සස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම- සුනන්ද දේශප්‍රිය

සස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම- සුනන්ද දේශප්‍රිය

8 April 2019 05:11 am

ත්‍යාගලාභී ලේඛකයකු වන සස්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක් නොව පළවීමට නියමිත ඔහුගේ කෙටි කතා සංග්‍රහයකට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංඝ සංවිධානයක් විසින් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම ඉල්ලීම මගින් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන ප්‍රