ජීවත් වන මිනිස්සු බොරු කියති ! මන්නාරම මිනීවළේ අඳුරු පැත්ත - Lanka News Web (LNW)

ජීවත් වන මිනිස්සු බොරු කියති ! මන්නාරම මිනීවළේ අඳුරු පැත්ත

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් සාම්පල් 6ක් සම්බන්ධයෙන් වූ කාබන් කාල නීර්ණ වාර්තාව ඊයේ (07) මාධ්‍ය වෙත නිකුත් කෙරුණු අතර ඉන් කියැවුණේ මෙම අස්ථි කොටස් සියවස් කිහිපයකට එහා ඒවා බවයි. මෙම කාල නීර්ණය සමාජයෙහි මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. පහතින් දැක්වෙන්නේ එම කාබන් කාල නීර්ණ වාර්තාව ලැබීමට පෙර 2019.03.03 වනදා රාවය පුවත්පතේ පළවූ ලිපියකි. වැදගත් කරුණු රැසක් මෙම ලිපියෙන් මතු කර තිබේ.

 

************************************

මේ දිනවල බොහෝ දෙස් විදෙස් මාධ්‍ය අවධානය දිනාගත් මාතෘකාවක් වන්නේ ආසියාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවළ වන මන්නාරම පැරණි සතොස ගොඩනැගිලි භූමියෙන් හමුවූ සමූහ මිනීවළය. බොහෝ දෙනකු මග බලා සිටින්නේ එහි කාල නිර්ණ වාර්තාව කුමක්දැයි කියාය. එම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් වලින් ලබාගත් සාම්පල හයක රේඩියෝ කාබන් කාල නිර්ණ පරීක්ෂණ ප්‍රතිඵල දැන් මන්නාරම සමූහ මිනීවළෙහි ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරන මන්නාරම දිස්ත්‍රික් අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ වෙත අන්තර්ජාලය හරහා ලැබී ඇත. එහි දෘඪ පිටපත් ද ඔහුට සහ මන්නාරම මහේස්ත්‍රාත්වරයාට ලැබෙන තුරු ඔවුහු බලා සිටිති. සමූහ මිනීවළවල් ගණනාවක් මෙරට ඉතිහාසයේ අවස්ථා ගණනාවක විවිධ ප්‍රදේශවලින් හමුවුවත් ඒවායින් අවසාන වාර්තාවක් දක්වා සාර්ථකව අවසන් කළ ඒවා තිබෙන්නේ ඉතාම අල්පයකි. අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටුවීමකට වඩා එලෙස හමුවූ සමූහ මිනීවළවල්වලින් බොහොමයක් භාවිත වූයේ යම් යම් පාර්ශ්වයන්ගේ පටු වුවමනාවන් මුදුන්පත් කරගැනීමටය. මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ භූමියෙන් හමුවූ මිනීවළ සම්බන්ධයෙන්ද මේ වන විට සිදුවෙමින් පවතින සිදුවීම් අනුව එහි හෙට දවස පිළිබදව ගොඩනැගී ඇත්තේ ද අවිනිශ්චිත වටපිටාවකි.

හදිසි කාල නිර්ණ

මන්නාරම සමූහ මිනීවළෙහි සීමාව තවමත් සොයාගෙන නොමැති බව අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පවසන්නේය. මේ වන විට එම වළ එක් පසෙකින් මැදවච්චිය තලෛමන්නාරම් ප්‍රධාන පාරේ මායිම දක්වා පුළුල් කර තිබේ. සමූහ මිනී වළෙහි විවිධ ස්ථර නියෝජනය කරන සාම්පල හයක් ඔහු විසින් ඇමරිකාවේ ෆ්ලොරිඩාහි බීටා ඇනලිටික් රසායනාගාරය වෙත රැගෙන ගොස් භාර දෙනු ලැබුවේ ජනවාරි 25 වැනිදාය. ඊට සියලු අනුග්‍රහ ලැබෙන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මගිනි. එම කාර්යාලයේ සාමාජිකයෙක් සහ මන්නාරම අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් දෙදෙනකුද නිරීක්ෂකයන් ලෙස යැයි පවසමින් එම ගමනට සහභාගි වී තිබිණ. එම නීතිඥයන් සඳහා ප්‍රතිපාදන අතුරුදන්වූවන්ගේ කාර්යාලයෙන් සැපයුවේ නැත. එලෙස රැගෙන ගිය සාම්පල හයෙහි පමණක් කාල නිර්ණ වාර්තාව අධිකරණ වෛද්‍යවරයාට ලැබී තිබේ. එමෙන්ම වළෙහි කැණීම් තවම අවසන් නොමැති බවත් එහි මායිම තවම සොයාගෙන නොමැති බවත් එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා පවසන්නේය. එහෙත් කැණීම් අවසාන අදියරට පැමිණීමට පෙර කොටසක පමණක් සාම්පල කාල නිර්ණයට රැගෙනයනු ලබන්නේ ඇයිද යන පැනය අප වෛද්‍ය රාජපක්ෂගෙන් විමසුවෙමු.

“වෙනත් තැන්වල වගේ නෙමෙයි මේ කැණීම සිදුවන්නේ නගරයක් මැද්දේයි. මේ වන විට ප්‍රධාන පාර ආසන්නයටම කපා තිබෙනවා. අනෙක් පැත්තෙන් ගොඩනැගිලි තිබෙනවා. ඒවා ළගට කැපුවොත් ඒවාට හානිවීමේ අවදානමක් තියනවා. හැබැයි අවශ්‍ය නම් පාර සහ එම ගොඩනැගිලි තිබෙන ස්ථානත් කැණීම් සිදුකිරීම කළ හැකියි. ඒ ගැන තවම තීරණය කරන්න බැහැ, අවශ්‍ය නම් එය සිදු කරනවා. එහෙම දෙයක් කිරීමට පෙර කාබන් කාල නිර්ණයෙන් යම් අදහසක් ලබා ගැනීමේ අරමුණින් අපි එවැනි තීරණයක් ගත්තා. මොකද මේක කවදා කොයි විධියට වුණා ද කියා කිසිම කෙනෙක් ළඟ සාක්ෂි නැහැ. ඒ නිසා ඒක ගැන යම් අදහසක් දැනගැනීමට විමර්ශනය යන අතරතුර මෙවැනි තීරණයක් ගත්තා.” අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් පැවසුවේ එවැන්නකි.

එහෙත් වළෙහි මායිමක් පිළිබඳ තවම ඔවුන්ට කිව නොහැකි නම් සහ තවම කැණීම අවසන් නොමැති නම් ඉදිරියේ දී හමුවිය හැකි අස්ථිවල මෙතෙක් හමුවූ අස්ථිවලට වඩා වෙනස් කාල වකවානුවකට අයත් අස්ථි තිබේ දැයි තවම කිසිවකුට කිව නොහැකිය. එසේ නම් ඉදිරියේ මතුවිය හැකි අස්ථි පිළිබද නොසලකා හරිමින් කැණීම මධ්‍යයේ හදිසියේ අස්ථි සාම්පල කොටසක් පමණක් කාල නිර්ණය සඳහා රැගෙන ගොස් ඇත. කාබන් කාල නිර්ණයෙන් පූර්ව නිගමනයකට එළැඹෙනවා නම් සහ ඒ අනුව තීරණ ගන්නවා නම් තවම කැණීම් අවසන් නොවූ කොටස පිළිබඳ වගකීම දරන්නේ කවුද යන ගැටලු මතුවේ. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. “දැනට අපි ගත්තේ සාම්පල හයයි. ඒ සාම්පල් හය ගත්තේ හාරා තිබූ මුළු කොටස නියෝජනය වන ආකාරයටයි. දැනට හාරා නැති කොටස ගැන අපිට තවම කිසිම අදහසක් නෑ. එහෙම වුණොත් අපිට මේ කැණීම අවසානයේ දීත් නැවත ඒ කොටස්වල සාම්පල් යැවීමට තීරණය කරන්න පුළුවන්.”

