අම්මප ජසින්ඩා, ඔහේට පිස්සුද?

අම්මප ජසින්ඩා, ඔහේට පිස්සුද?

17 March 2019 06:16 am

අම්මපා ජසින්ඩා, ඔහේට පිස්සුද? මුස්ලිම් හිජාබය දාගෙන මුස්ලිම් මළගෙවල්වල ගියෙ..? අනික උන් සරණාගතයො.. ඡන්දෙ කාලෙක නම් කමක් නෑ!

ජාතිවාදී උන්මත්තකයෙකුගේ ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 50 දක්වා ඉහළ ගොස් තිබියදී නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් විපතෙන් දිවි බේරාගත් මුස්ලිම් ප්‍රජාව හමුවීමට ගියේ කළු පැහැති හිජාබයක් හිස පළඳාගෙන ය.

දැන් නවසීලන්තයෙන් නොවුණත් ලොව පුරා වෙසෙන චූල මනස් සහිත ශරීරවලින් ඇයට අතොරක් නැති චෝදනා එල්ල වෙමින් තිබේ. ඉහත දැක්වෙන්නේ එයින් කිහිපයකි. එයට අමතරව ‘‘ඕක ඔයහැටි ගණන් ගන්න දෙයක්යැ?“, ‘‘ඇස්වල කඳුළු පුරෝගන්න දෙයක්යැ‘‘ සහ, ‘‘අපිනෙ මහජාතිය, මොකටෙයි උන්ගෙ දුක බෙදාගන්න ගියෙ? උන්ට කළ කම් පල දුන්නා‘‘ වැනි උදාන වාක්‍යද අතරින් පතර අසන්නට ලැබේ.

නමුත් ඇය ගියේ දුක බෙදාගන්නට ය. ඒ දුක තමන්ට ද දැනෙන බව හඟවන්නට ය. රාජ්‍ය නායිකාවක වශයෙන් ඇය ලොව පුරා අන්තවාදීන්ට ලබාදුන්නේ අන්තවාදය සහ ජාතිවාදය ට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද යන්න ගැන කදිම නිදසුනකි.

නවසීලන්තයේ ජනගහනය දළ වශයෙන් ලක්ෂ 48 කි. එහි වෙසෙන මුස්ලිම් ප්‍රජාව 50,000කට වැඩි නැත. ඉතින් පැහැදිලිවම ජසින්ඩා ආර්ඩෙන් මේ කරන්නේ රඟපෑමක් නොවේ. ඡන්දය කාලෙට ගම් නියම්ගම්වල ඇවිදිමින් අම්මාගේ ඇකයේ නිදා සිටිනා පොඩි එකා පවා ඇහැරවා බදාගන්නා ආසියාවේ දේශපාලකයන් මෙන් ඇය මේ යෙදීසිටින්නේ ඡන්ද ගුණ්ඩුවක නොවේ. අනෙක නවසීලන්තය කොහොමටත් දියුණු රටකි. එහි ජීවත් වන ජනතාවගේ මනස් ද දියුණු ය. ඒ නිසා, එකෙකුගේ දුකක් වුවත් ඒ රටවලට හුදෙකලා සිදුවීමක් නොව ජාතික ප්‍රශ්නයකි. එයට හේතුව, ඒ රටවලට මනුස්ස ජීවිත හරි වටිනවා ය! අපේ රටවල වගේ නොවේය!

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපාකරය වැනි මේ වන විට ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු යැයි සලකන බොහෝ රටවල ජනගහනය බහුවාර්ගික ය. බහු ආගමික ය. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි උන්මත්තක නායකයන් විනා මේ ලෝකයේ බහුතර ජනතාව තවමත් මධ්‍යස්ථ ය. ඔවුන්ට බහුවාර්ගිකත්වය හෝ බහුආගමිකත්වය යනු දේශප්‍රේමයෙන් ඔද්දල් වන්නට හෝ කෝපයෙන් වයින් වෙන්නට කාරණාවක් නොවේ. ඒ ජන සංයුතිය ඔවුන් සලකන්නේ මිනිස් ධනවත්කමේ කොටසක් හැටියට ය. ඒ ධනවත්කම සැදුම් ගෙන තිබෙන්නේ බොහෝ කොටම සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ගෙනි. උදාහරණයක් වශයෙන් මේ දියුණු රටවල් අතිබහුතරයක ජනතාව ‘බන්ච් ඔෆ් ඉමිග්‍රන්ට්ස්‘ලා ය. ඒ රටවල් ‘ගොඩගියේ‘ ද ඔවුන්ගේ ශ්‍රමය සහ දැනුම ලබාගනිමිනි. ඒ බවට උදාහරණ ඇති පදම් තිබේ.

