ මෙන් හැකිලී ඇත. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේමය”.

බුදුන් වහන්සේ ඇයට සමාව දුන්නෝය.

රණ විරු නොවන, ගිහි අපරාධ කාරයනට දඬුවම් දිය යුතු වුණත් ගලගොඩ දාගත් බොදු බල උන්නාන්සේ ට සමාව දිය යුතු බව මහා නා හිමියෝ දේශනා කරන්නෝය. ඇත්තකි, නීති විරෝධී වැඩ කළත් එතුමෝ සංඝයා වහන්සේ ය. ඒ ගමන් කළයුතු තවත් සද් කාර්යයක් තිබේ. සෝමාරාම නිදොස් කර දිය යුතුය. 1959 දී සොලොමන් ඩයස් බණ්ඩාරනායක අගමැති තුමා මරා දැමූ තල්දුවේ සෝමාරාම නා හිමියෝ මරණ දඬුවමට නියමවී එල්ලා අපවත් කැරුණි. එහිමියන් නිදොස් කර සමාව දී, සඟ පරපුරේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව මගේ අදහසයි.

එංගලන්තයේ ළමා ලිංගික අපචාර සිදු කර සිරබත් කෑ පහළගම සෝමේ, දකුණු බ්‍රිතාන්‍යයේ බෝන්මත් පළාතේ තම මිතුරු සඟ සගයා කපා කොටා අපවත් කර මල්ලක දමා ගෙන වඩිමින් සිටියදී අත් අඩංගුවට පත් සඟරුවන වැන්නෝ බේරා ගැනීමට හිතවත් මහා රැජින වෙත බල කිරීම අපේ රජ තුමා විසින් කළ යුත්තකි.

මිනී මැරුවත් අපේ හාන්දුරු උන්නාන්සේලා එල්ලා අපවත් නොකර බේරා ගැනීම සඳහා අපේ සිරිසෙන් තුමා කිරියා කළ යුතු වන්නේමය.

කුඩු ජාවාරමේ මහා නායක මාකඳුරේ මධුෂ් ගේ ප්‍රධාන ගෝලයෝ අතර කලක් උතුරේ ක්‍රියාන්විත රාජකාරී කටයුතු වල නිරතව සිටි රණ විරුවෝ ද සිටිති.

ඉතිං හාමුදුරුවනේ .....
අපි අනික් අය එල්ලා මරමු!