එක් සාම්පලයක පමණක් රේඩියෝ කාබන් කාල නිර්ණ පරීක්ෂණය සඳහා ඩොලර් 700කට ආසන්න ප්‍රමාණයක් වැය වී තිබේ. එවැනි සාම්පල හයක කාලනිර්ණයටත් වෛද්‍යවරයා සහ ඕඑම්පී සාමාජිකයාගේ ගමන් වියදම් ඇතුළු අනෙකුත් වියදම් සඳහාත් ඒ අනුව දැනටමත් විශාල මුදලක් වැයවී තිබේ. ඔහු පවසන පරිදි කැණීම අවසානයේ නැවත කාබන් කාල නිර්ණයක් සඳහා එලෙස අස්ථි සාම්පල රැගෙන යන්නේ නම් ඒ සදහා නැවත වාරයක් එම මුදල දැරීමට සිදුවේ. එය එක්වර කිරීමට තිබූ කටයුත්තක් හදිසියේ ඇතිවූ යම් කරුණක් හේතුවෙන් අතරමගදී සිදුකර දැන් පඹගාලක පැටලීමක් ලෙස දැකිය හැකිය. “ඔව් දෙපාරක් වියදම් යනවා. ඒත් සංකීර්ණ තීරණයක් ගන්න නම් අදාළ සියලු දේ තිබිය යුතු නිසායි ඒ වෙලාවේ එහෙම තීරණයක් ගත්තේ. නැවත එලෙස අස්ථි සාම්පල රැගෙන යනවා නම් පෞද්ගලිකව නොගිහින් කුරියර් සේවය මගින් යැවීමටත් හැකියාව තිබෙනවා. එහෙත් යම්කිසි කෙනෙක් චෝදනා මතු කරනවා නම් එය කලින් ආකාරයටම අතේ ගෙනිහින් භාරදීමට හෝ එය මොන ආකාරයෙන්ද කරන්නේ කියන දේ ගැන තීරණයකට එන්න වෙනවා. එහෙම අවශ්‍යතාවක් වුණොත් අපට ඒක ඒ වෙලාවේදී තීරණය කරන්න වෙනවා.” ඒ වෛද්‍යවරයාගේ පිළිතුරයි. අතරමගදී කාල නිර්ණය කිරීම පිළිබඳ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ඒ අනුව මෙවැනි අපැහැදිලි පිළිතුරු මගින් ද පැහැදිලිවේ.

කාබන් කාල නිර්ණය අස්ථි සාම්පල ගෙන යාම විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බැවිනුත් මෙතෙක් පවත්වාගෙන ආ විශ්වසනීයභාවය රැකගැනීමටත් ඒවා වෛද්‍ය සමින්ද රාජපක්ෂ අතින්ම රැගෙන ගොස් භාර දෙන බවත් එහි විනිවිදභාවය වෙනුවෙන් තවත් නිරීක්ෂකයන් තිදෙනෙකු සහභාගි වන බවත් ඔහු දිගින් දිගටම මාධ්‍යවලට පැවසුවේය. එසේ නම් මෙතැනදී අපට මතුවන එක් ගැටලුවක් වන්නේ කැණීම තවම අවසන් නොමැති නම් එහි තවත් අස්ථි තිබේ නම් ඉදිරියේදී මතුකර ගන්නා එම අස්ථි කුමන කාලවකවානුවලට අයත්ද යන්න පිළිබඳ පූර්ව නිගමනයකට ඔවුන්ට එළඹිය නොහැකි බවය. දැන් කැණීම අවසාන වීමට පෙර අස්ථි කොටසක පමණක් කාබන් කාල නිර්ණය කර තිබේ. ඉදිරියේ දී මතුවන අස්ථි කොටස්වල කාබන් කාල නිර්ණයක් අවශ්‍ය වුවහොත් නැවත එය සිදුකළ යුතු යැයි එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා පවසයි. එලෙස අස්ථි යැවීමට තමා යා යුතුද වෙනත් ක්‍රමයකට යවනවාද යන්න තීරණය කළ යුතු වන බව ද ඔහු පවසයි. එය වෙනත් ක්‍රමයකට යවනවා නම් ඔහු මෙතෙක් පවත්වාගෙන ආ බව කී විනිවිදභාවය ආරක්ෂා කිරීම පිළිබඳව එය ගැටලුවක් ඇති නොකරන්නේද යන ප්‍රශ්නයද මතුවේ.