නවසීලන්තයට මුස්ලිම් ප්‍රජාව පැමිණෙන්නේ ද ඒ කැටගරියට යටත්ව ය. මිය ගිය පණස් දෙනාගෙන් 8 දෙනෙක් ඉන්දියානු ජාතිකයන් බව ද මේ වන විට හෙළි වී තිබේ. ඉතින් අප අල්ලා ගත යුත්තේ මිය ගිය අයගේ මුස්ලිම් ජාතිය හෝ මුස්ලිම් ආගම නොවේ. ඝාතකයා සහ මිය ගිය අය ජාති දෙකකට අයත් වූ බව පමණි. එනම් ඝාතකයා අමනුස්ස ජාතියට අයත් වන අතර, මිය ගිය අය සහ ජීවත් ව සිටින අය මනුස්ස ජාතියට අයත් වෙති.

‘‘මේ ලොව සිටින්නේ එකම එක ජාතියකි. ඒ මනුස්ස ජාතියයි“ යැයි කීවේ කවුරුන්ද? බුදුන් වහන්සේ ය. ජාතිය, ආගම සහ නවසීලන්ත කිරිපිටි අල්ලාගෙන සමාජ ජාලවල පෙරළි කරන ඊනියා බෞද්ධාගමිකයන් මුස්ලිම් සහෝදරයන්ට ‘හොඳ වැඩේ‘ කියන්නට කලින් සිහිපත් කර ගත යුතුව තිබෙන්නේ එයයි.

වයස අවුරුදු 37 දී ජසින්තා ආර්ඩෙන් ලොව ළාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වූවාය. පසුගිය වසරේදී විවාහ නොවී දරුවෙකු බිහි කළාය. ඊයේ, මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන මුස්ලිම් මළ ගෙවල්වල ගියාය. ඒ ඇගේ හැටි ය. ඇයට විසල් හදවතක් තිබේ. පුහුදුන් සමාජයේ ගතානුගතික රාමු කුඩු වෙන්නට ඇය පහර දෙන්නේ අද ඊයේ දිනෙක සිට නොවේ.

ඝාතනය සැළ වී විනාඩි ගණනක් ඇතුළත නවසීලන්තයේ ගිනි අවි භාවිතය සීමා කරමින් නව නීති පැනවූවාය. ඒ උදේ 9 ට ය. දහවල් 1 ට ඇය කළු පැහැ ඇඳුමකින් සැරසී කළු පැහැති හිජාබයක් ද පැළඳ ක්‍රයිස්ට්චර්ච් බලා ගියාය. ‘‘මුළු මහත් නවසීලන්තයම මේ විපතේදී එක්සත්ව කණගාටු වන බව‘‘ පැවසුවාය. ‘‘මේ අප දන්නා නවසීලන්තය නොවෙයි. හැම කෙනෙක්ම ආරක්ෂිතව සිටීම අවශ්‍යයි… They are us, විපතට පත් ප්‍රජාවගෙන් අති බහුතරය සංක්‍රමණික ප්‍රජාවයි. ඔවුන්ගේ නිවහන මේ නවසීලන්තයයි!‘‘

ඝාතකයා ගැන ඇය කීවේ මෙපමණකි. "The person who has committed this violent act has no place here." - මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කළ තැනැත්තාට මෙහි ඉඩ නෑ!“

ඇගේම බසින් කියනවා නම් ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය දිනය නොහොත් ‘නවසීලන්තයේ අඳුරුතම දිනයේ‘ දී ඇය සුදීප්තව බැබළුණාය. තමන්ගේ ජාතිය මනුස්ස ජාතිය මිස අනෙකක් නොවන බව ලොවට කියා දුන්නාය.

ඉතින් මේ ලෝකයට ජසින්ඩා ආර්ඩෙන්ලා තව වැඩි වැඩියෙන් අවශ්‍ය ය.

- රදිකා ගුණරත්න