ලංකා නිව්ස් වෙබ් - දස වසකට පසු අද මෙතැන!

ලංකා නිව්ස් වෙබ් - දස වසකට පසු අද මෙතැන!

17 March 2019 02:38 pm

මේ අවකාශය තුළදී ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අන්තවාදී සම්පාදක ධාතු (elements) වෙත බර අවිවලින් පහර දෙනු ලැබේ!

ලංකා නිව්ස් වෙබ් සමග අතීතයේ බැඳී සිටියෝ මේ සටන්කාමිත්වය පිළිබඳ හොඳින් දනිති. මෙම වෙබ් අඩවිය ලංකාව තුළ වාරණය කළ සමයේදී ගරිල්ලා මෙහෙයුම් දියත් කළ යුගයක් තිබිණි. කැලෑ සටන් කරන්නටම සිදුවූ යුගයක් තිබිණි. නමුත් 2015 වසරෙන් පසු ලංකා නිව්ස් වෙබ් සිය ගමන් මග වෙනස් කරයි. එය මාධ්‍ය ආචාර ධර්මවලට උර දෙන අත්දැකීමක් පරිශීලකයා වෙත තිළිණ කරයි. ප්‍රචණ්ඩත්වය සහ කුණු රසය සොයන පොදු පාඨක සමාජයට මේ තත්වය අජීර්ණය විය හැකිය. නමුත් එය ප්‍රතිපත්තිමය තීරණයකි.

ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණයේදී බොහෝ විට ‘මිනිසුන්ගේ ප්‍රශ්න‘ මාධ්‍ය ප්‍රකාශනයන් බවට පත් නොවන්නේ මාධ්‍ය හිමිකාරිත්වයේ බැඳියාවන් හේතුවෙනි. නමුත් වසර දහහතක ජනමාධ්‍ය ජීවිතයේදී මා දුටු අපූර්වතම මාධ්‍ය හිමිකාරිත්වය ලංකා නිව්ස් වෙබ් සතු ය. එසේ පැවසීමට හේතු ද ගණනාවක් තිබේ. කෙසේ නමුත් අවසානයේ, වාණිජමය හෝ දේශපාලනික බැඳියාවන් නිසා පුවත්වලට ඉඩ වෙන් කිරීමේදී බොහෝ විට ප්‍රශ්නයක් පැන නොනගින අතරම, සෙසු මාධ්‍යයන්ට අත පෙවිය නොහැකි මානයකින් මිනිසුන්ගේ ප්‍රශ්න කතා කිරීමේ බහුජන වේදිකාවක් ද මේ නිසා අන්තර්ජාලය තුළ තැනී තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය ගැන මාතෘකාව කරළියට ගෙන ඒමේ වගකීම නෙළුම්යාය පදනම මත පැටවුණු විට ලංකා නිව්ස් වෙබ් අවකාශය ප්‍රතික්‍රියා දැක්වූයේ සීමාරහිත සහෝදරත්වයකින් යැයි කිව හැක. වින්දිතයන්ගේ කතා පුවත් ‘සෙක්සිඅප්‘ කර ඔවුන්ට ‘අනේ පව්‘ යන හැඟීම පමණක් ලබාදීමට අප සූදානම් නැත. ඒ පිටුපස තිබෙන, ‘ග්‍රාමීය ආර්ථිකය ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ හසුකිරීම‘ යන යථාර්ථය අප විසින් දිගහැරිය යුතුමය. නොඑසේ නම් සම්පූර්ණ චිත්‍රය මතු කර ගැනීමට නොහැකි වේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් අය පමණක් නොව ණය ලබාදුන් ආයතන ද ඇතැම්විට මේ උගුලේ වින්දිතයන් වී සිටින අයුරුද අපට පෙනේ. සැබවින්ම සමාජ ක්‍රියාකාරීන් වශයෙන් අපගේ ඇතැම් තීරණ නිසා ලංකා නිව්ස් වෙබ් හි වෙළඳ දැන්වීම් ගැළවී ගියේය. අප ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ආචාරශීලී නොවන භාවිතයන් දිගින් දිගටම ප්‍රශ්න කරන විට ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට අප වහකදුරු මෙන් වූ අවස්ථා අපි දනිමු. විටෙක එම ෆේස්බුක් පෝස්ට් ඉවත් කරන ලෙස ව්‍යංග ඉල්ලීම් ලැබේ. ඒවායින් සමහරක් මුදලට අපව යටකරගැනීමට ගන්නා උත්සාහයන් ය. නමුත් ඒවා අවඥාවෙන් බැහැර කර තව තවත් සංවිධිත වීම ලංකා නිව්ස් වෙබ් හි ප්‍රතිපත්තියයි. අප ඔවුන්ට හැරෙන තැපෑලෙන් ලබාදෙන පිළිතුර වන්නේ අපහාසයක් හෝ අගතියක් වී නම් අපට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ය.  ‘රෑන්කිං බැස්සත් කමක් නෑ. ඇඩ් ගැළවුණත් කමක් නෑ.. හරි දේ කරපල්ලා‘ යන කර්තෘ මණ්ඩල ප්‍රතිපත්තිය චන්දිම විතානාරච්චි සොයුරා විසින් අප වෙත ලබා දී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමේ පටන් එය යටිබිම්ගත ජනතාවගේ මෙවලමක් බවට පත්කිරීමේ බොහෝ කටයුතුවලදී ලංකා නිව්ස් වෙබ් නිබඳව අත්වැල් බැඳ ගත්තේය. නමුත් රඹෑව සිද්ධියට ලංකා නිව්ස් වෙබ් මැදිහත් වන විට ඔවුන් තොරතුරු දැනගැනීමේ පනත හරහා යා හැකි උපරිම දුර ගොස් තිබිණි. ඉතිරිව තිබුණේ එතැනින් ඔබ්බට විහිදුණු මාධ්‍ය කාර්යභාරයකි. ඒ වන විට ලංකාවේ ප්‍රධාන පෙළේ විද්‍යුත් නාලිකාවලට පවා ජනතාව මෙම ප්‍රශ්නය ගැන දැනුම් දී තිබූ නමුත්, ඒ ඇතැම් නාලිකාවක් සරලවම ඒ ජනතාවට පවසා තිබුණේ, ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් හෝ ජාතිවාදී ගැටුමක් එළිපිට හට නොගන්නේ නම් එතැන ‘නිව්ස්‘ එකක් නොමැති නිසා තමන්ට මැදිහත් වීමට නොහැකි බව ය. නමුත් ලංකා නිව්ස් වෙබ්, කිසිදු ආතතිමය තත්වයක් ඇති වීමට ඉඩ නොතබා සියලුම පාර්ශවයන් සංයමයෙන් යුතුව හසුරුවමින් අගතියට පත් ගොවි ජනතාවට ජයග්‍රහණය ලබාදීමට ප්‍රශස්ත ලෙස මැදිහත් විය. එය හුදු වාර්තාකරණයෙන් හෝ විවේචනයන්ගෙන් ඔබ්බට ගිය සංස්ලේෂණවාදී මාධ්‍ය භාවිතයක් විය. මාධ්‍යයේ බලය තිබෙනුයේ පොදු ජනයාට සවියක් වීමට බව ලංකා නිව්ස් වෙබ් පෙන්වා දුන්නේ එසේ ය. අවසානයේ වසර 11 කින් අස්වදන්නට නොහැකි වී තිබූ අක්කර හතළිහක කුඹුරු යායක් මේ වන විට රන් කරළින් බරවී තිබේ. අනතුරුව අපට ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ, රඹෑවේ ගොවිජනතාව දැන් සිය ජංගම දුරකථන හරහා ලංකා නිව්ස් වෙබ් කියැවීමට හුරු වී සිටින බව ය.

එය එක් උදාහරණයක් පමණි.

‘ආර්තව දුගී බව‘ (පීරියඩ් පවර්ටි) යන යෙදුම ලංකාවේ සිංහල මාධ්‍ය භාවිතයට එක් කරමින් කිලිනොච්චියේ වාණිජ සනීපාරක්ෂක තුවායක් උපන්තේකට ඇසින් දැක නැති යුවතියන් ගැන ලියන්නට ද, වාණිජ සනීපාරක්ෂක තුවායන්ගේ සෙස් බද්ද අඩු කිරීමේ මිත්‍යාව ගැන නොබියව කතා කරන්නටද, ලංකාවේ සතර අතට විහිදෙන - සැබෑ දිශානතියක් නොමැති - ණය මිස නිෂ්පාදනය ප්‍රවර්ධනය නොකරන සංවර්ධන මාෆියාව ගැන ලියන්නට ද, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ උත්කර්ෂය බිම හෙළමින් සැබෑ බුද්ධ දර්ශනය කුමක්දැයි සොයාබලන්නට ද ලංකා නිව්ස් වෙබ් අපට ලිබරල් අවකාශයක්ම විය. විසඳුමක් ලැබෙන තෙක්ම වින්දිතයාගේ ප්‍රශ්නය කරපින්නාගෙන යාම බිලියන ගණන් ලාභ ලබන මාධ්‍ය කුවේරයන්ට පවා පහසු කටයුත්තක් නොවේ. එසේ තිබියදීත් ලංකා නිව්ස් වෙබ්, සිය බාහු බලයෙන් ජනතා ප්‍රශ්න ගැන කතා කරමින් සහ වැඩ කරමින් සිටියි.

