නීචයිනි, දැන් ඇති !

නීචයිනි, දැන් ඇති !

8 April 2019 01:35 am

මෙරට උසස් අධ්‍යාපන පද්ධතියේ අරක් ගත් නොදියුණු ගෝත‍්‍රිකයන් මෙහෙයවන නවක වදය නිසාවෙන් තවත් ශිෂ්‍ය ජීවිතයක් අහිමි ව තිබේ. නවක වද ම්ලේච්ඡත්වය නිසා අහිමි වූ පළමු ජීවිතය මෙය නොවුණ ද ඒ හේතුවෙන් අහිමි වන අවසන් ජීවිතය මෙය කරගැනීමට සමාජය ගැන දශමයක හෝ හැඟීමක් තැකීමක් ඇති මිනිසුන් සිතට ගත යුතු ය. මේ ව්‍යසනය අතිශය ප‍්‍රාථමික සහ අද කාලයට සාපේක්ෂව අදහාගන්නට පවා බැරි තරම් නීච ය. අහිමි වූයේ රටට තරුණ ජීවිත පමණක් නොවේ. සදාකල් දුක් ගෙන විවිධ දුෂ්කර කොන්දේසි යටතේ දෙමාපිය ලෙහි හොවා හදා වඩා ගත් දරුවන් ය. ඔවුන්ට අහිමි වූයේ මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය යි. අනෙක් අතට මේ අහිමිවීම් පෙන්නුම් කරන්නේ සමාජයක් ලෙස මෙය තවදුරටත් කොතරම් අශිෂ්ටභාවයේ ගිලී ඇත් ද යන්න යි.

 

සිද්ධිමය වශයෙන් නවක සිසු-සිසුවියන් බන්ධනයට ලක් කරන ආකාරයන් ගැන කොතෙකුත් කිව හැකි ය. පසුගිය දා සාගර විශ්වවිද්‍යාලයේ මට්ටකුලියේ ඇති ආයතනයේ සිසුන් 40ක් පමණ සිය පාඨමාලාව අත්හැර ඇති බව දැනගන්නට ලැබුණි. දැනටත් විවිධ විශ්වවිද්‍යාලයන්හි සිදුවන එවන වදක වදයන් ගැන අපි දනිමු. ? තිස්සේ තෙල බෙදා හැන්දෑවට නිරුවත් කර පහර දෙන අයුරු අපි දනිමු. සිසුවියන්ගේ නේවාසිකාගාරවලට රැුයේ පැන තෙල බෙදන්නට යන බව ද දනිමු. මේ වද-බන්ධනය අස්සේ සිදුවන වාචික ලිංගික හිංසනය (නැරඹුම් කාමය මූලිකව) සහ බලහත්කාරය අපි දනිමු. ඒවා ගැන කතා කරන්නේ නම් තව බොහෝ ලිව හැකි ය.

සිද්ධිමය අලංකාරික පසෙක තබා අප මෙම අශිෂ්ට ක‍්‍රියාවලියෙහි වෙනත් පැතිකඩක් ගැන කතා කරන්නට වඩාත් කැමැති වෙමු.

සරසවි ප‍්‍රවේශවන සාතිශය බහුතරයක් නැවත වද විඳිය හැකි මට්ටමක සිටින්නෝ නොවෙති. වසර 13ක් තිස්සේ මෙවැනි පාරාජිකා වූ රටක අධ්‍යාපනය ලැබීමට වඩා වදයක් තවත් කොහි වෙත් ද? මේ නවක වදය හරහා ශිෂ්‍ය ව්‍යාපාරයට පිරිස් දිනාගැනීම අරමුණක් නොවේ යැ යි ශිෂ්‍ය ව්‍යාපාරයට නොපැකිළ කිව හැකි ද? අප මේ ප‍්‍රශ්න කිරීම කරන්නේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සියලූ ප‍්‍රගතිශීලි මැදිහත්වීම්වලට අනලස්ව සහය දෙන මිනිසෙක් වශයෙනි. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ මොහොතේ වැඩි ම බල පංගුව නියෝජනය කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ ගැන ප‍්‍රසිද්ධියේ නිරවුල් ව කිව යුතු ය. අධ්‍යාපනය පෞද්ගලීකරණය විෂයෙහි ආණ්ඩුව දණගැස්වීමට සමත් තරම් බලයක් ඇති ඔවුන්ට විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නැවැත්වීමට නොහැකි බව කිව හැකි ද? කරුණාකර නවක වදයක් නැත, ඒවා නම්නීකරණය ය, නවක සිසුන්ට උපසංස්කෘතිය දෙන එකය අරවාය මේවාය කියාගෙන නොඑන්න. උපසංස්කෘතිය හෝ මොන සංස්කෘතියක්වත් බලෙන් දීම ශිෂ්ට නොවනවා සේ ම එය කළ හැකි දෙයක් ද නොවේ. තමන් රුචි ඇඳුමක් වෙනුවට චීත්ත ගවුම් ඇඳීමට අණ කිරීම වැන්නක් පවා වදයක් නොවේ ද? මානව නිදහස උල්ලංඝනය කිරීමක් නොවේ ද? කුල ධූරාවලිය වැනි වැඩවසම් ලක්ෂණ ප‍්‍රබලව ප‍්‍රශ්න කරමින් තමා සරසවියේ උන් කාලය අනුව ජ්‍යෙෂ්ඨත්වයක් නිර්මාණය කරගෙන එහි පැවතීම විග‍්‍රහ කළ හැක්කේ කෙළෙසක ද?