වාර්තාව ඇවිත්

කෙසේ හෝ මේ වන විට සාම්පල හයක රේඩියෝ කාබන් කාල නිර්ණ වාර්තාව අධිකරණ වෛද්‍යවරයාට ලැබී තිබේ. එය ලැබී තිබුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩා බීටා ඇනලිටික් රසායනාගාරයෙන් අන්තර්ජාලය හරහා ඔහු වෙනුවෙන් ලබා දී තිබෙන ගිණුමටය. මෙය සාමාන්‍ය කාල නිර්ණ වාර්තාවක් ලබා ගැනීමට එහා ගිය නීතිමය කටයුත්තක් බැවින් එම වාර්තාවට අමතරව එහි තවත් දෘඪ පිටපත් දෙකක් ඔහුට සහ මන්නාරම මහේස්ත්‍රාත්වරයාට එවන ලෙස ඔහු ඉල්ලා තිබේ. අන්තර්ජාලය හරහා ලැබුණු වාර්තාවේ මුද්‍රිත පිටපතක් සහතික කර පසුගිය 20 වැනිදා අධිකරණ වෛද්‍ය රාජපක්ෂ විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ද ඒ පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් අධිකරණය විසින් නොගෙන තිබෙන්නේ දෘඪ පිටපත සෘජුව අධිකරණයට ද ලැබෙන තෙක් බව ප්‍රකාශයට පත් කර තිබේ.

“ඒකට හේතුව කලින් අපට ලැබුණේ සාම්පල පහක වාර්තා පමණයි. 6 වැනි එක ලැබෙන්නේ නැතිව අපට තීරණයට එන්න බැහැ, මොකද ඒක සමහරවිට එහි වෙනස් යමක් තිබීමට පුළුවන්. ඒ නිසා සම්පූර්ණ වාර්තාව එනතුරු ඒ ගැන තේරුම් ගන්න බැහැ. අනෙක් දේ ඔන්ලයින් වාර්තාව ලැබෙන්නේ මට විතරයි. එහි මුද්‍රිත පිටපතක් ගෙන සහතික කර මම උසාවියට භාර දුන්නා. මම ඒ පිටපත වෙනස් කළා කියලා යම් කිසිවකුට කියන්න පුළුවන්. මොකද එහි ඔරිජිනල් අත්සන් ඒ පිටපතේ නැති නිසා. වඩා විනිවිදභාවයෙන් යුක්ත විය යුතු නිසා මහේස්ත්‍රාත්වරයාට සහ මට දෘඪ පිටපත් දෙකක් ඉල්ලා තිබුණා. එය ලැබෙන තුරු තීරණයක් නොගෙන ඉන්නවා. ඒවාත් අස්ථි සාම්පල්වල ඉතිරි කොටස් එක්වර කුරියර් මගින් ගෙන්වා ගැනීමට අවශ්‍ය වියදම් ඕඑම්පී විසින් දරනවා. සතියක පමණ කාලයක් තුළ එය ලැබේ යැයි අපේක්ෂා කරනවා. එය ලැබුණු පසු අපි එය වාර්තාවට ඇතුළත් කරනවා. ඉන් පසුව එය මාධ්‍යවලට නිරාවරණය වෙනවා.” ඒ අනුව සාම්පල පහෙන් එකක් වෙනස් වුවහොත් සමස්ත ප්‍රතිඵලවලට එය බලපාන බව ඔවුහු පිළිගනිති. එසේ නම් මෙතෙක් කැණීම් අවසන් නොවූ මිනී වළෙහි ඉදිරියේදී මතුකර ගන්නා අස්ථි සාම්පල පිළිබඳ පූර්ව නිගමනයකට ද එළඹිය නොහැකිය.

කෙසේ වෙතත් මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අවසාන වීමට ප්‍රථම එහි අස්ථි සාම්පල කොටසක් කාබන් කාල නිර්ණයට යවා එහි ප්‍රතිඵල ද ලැබී ඇත. මේ වන විට ජිනීවා සමුළුවද ඇරඹී ඇත. ඒ අතර බොහෝ දෙස් විදෙස් මාධ්‍ය ආයතනවල මාධවේදීන් ද මේ වන විට හදිසියේ මෙන් මන්නාරම මිනී වළ වෙතට අවධානය යොමුකර සිටින බව ද පෙනෙන්නේය. තවම වාර්තාව ද හෙළි කර නැත. ඒ අතර මන්නාරම පුරවැසි සංවිධානය විසින් මෙම වාර්තාව හෙළි කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පෙබරවාරි 28 වැනි දින පැවැත්වීමට සංවිධානය කර ඇති බව ද දැනගන්නට ලැබේ. මේ හදිසි කාල නිර්ණ තීරණත්, ඉන්පසු මේ වන විට සිදුවෙමින් පවතින සිදුවීම් දාමයත් මෙම මිනී වළෙහි හෙට දවස පිළිබඳ බරපතළ ගැටලු රාශියක් මතු කරමින් තිබෙන්නේය.

අස්ථි සංඛ්‍යා නොවෙනස්

පෙබරවාරි 15 වැනිදා වන විට සමූහ මිනී වළෙන් මිනිසුන් 323 කට අයත් අස්ථි මතුකර ගෙන තිබෙන බවත් ඉන් 314ක් දැනට ඉවත්කරගෙන ඇති බවත් වාර්තා වුණේය. අප පෙබරවාරි 26 වැනිදා විමසන විට ද වෛද්‍ය සමින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ සංඛ්‍යා ඒවාම විය. එහෙත් 26 වැනිදාට පසුව ද දින කීපයක හැරෙන්නට අනෙකුත් දිනවල කැණීම සිදුවූ බව ඔහු පවසන්නේය. මීට පෙර වළෙහි කැණීම් සිදුවූ දිනවල දිනෙන් දින එම සංඛ්‍යා ඉහළ ගියේය. එහි කැණීම් සිදුවනවා යැයි පැවසුවත් එම දත්ත දින ගණනාවක සිට තවමත් පවතින්නේ එකම අගයකය. “අධිකරණ කටයුතුවලට යෑමට සිදුවූ නිසා 25 සහ 26වන දිනවල කැණීම් සිදුවුණේ නැහැ. පසුගිය සිකුරාදා 149වන දිනට කැණීම් සිදුවුණා. 27 වන දින 150වන දිනට කැණීම් සිදු කරනවා. ඒවාට අංක දෙන්නේ අවසාන වශයෙන් පිරිසිදු කරලා ඉවත් කරගැනීමට පෙරයි. ඡායාරූප අරගෙන ඉවත්කර ගන්නේ ඉන් පසුයි. දැනට ගොඩක් මතුකරගෙන තියනවා. මතුකරගෙන තිබුණත් ඒවායේ සංඛ්‍යා තවම අපට දීලා නැහැ. අංක වැඩිවෙන්නේ නැත්තේ ඒ නිසායි.” අධිකරණ වෛද්‍යවරයා ලබා දුන්නේ එවන් අපැහැදිලි පිළිතුරකි. අපට දැනගැනීමට ලැබෙන පරිදි නම් වෝහාරික පුරාවිද්‍යා කණ්ඩායම සතියක පමණ කාලයක සිට මන්නාරම සමූහ මිනී වළෙහි කැණීම් සඳහා සහභාගි වී නැත. ඒ අනුව එතැන් සිට සමූහ මිනීවළෙන් අස්ථි ඉවත්කර ගැනීම සිදුවීද නැත. එබැවින් අස්ථි සංඛ්‍යා ඉහළ යන්නේ නැත. මේවා අනුව මන්නාරම සමූහ මිනීවළෙහි කැණීම් මේ වන විට පවතින්නේ අර්බුදයක බව පැහැදිලිය.

