පක්‍ෂ දේශපාලනය පියවි ඇසින්, අන්වීක්‍ෂයට  - Lanka News Web (LNW)

පක්‍ෂ දේශපාලනය පියවි ඇසින්, අන්වීක්‍ෂයට 

දශක 07 ක්  පුරා ලාංකේය දේශපාලනය තුළ දියත් වී ඇති පක්‍ෂ දේශපාලනයක් හරහා රට මහත් අර්බුදකාරී තත්ත්වයක් කරා ගොස් තිබෙනුයේ අපරාධකාරී ලෙසය. ඒ තමන්ගේ ඡන්ද මලු තරකොට ගැනීමේ සහ තමන්ගේ පක්‍ෂයේ හෝ තම පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවා ගැනිම වෙනුවෙන් ඕනෑම අගතිගාමී දෙයක් කිරීමට පසුබට නොවූ පක්‍ෂ දේශපාලනයේ භාවිතාවක් මෙකී කාලය තුළ දියත්ව තිබෙනා නිසාය. දේවල් සිදුවී තිබෙනුයේ එසේ නමුත් ප්‍රශ්නය වී තිබෙනුයේ ලාංකේය රාජ්‍යය මේසා විශාල සාපරාධී තත්ත්වයක් දක්වා ගොදුරු කළ පක්‍ෂ දේශපාලනය මේ වනවිටද ජන සමාජයක් තුළ කිනම් හෝ වලංගුභාවයක් තව දුරටත් රැකගෙන සිටීම වේ.“ජනමිත්‍ර හඬ“අප වියමන වෙත ප්‍රවේශ වන්නේ අන්වීක්‍ෂයකින් දැක ගත යුතු පක්‍ෂ දේශපාලනයේ සැබෑ තත්ත්වයන් මේ වනවිටද පියවි ඇසින් දකිනා සමාජය වෙත මේ තත්ත්වය වෙනස් කොට ගැනීම සඳහා අවැසි ජනතාවාදී සහයෝගය ලබාදීම සඳහාය.

 දශක 07 ක ලාංකේය දේශපාලන ඉතිහාසය වකවානූන් දෙකක් ලෙස වෙන් වනුයේ 1948 සිට 1978 දක්වා සහ 1978  සිට වර්තමානය දක්වා ලෙසය. ඒ අනුව මුල් කාල පරිච්ඡේදයට වසර 30 ක් සහ දෙවන කොටසට වසර 40 ක්ද ඉක්ම යමින් පවතින්නේය. ලාංකේය  සමාජය තුළ පළමු කාල පරිච්ඡෙදයේ (1948 - 1978) ජීවත්වූ ජනයාට පක්‍ෂ දේශපාලනය දැකගැනීම හෝ වටහාගැනීම සඳහා තම පියවි ඇස ප්‍රමාණවත් වූ නමුත් ඒ අතීත වැසියාටද හඳුනාගත නොහැකිව තිබූ දෑ නොතිබුණා නොවේ. උදාහරණයක් ලෙස කිවහොත් අම්පාර සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් පසු සිංහල ගොවි ජනපද ව්‍යාපාරයක් පිහිටුවීමේත්, සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් වීමේත් යථාර්ථය එදා සමාජයටද සිය පියවි ඇසින් නිවැරදිව දැකගත හැකිවූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස 1975 පමණ වනවිට පැවති 30 අවුරුදු යුද්ධය ආරම්භ වීම සඳහා අවශ්‍ය කළාවූ යටිතල පහසුකම් සියල්ල සැපිරෙමින් තිබුණේය. ඒ පක්‍ෂ දේශපාලනයේ කූටත්වයන් එකල ජනයාගේද සාමාන්‍ය පියවි ඇසට දර්ශනය වූයේ නැති බැවිනි.

තත්ත්වයන් වඩාත් විකෘති වී දේශපාලනය වටහාගැනීම සඳහා මිනිස් පියවි ඇස කොහෙත්ම ප්‍රමාණවත් නොවනා තත්ත්වයක් ආරම්භ වූයේ 1977 දී බලයට පත් එජාප පාලනය සිය න්‍යාය පත්‍රය දේශපාලන මේසය මත එළාගත් පසුය. එතැන් සිට පියවි ඇසට ගිණි කන වට්ටවමින් “නිවහල් ධර්මිෂ්ඨ සමාජයක” ගෝෂාවක් සහිතව ජේ. ආර්. ජයවර්ධන පාලනය වැඩ පටන් ගත්තේ “පෙනුම සහ හරය” අතර වෙනස සඟවා තබාය. ඒ අනුව 1983 ට නියමිතව තිබූ මහ මැතිවරණය ඕනෑද? එපාද? යැයි ජේ. ආර්. පාලනය මෙරට ජනයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියේ දේශපාලන බලය මාරු වුවහොත් යෝධ සංවර්ධන ක්‍රියාවලිය ඇන හිටිනවා යැයි කියා සිටිමින්ය. සිය පියවි ඇසින් ජේ. ආර්. ජයවර්ධන දේශපාලනය දැකගැනීමට අපොහොසත් වූ ලාංකේය ජන සමාජයක් එදා ජේ. ආර්. ගේ අභිමතය පරිදි ලාම්පු කලගෙඩි ජනමත විමසුමේදී ජේ. ආර්. දිනවූයේය. පියවි ඇස වෙනුවට දේශපාලන අන්වීක්‍ෂයක් භාවිතා කළ එවක ජවිපෙ නායක රෝහණ විජේවීර ජේ. ආර්. ජයවර්ධන එන්න හදන්නේ මොකාට දැයි එදා රටට හෙළිදරව් කළේය. නමුත් ජේ.ආර්. දේශපාලනය ආපසු හැරවීමට එම උත්සහය ප්‍රමාණවත් වූයේ නැත. එදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප දේශපාලනය මෙරට ජනයාගේ දේශපාලන පියවි ඇසට කොතෙක් වැලි ගසා තිබුණේද කිවහොත් 1981 දී යාපනය පුස්තකාලයට ගිණි තැබීමටත්, 1983 දී දැවැන්ත දෙමළ ජන සංහාරයක් දියත් කිරීමටත් පැකිළුණේ නැත. ඒ මෙරට ජන සමාජය සතුව දේශපාලන අන්වීක්‍ෂයක් නොව තම පියවි ඇසද නිවැරදි යහපත් තත්ත්වයක නොතිබූ නිසාය. එබැවින් සිදුවීම් අවසානයක් කරා ගමන් කරනු ලැබුයේ රුධිර ගංගාවන් හරහාය. නිවහල් ධර්මිෂ්ඨ සමාජය සිය 17 අවුරුදු පාලනය අවසන් කළේ උතුරේද දකුණේද මිනී කඳු ලෙසින් ගොඩ ගසා දවා හළු කරමින්ය. වරද සිදුවූයේ කා අතින්ද? එය සිදුවූයේ ජනතා පරමාධිපත්‍ය බලය හිමිවූවන් අතිනි. ඒ මෙරට පක්‍ෂ දේශපාලනයේ දුෂ්ඨ අරමුණු දැකගත හැකි ඉතා නවීන දේශපාලන අන්වීක්‍ෂයක් තමන් සතුව නොතිබූ නිසාය. දේශපාලන අන්වීක්‍ෂයක්ද රහිතව දෑසේ පිරී ගිය වැලි ද සහිත ලාංකේය සමාජයට 1994 දී උඩින් පල්ලෙන් දැකගත හැකි වූයේ විහාරමහා දේවියක් හෙවත් නිදහසේ මල් කැකුළක් දේශපාලනයට එන බව පමණය. ඒ විහාරමහා දේවී දේශපාලනය සිය පාලනයේ අවසන් භාගයට පැමිණෙනා විට ඇතැම් පක්‍ෂ ගැති කලාකරුවන්ට සිය වරළස අහිමිව තිබුණේය. ගාලු මුවදොර පිටියේදී දඬුවම් ලැබීමට නියමිතව සිටි අපරාධකරුවන් කරදඬු උස් මහත්ව යෙහෙන් වැජඹුණෝය. පාතාලයේ සොල්දාදුවන් ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නිල ලත් වුන් බවට පත්ව සිටියෝය.