මිනිසුන් දිනාගැනීම වෙනුවෙන් දැනුමේ ප‍්‍රභාව යොදා ගත හැකි යුගය නිශ්චිතව ම අවසන් වී දැන් කලක් ගත වී ගොසිනි. තොරතුරු-දැනුම තාක්ෂණය පුපුරා ගිය පසු ඇති වූ අසීමිත දැනුම් ප‍්‍රභව ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පෙර කිව් යුගය නම් මිනීපෙට්ටියේ අන්තිම ඇණය ගැසුවේ පසුගිය දශකයේ දී ය. දැන් කිසිදු දේශපාලන කණ්ඩායමකට දැනුම පෙන්වා මිනිසුන් දිනාගැනීමට නොහැකි ය. දැනුම බොහෝ සෙයින් ඇත්තේ දේශපාලන කණ්ඩායම්වලට පිටිනි. ඔවුන්ගේ අසමත්කම එන්නේ එතැනිනි. ගැහැනුන්ට චීත්ත අන්දවා, පිරිමි නිරුවත් කර පහර දෙවා හීනමානගතකොට යමෙක් උත්සාහ ගන්නවා නම් ඒ උත්සාහය පෙර කී අවසන් වූ යුගයේ හිස්කම පුරවාගන්නටයි. වෙන කිසිවක් නොවේ. නවකවදය නමැති නීචත්වය පිටුපස ඇත්තේ එයයි. එයට පුද්ගලබද්ධ ගෝත‍්‍රික හීනමානය ද එක් වූ කළ නියම පන්නයේ සූපයක් නිර්මාණය වී තිබේ.

දැනුමේ ප‍්‍රභාව දෑතින් ගිලිහී ගිය පසු අනෙකා දිනාගැනීමට වද-බන්ධන යොදාගන්නා අය වෙනුවෙන් අපට යෝජනාවක් තිබේ. දැනුම කොතරම් තිබුණ ද සමකාලීන ලාංකේය සමාජයේ ප‍්‍රඥාව ඇත්තේ නැත. දැනුම ගැන අතිවිශාල වශයෙන් පාරම්බාන මිනිසුන් ඔබට ත‍්‍රීරෝද රථයේ සිට පොදු වැසිකිළිය දක්වා හමුවුවද ඡුන්ද ප‍්‍රතිඵල විසින් පෙන්වා දෙන්නේ තිබෙන්නේ දැනුම පමණක් බවත් ප‍්‍රඥාව නැති බවත් ය. ඔබට අනෙකා දිනාගැනීමට අවශ්‍ය නම් ප‍්‍රඥාව ගොඩනගන්න. ඔබ යොමු වන්නේ පහසු ලෙස වදය වෙත නම් ධනේශ්වරය වෙත විරුද්ධවීමට ඔබට ඇති ආචාරධාර්මික අයිතිය අහිමි වන බව අමතක නොකරන්න.

මානව පේ‍්‍රමය විශ්වාස කරන, මානව බන්ධුතා අගයන දේශපාලන-සමාජ-ශිෂ්‍ය කිසිදු ව්‍යාපාරයකට වදය අවියක් කරගත හැකි වන්නේ නැත. එය ප‍්‍රජාතන්ත‍්‍රාවදය දේශනා කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන ධනේශ්වර දේශපාලනයෙන් තාර්කික වශයෙන් කිසිදු වෙනසක් පෙන්වන්නේ නැත. වාමාංශික ප‍්‍රබුද්ධත්වයකට කිසිදා මෙවැනි ගෝත‍්‍රිකත්වයක් හා එකට පැවතීමට නොහැකි ය.

නීචයිනි, දැන් ඇති!

සඳුන් ප‍්‍රියංකර විතානගේ ( ඇත්ත )