කතා කිරීමට වාරණ

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අපි මන්නාරම සමූහ මිනී වළෙහි ප්‍රධාන වෝහාරික පුරාවිද්‍යා නිලධාරියා ලෙස කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව ඇමතුවෙමු. “මේ සම්බන්ධයෙන් මට කිසිවක් ප්‍රකාශ කරන්න පුලුවන් කමක් නැහැ. මොකද තව දුරටත් මේ විමර්ශනයට සම්බන්ධ වනවාද යන්න පිළිබදව දෙවරක් සිතා බැලීමට සිදුවනවා.” යනුවෙන් ඔහු පැවසුවේය. කෙසේ වෙතත් මන්නාරම සමූහ මිනී වළෙහි පුරාවිද්‍යාත්මක කටයුතු සම්බන්ධයෙන් හෝ අපට කිසිදු තොරතුරක් මහාචාර්යවරයාගෙන් දැනගැනීමට නොහැකි විය. කැණීම් ආරම්භවූ කාලයේ එම කටයුතු සම්බන්ධයෙන් මහාචාර්යවරයා ද මාධ්‍යවලට අදහස් දැක්වූ නමුත් එය අතර මගකදී නතර විය. අධිකරණ තීරණයක් අනුව මාධ්‍යවලට තොරතුරු ලබාදිය හැක්කේ සමූහ මිනී වළෙහි ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරන තමන්ට පමණක් බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ ඒ දිනවල ද පැවසුවේය. “මහේස්ත්‍රාත්වරයාත් සමග කැණීම් කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවකදී මාධ්‍යවලට තොරතුරු මා හරහා පමණක් යා යුතුයි කියලා අනෙක් අයගේත් එකඟතාවයෙන් මහේස්ත්‍රාත්වරයා මාව පත් කළා. මොකද විවිධ අය හරහා විවිධ අදහස් මාධ්‍යට වාර්තා වුවහොත් එය බාධාවක් වන නිසායි. මේක අපරාධ විමර්ශනයක් නිසා මාධ්‍යවලට විවෘත කිරීමේ අවශ්‍යතාවකුත් නැහැ. එහෙත් විනිවිදභාවය පවත්වා ගැනීම සදහා මාධ්‍යට ඒ අවස්ථාව ලබා දුන්නා.” මේ සම්බන්ධව වෛද්‍යවරයා පැවසුවේ එවැන්නකි.

මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය පසුගිය කාලයේ ද විවිධ අදහස් තම තමන්ගේ සිතැඟි පරිදි ප්‍රකාශ කළේය. එහෙත් එය සමාජ මාධ්‍ය ජාල වල සිදුවන්නේ මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් පමණක් ද නොවේ. ඊට පිළිතුර වන්නේ එක් අයකුට පමණක් මාධ්‍යවලට පිළිතුරු ලබාදීමට ඉඩ ලබා දී අනෙක් අය නිහඬ කිරීම නොවේ. මෙහි පුරාවිද්‍යාත්මක විවරණයක් ලබා ගැනීමට අවශ්‍ය අයකුට එය ලබාගත හැකිවන්නේ එහි ප්‍රධාන පුරාවිද්‍යා නිලධාරිවරයාගෙනි. පුරාවිද්‍යා කණ්ඩායමෙහි වගකීම වන්නේ අස්ථි ක්‍රමානුකූලව මතුකර, ඒවා සමග තිබෙන වෙනත් ද්‍රව්‍යාත්මක අවශේෂත් ආදියෙහි ස්ථර වින්‍යාස, මට්ටම් ආදී තොරතුරු ඡායාරූපද සමග ලේඛන ගතකර එම අස්ථි වළෙන් ඉවත් කර ගැනීමය. එහෙත් ඒවා පිළිබඳ අවශ්‍ය තොරතුරක් ලබාගැනීමේ අවස්ථාව මේ අනුව අහිමිව තිබේ.

අධිකරණ වෛද්‍යවරයා පැවසුවේ කාබන් කාල නිර්ණ වාර්තාවට අනුව මෙම කැණීම අවසන් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයකට ද එළඹිය නොහැකි බවයි. එම වාර්තාවත් අනෙකුත් හමුවූ සාධක සියල්ල අනුව එය තීරණය කළ යුතු බවත් එය ඉතා සංකීර්ණ තීරණයක් බවත් ඔහු පැවසුවේය. අප දන්නා පරිදි මෙම සමූහ මිනී වළෙහි සේවය කළ සියලුදෙනාට ඕඑම්පී මගින් ආහාර හා නවාතැන් සඳහා ප්‍රතිපාදන ලැබුණේය. එහෙත් ඔවුන් සියලුදෙනා තම ශ්‍රම දායකත්වය ඊට ලබා දුන්නේ කිසිදු අමතර දීමනාවක් ලබා ද නොවේ. මන්නාරමට ප්‍රවාහන වියදම් හෝ ඔවුන්ට නොලැබුණු බව ඔවුහු පැවසූහ.

වාර්තාවන අන්දමට මන්නාරම මිනීවළ දැන් පැටලී තිබෙන්නේ පඹගාලකය. දැකිය හැකිවන්නේ එම අර්බුදයෙහි පෙර නිමිතිය.

- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ( රාවය )

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...