පියවි ඇස රවටනා මෙරට පක්‍ෂ දේශපාලනයේ කූටප්‍රප්තිය සිදුවූයේ 2009 මැයි 19 දාතමින් පසුය. ඒ වේලුපිල්ලේ පිරභාහරන් දේශපාලනය අරබයා අවිනිශ්චිතව සිටි රාජපක්‍ෂ දේශපාලනයට යුධ විරුවෙකු වීමේ බෝනස් අවස්ථාවක් ලැබුණු නිසාය. ඒ බෝනස් දේශපාලනයෙන් වියරු වැටුණාවු රාජපක්‍ෂ දේශපාලනය දළදා මාළිගය වටාද කාර් රේස් පැද්දේ මෙරට ජන සමාජයක් සිය පියවි ඇසට තමන් විසින්ම බරපතල ලෙස අලාභ හානි කොට ගෙන තිබූ නිසාය. මේ ජනතා පියවි ඇස කොතෙක් වැලියෙන් පිරී තිබුණේද කිවහොත් රාජපක්‍ෂ දේශපාලනයට “ඕනෑ  එකක් ” කොට ගැනීම සඳහා ඉඩහසර විවර කොට දී තිබූණේ අවසන් වූ යුද්ධයේ ආරක්‍ෂක හමුදාවන්ගේ කොටස සහ රාජපක්‍ෂවරුන්ගේ කොටස කුමක් දැයි වෙන් කොට දැකගත නොහැකි වූ නිසාය. ඒ දෘෂ්ටි ආබාධය භාවිතා කොට ගත් රාජපක්‍ෂ දේශපාලනය වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකුගේ ජීවිත පැහැර ගත්තේය. කොළඔ නගරයේ අලංකාරයට බාධා කළ දුගී නිවැසියන් පන්නා දැමුවේය. හමුදා සොල්දාදුවන් ලවා වැලි කොට්ට බංකර තනා සිය පුතුන්ගේ රිය ධාවන නිපුණත්වය යටත් වැසියන් වෙත පෙන්වා දුන්නේය. රාජපක්‍ෂවරුන් හට බුදුහිමියන් සමගද ඥාති සබඳතා තිබූ බව කියවා ගන්නට තරම් ඇතැම් කලාකරුවන්ගේ පෞරෂත්වය මිළදී ගත්තේය. මේ අවසන් වූ යුද්ධයක අධිබල විදුලිධාරා ආලෝකයෙන් සිය දේශපාලන පියවි ඇස දුබල කොට ගත් ජන සමාජයක් නෙළාගත් අස්වැන්නයි.

පක්‍ෂ දේශපාලනයේ ඇත්ත භාවිතාවන් පියවි ඇසට කිසිසේත් හඳුනාගත නොහැකි බරපතලම තත්ත්වය උදාවූයේ 2015 ජන. 08 කලු විප්ලවයෙන් පසුය. අප මෙම විප්ලවය කලු විප්ලවයක් ලෙස හඳුන්වන්නේ මෙකී විප්ලවයෙන් පසු සිදුවූ දේ ඉතාම අප්‍රසන්න කලු පැහැයක්ද ඉක්මවූ දැළි පැහැයක් ගත්තාවූ නිසාය. දේශපාලන අන්වීක්‍ෂයක් අවශ්‍යව තිබෙන්නේ මෙකි කලු විප්ලවයෙන් පසු සිදුවූ කැත පක්‍ෂ දේශපාලනය හඳුනාගැනීම සඳහාය. මේ කලු විප්ලවයෙන් පසු මේ වනවිට වමේද, දකුණේද යන සියල්ලන්ගේ මුහුණේ දැළි ගෑවී ඇත්තේ ඉතාම අප්‍රසන්න ලෙසය. නමුත් පියවි ඇසේ බලවත් රෝගී තත්ත්වයක් සහිත ලාංකේය සමාජයට මේ දැළි ගා ගත් පක්‍ෂ දේශපාලනය නිවැරදිව දැකගත හැකිව නැත. ඒ නිසාවෙන් පක්‍ෂ දේශපාලනය හඳුනාගැනීම සඳහා නවින අන්වීක්‍ෂයක් ඕනෑකර තිබෙනුයේ ඉතාම අත්‍යාවශ්‍ය ලෙසය. මන්ද එසේ නොවන්නට මේ රට යාමට නියමිත ගමනාන්තය වනාහී ඉතාම බිහිසුණු තැනක් බවට මේ වනවිට ඉඟි පළවෙමින් තිබෙනා නිසාය.