අද වන විට ගොවිනායක කවුඩුල්ලේ ජයතිස්ස වැනි මානවවාදී සරල මිනිසුන්ගේ පුවත්වලට ලංකා නිව්ස් වෙබ් අවකාශය නොමසුරුව වෙන් වන්නේ ලංකා නිව්ස් වෙබ් සමග අනුකලනය වී තිබෙන මෙකී සමාජ ක්‍රියාකාරිත්වයේ පසුබිම තුළ ය. ඔහු ඉඩම් කොටුකිරීමේ ව්‍යාපාරය ඇතුළු අප හැදෑරිය යුතු ඉතිහාසය ගැන ද අපගේ අවබෝධය පුළුල් කරයි. නෙළුම්යාය පදනම සමග එක්ව ලංකා නිව්ස් වෙබ් අද වන විට පුළුල් බහුජන ව්‍යාපාරයක කොටස්කරුවන් බවට පත්ව සිටින්නේ ඒ ආකාරයෙනි.

ලංකා නිව්ස් වෙබ්, විවිධ ලිංගික දිශානතීන් සහිත පිරිසකගේ හැකියාවන්ට සහ ඔවුන්ගේ මතයන්ට ඉඩ දෙන තෝතැන්නක් ද වේ. එයම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සමනළ ප්‍රකාශයට එරෙහිව ලංකාවේ මෑත කාලයේ සිදුවූ සමරිසි ප්‍රජාවගේ දේශපාලන ව්‍යාපාරයේ නැගී සිටීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමේදී අපට සවියක් විය. LGBTඅයිතිවාසිකම් වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්, ඒ ක්‍රියාකාරිකයන්ගේ හඬ මහ පොළොවේ පැළ කිරීම වෙනුවෙන් ලංකා නිව්ස් වෙබ් නිබඳ කැප වී සිටියේ හෝමෝෆෝබියාවෙන් පෙළෙන ජනතාව සහ මාධ්‍ය ආයතන නිරුත්තර කරමිනි. මේ අතර ඇතැම් LGBT ප්‍රජා සාමාජිකයන් ප්‍රජා ආයතනවල රැකියා කළාට වඩා මහත් සැහැල්ලුවෙන් නමුත් වගකීම් සහගත ව ලංකා නිව්ස් වෙබ් කණ්ඩායමට එක් වී තමන්ගේ ඉදිරි මග නිදහසේ සකස් කරගනිමින් සිටින අයුරු ද අපට පෙනේ.

ඒ ප්‍රශංසනීය වෙනසට හේතුව වැඩි වශයෙන්ම ලංකා නිව්ස් වෙබ් හි නිදහස් ආර විය හැකිය. නිදහස් ආර..! එහි වැඩ කිරීමේ කලාව මා හඳුන්වන්නේ එලෙස ය. චන්දිම සහෝදරයාගේ වචනවලින් පවසන්නේ නම් ‘තමන්ගේ බොස් තමන්‘ ය. ඒ අතරම කිසිවෙකුත් ප්‍රශ්න කළ නොහැකි තරමට දෙවිවරුන් ද නොවේ. එය සාමාන්‍යයෙන් ලංකාවේ පමණක් නොව, ව්‍යූහගතවූ මාධ්‍ය ආයතන සහිත යුරෝපා රටකවත් ‘වැඩ කරන කලාව‘ ද නොවේ. නමුත් ලංකා නිව්ස් වෙබ් හි නිදහස අසීමාන්තික නිදහසක් ද නොවේ. එය අවස්ථානුගතභාවය සහ අවශ්‍යතාවය නමැති සිහින් හුයෙන් බැඳී පවතින්නකි. එය වගකීම් නිසි කලට වේලාවට ඉටු කිරීම පිළිබඳ කාරණයකි. වෙබ් අඩවියක වැඩ කටයුතු උදෑසන 9 ට ඇරඹී සවස 5 ට අවසන් වනවා නොවේ. ඇතැම්විට හොඳම පුවත පළ වන්නේ රාත්‍රී 12 ට වීමට ද පුළුවන. කලින් කිව නොහැකි මේ අවිනිශ්චිතභාවය ම විටෙක ප්‍රසන්න ආතතියක් ද තවත් විටෙක ඉගෙනුම් අත්දැකීමක් ද නිර්මාණය කරයි.

සමාජ මාධ්‍යය සහ අන්තර්ජාල අවකාශය තුළ ලංකා නිව්ස් වෙබ් පළ කරන විනය ගැන වෙනම ලිවිය යුතුය. මේ කර්තෘ මණ්ඩලය සටන්කාමී සගයන්ගෙන් යුතු ය. නමුත් ඔවුන්ගේ පවා, ලංකා නිව්ස් වෙබ් නමැති පොදු අන්තර්ජාල අවකාශගත සමාජ මාධ්‍ය භාවිතය, සිය පුද්ගලික ෆේස්බුක් පිටුවල සමාජ මාධ්‍ය කල්ක්‍රියාවට වඩා බෙහෙවින් මධ්‍යස්ථ ය.

දිග කතාවක් කෙටි කරන්නේ නම් ලංකා නිව්ස් වෙබ් අඩවිය සමග මා හට තිබෙන්නේ ‘ලව්‘ එකක්‘ යැයි ද කිව හැක! එය සෝපහාසයෙන් යුතුව ද වර නැගිය හැකි ප්‍රකාශයක් වන අතර, ආයතනයක් සමග සහෝදර බැඳීමක් ඇති කර ගැනීම අද කාලයේ ශ්‍රම වෙළඳපොළ තුළ මෙන්ම අපගේ අතීත අත්දැකීම් අනුව ද පහසු කටයුත්තක් නොවනවා පමණක් නොව අවදානම් සහගත කටයුත්තක් ද වේ. නමුත් මා සිතන්නේ ඒ ‘ප්‍රේමය‘ නිර්මාණය වී තිබෙන්නේ සමාජ වැඩවල නිරත වීමට සහ ඒවා මාධ්‍ය අවකාශය තුළින් ප්‍රකාශනය කිරීමට අපට ලැබී ඇති සීමාරහිත අවකාශය තුළ නිසා බවයි. ඒ සීමාරහිත අවකාශය සීමාරහිත වගකීමකින් ද වෙළී පවතින්නකි. එයට ප්‍රධානම හේතුව අපේ ලන්ඩන් සහෝදරයා ය. ඔහුට කුරුළු ඇසක් තිබේ!

අංකයක් මිස ලිපිනයක් නැති, ලිපිනයක් තිබුණත් කාර්යාලයක් නැති, කාර්යාලයක් තිබුණත් මාධ්‍ය සේවකයන් නැති, මාධ්‍ය සේවකයන් සිටියත් මාධ්‍ය කලාවක් නැති, ‘දෙන්නෙක් හිටිය නම් සයිට් එකක් කරනවා‘ යැයි කියන, ‘මඩ ගහන තරමට හිට්ස් එනවා‘ යැයි කියන ලංකාවේ බහුතර වෙබ් මාධ්‍ය කලාවට ලංකා නිව්ස් වෙබ් විසින් පූර්වාදර්ශයක් සපයා ඇති බව මගේ මතයයි. හඬක් නැති පීඩිතයාට හඬක් දෙන, බොහෝ දෙනා සඟවන ඇත්ත සරල බසින් - නොසඟවා කියන සංවිධිත මාධ්‍ය අවකාශයක් බවට ලංකා නිව්ස් වෙබ් මේ දස වසර තුළ සාමූහික ප්‍රයත්නයක් තුළින් පරිණාමය වී තිබේ. මේ නිසා ලංකා නිව්ස් වෙබ් යනු අන්තර්ජාල අවකාශය තුළ හුදෙක් ‘වෙබ් සයිට්‘ එකකට එහා ගිය ‘මිනිස් නිදහසේ වෙබ් සම්ප්‍රදාය‘යි.

දැනට මට කීමට ඇත්තේ එපමණයි!

- නීතීඥ රදිකා ගුණරත්න