 2015 ජන. 08 දාතමින්  පසු මෙරට දේශපාලනයේ සිදුවූ විශේෂිතම සිදුවීම වූයේ  පාර්ලිමේන්තුව තුළින් විපක්‍ෂය අහෝසිවී යාම වේ. නමුත් පක්‍ෂ දේශපාලනය විසින් එල්ල කොට ඇති වැලි ප්‍රහාරයන්ට ගොදුරුවී ඇති ලාංකේය ජන සමාජයේ පියවි ඇසට අදටත් මෙය වටහා ගැනීම පහසු වී නැත. එබැවින් ඉදිරි මැතිවරණයන් ඉලක්ක කොට ගනිමින් පක්‍ෂ දේශපාලනයේ සියලු මහතුන්ලා සිය ව්‍යාජ වෙනස්කම් ප්‍රදර්ශනය කරමින් සිටිනුයේ හෘදය සාක්‍ෂියෙන් බැහැරවූ තම භාවිතාවන්ගේ නිපුණතාවයන් මැනවින් ප්‍රදර්ශනය කොට තබාය. ඒ අනුව මේ තත්ත්වය හඳුනා ගැනීම සඳහා අන්වීක්‍ෂයක අවශ්‍යතාවය උත්සන්නව තිබෙනුයේ එකිනෙකාගේ ව්‍යාජ භාවිතාවන් දිනෙන් දින වඩ වඩාත් වර්ධනය වෙමින් තිබෙනා නිසාය.

 ඊනියා යහපාලන පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය අහෝසි වී ගියේ යැයි අප කියා සිටිනුයේ ඇයි? පක්‍ෂ දේශපාලනයේ මේ සත් ගුණවත් මහත්වරුන්ට අපහාස කිරීම සඳහාද? නැත. කිසිසේත් නැත. “ජනමිත්‍ර හඬ“ ලෙස අප එවන් ලාභ පන්නයේ දේශපාලනයක නියැළෙන්නේ නැත. පාර්ලිමේන්තුවෙන් විපක්‍ෂය අහෝසි වී යද්දී ඊට පළමුවෙන්ම ගොදුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි මතධාරීන්ය. ඒ ජන. 08 දක්වා මුදලාලිලා දෙදෙනාගේම බඩු ගැන තමන්ට සහතික විය නොහැකි බව කියා සිටි වුන් ජනාධිපතිවරණයෙන් පසු අශුද්ධ දින සියයේ පාලනයකට රිංගා ගැනීම හරහාය. 19 වන සංශෝධනය හරහා මෙරට සිටිනා එකම ප්‍රජාතන්ත්‍ර විරෝධියා ලෙස හඳුනාගෙන සිටි මහින්ද රාජපක්‍ෂට නැවත ජනාධිපති වීමේ අවස්ථාව අහුරා තබා ජවිපෙ චරිත සහතිකයක් ලියා දුන්නේ ඊනියා යහපාලනයේ “ප්‍රජාතන්ත්‍ර විරෝධය” සඳහාය. මෙරට පරම ජනතාවාදීන් ගෙන් එසේ ලබාගත් චරිත සහතිකය භාවිතා කොට ගත් එජාප දේශපාලනය මෙරට ජනයාට එරෙහිව සිය පොල්ල කරකවන්න ගත්තේ මහජනයාට මහින්ද රාජපක්‍ෂගේ සහ ගෝඨාභය රාජපක්‍ෂගේ සුදු වෑන් සංස්කෘතිය සිහි කැඳවා දෙමින්ය. ඒ අනුව රනිල් - මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදය වූයේ සුදු වෑන් රහිත පාලනයක් මිස අන් යමක් වූයේ නැත. මේ ප්‍රමිතියට  අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පැහැරගැනීමක් සඳහා සුදු නොවූ කලු ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කොට ගත්තේය.

 ජන. 08 කලු විප්ලවයෙන් පසු රාජපක්‍ෂ දේශපාලනය ලද අත්දැකීම කදිමට සමාන වූයේ අත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ මුදල් පාලකයෙකු වූ කේ. පී. නැමැත්තා එවක ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හමුවීම හා සමගය. කේ. පී. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් කියා සිටියේ ගෝඨාභය මහතා හමුවීමට පෙර තිබූ බිය ඔහු හමුවීමෙන් ටික වේලාවකට පසු අවසන් වූ බවයි. ජන. 08 න් පසු රාජපක්‍ෂ දේශපාලනයේ බිය තුරන් වූයේද එසේය. දින සියයේ ආණ්ඩුව හරහා ප්‍රජාතන්ත්‍රවාදී දූෂණයෙන් තොර රටක් හදන්නට එක මේසයක් වටා අසුන් ගත් මහතුන්ලාගේ තට්ටම් ඌෂ්ණයෙන් අසුන් රත්වන්නටත් පෙර ඊනියා යහපාලන මහතුන්ලා සිය බඩගිනි නිවාගනු වස් මහ බැංකවුට පැන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේත් යහපාලනයේත් සළුපිළි කම්බි වැටවල පැටළී තිබියදී බව රට හමුවේ හෙළිදරව් වූයේ අමු දහවලේය. ඒ සොරුන් රැකීමට පොත් ලියූ එවුන්ද, අල්ලස් ලෙස නිවාස පහසුකම් සපයා ගත් වුන්ගේද නාම ලේඛණ සහිතවය. චෞරයාගෙන් මුදල් ලබාගෙන ඡන්ද කළ වුන් සිටියේ සාධාරණ කට උත්තර පවා රහිතවය. දූෂණ චෝදනා ලැබ සිටි මහින්ද රාජපක්‍ෂට සිය අපුල අවයවයන්ගෙන් පවා සිනහ පහළ වී තිබූණේ කේ. පී. හා සමාන වෙමින්ය. පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය අහෝසි වී යාමේ ප්‍රතිඵලයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිටත් ලෝ පුරා සැරිසරන්නේය යන්න ප්‍රසිද්ධ රහසකි. ඒ අද වනවිට පාර්ලිමේන්තුව තුළ සිටිනුයේ මහජන නියෝජිතයින් නොවූ ගේම් කාරයින් පිරිසක් නිසාය. අප මෙසේ කියා සිටිනා විට දියවන්නාවේ අසුන් ගෙන සිටිනා ව්‍යාජ ජනතාවාදීන් හට මළ පහත් වන බව අප මැනවින් දන්නේය. ඒ පියවි ඇසට නොපෙනෙනා සිය අසික්කිත භාවිතාවන් අපගේ අන්වීක්‍ෂය හරහා හෙළිදරව් වන්නාවූ නිසාය.

අපගේ අන්වීක්‍ෂයට ගොදුරු වන්නාවූ මේ ව්‍යාජ විපක්‍ෂයේ ආනුභාවයෙන් ඊනියා යහපාලනය බොහෝ අමාරු දේ පහසුවෙන් ඉටුකොට ගත්තේය. ඒ අතරින් කැපී පෙනෙනුයේ බිහිසුණු සිංගප්පූරු වෙළඳ ගිවිසුම, තොරතුරු සඟවනා තොරතුරු පනත, සොරුන්ට රිංගා යා හැකි විගණන පනත වැනි දේය. (විගණන පනත බරපතල සංශෝධනයන්ට ලක්ව බල බිඳීමෙන් පසු සම්මත වන්නට පෙර විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කොට සිටියේ මේ පනතින් දැන් කළ හැකි දෙයක් නැත කියාය. ඔහු ඒ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුව තුළ සිටිනා කිනම් හෝ ජනතාවාදියෙකුගේ සහයෝගයක් තමන් වෙත ලැබේය යන අපේක්‍ෂාව සහිතවය. නමුත් විපක්‍ෂයක් කියා එකක් සැබැවින්ම නැති බව ඔහු දැන සිටියේ නැත. එබැවින් කිසිදු ජනතාවාදියෙකුගේ සහයෝගයක් ඔහුට ලැබුණේ නැත.) මේ මෙරට මහජනයාගේ කලබලකාරී සේම වැලි පිරී ඇති පියවි ඇස නොදුටු සත්‍යය තත්ත්වයයි. මෙය මෙතැනින් අවසන්ද? නැත. එබැවින්  4100 කට අධික පක්‍ෂ දේශපාලනයේ සංවිධායකයින් පිරිසකට මෙරට ජනයා වැටුප් ගෙවනුයේ “ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා” යන නාමකරණයෙන්ය. පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටිනා සියල්ලන් වමේද දකුණේද යන භේදයකින් තොරව කීයේ නව පළාත්පාලන පනත ප්‍රජාතන්ත්‍රවාදයේ පට්ට ජයග්‍රහණයක් බවයි. ඒ මෙරට ජනයාගේ  දෘෂ්‍යාබාධිත  දේශපාලන පියවි ඇස ගැන මොවුන් සැම දෙනාට මනා අවබෝධයක් තිබෙනා නිසාය. එසේම දේශපාලන අන්වීක්‍ෂ භාවිතයක් මෙරට ජනයා කොහෙත්ම නොකරනා නිසාය. නමුත් අප පෙනී සිටිනුයේ මෙරට පොදු ජනයා උදෙසා බැවින් අපගේ දේශපාලන අන්වීක්‍ෂය විසිහතර පැය තිස්සේ ක්‍රියාත්මකය. මේ එළියට ගෙන දෙනුයේ එකී අන්වීක්‍ෂයෙන් නිකුත් කෙරෙනා වාර්ථාවන් මිස කිසි ලෙසකින් වත් අපහාස කැලෑ පත්තර නොවේ.

අද වනවිට පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක වනුයේ විපක්‍ෂය විසින් ගොඩ නැගූ විපක්‍ෂයක් නොවේ. ආණ්ඩුව විසින් හසුරුවන සිය පක්‍ෂ දේශපාලනයේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නාවු විපක්‍ෂයක් පමණි. ඒ විපක්‍ෂය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුව කැමති මාත්‍රාවේ මිස කිසිසේත් ඉන් ඔබ්බට නොවේ. මන්ද මේ සියලු දේශපාලන පක්‍ෂයන්ට ජනතා සේවයෙන් බැහැර වූ තමන්ගේම වූ පුද්ගලික දේශපාලනයක් පවතිනා නිසාය. ඒ පක්‍ෂ දේශපාලනය කොතෙක් අසික්කිත තැනකට පැමිණ තිබේදැයි හඳුනා ගැනිමට ලාංකේය සමාජය සතු පියවි ඇස සමත් වන්නේ නැත. මන්ද මේ පක්‍ෂ දේශපාලනය විසින් මෙරට ජන සමාජයේ දේශපාලන නේත්‍රාවන්ට බරපතල ලෙස වැලි ගැසීමක් සිදුකොට ඇති බැවිනි. නමුත් තමන්ගේ දේශපාලන අක්‍ෂියට වැලි වැදී ඇති බව නොදන්නා බොහෝ වුන් තමන්ගේ පක්‍ෂයක් ගැන කියමින් කළුවරේ අතපත ගෑමක නියැළී සිටිනුයේ බලා සිටිය නොහැකි තරම් ඛේදජනක ලෙසය. අපගේ වෑයම මෙරට ජනයාගේ දෑස් පෑදීම උදෙසා පමණක් නොව අන්වීක්‍ෂයෙන් බැලීමටද උත්සුක කිරීම සඳහාය. මන්ද මේ පක්‍ෂ දේශපාලනය සිය භාවිතාව නිරතුරු සකසා ගනුයේ ජන සමාජයක “දෘෂ්ටිකත්ව ආබාධයට” සාපේක්‍ෂ ලෙස නිසාය. එබැවින් ප්‍රථමයෙන් කළ යුතුව තිබෙනුයේ වන්දනීය පක්‍ෂ දේශපාලනයෙන් ඉවත්ව සිය නේත්‍රා නව දේශපාලනයක් වෙනුවෙන් පිරිසිදු කොට ගැනීමය. එපමණයි.                   

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb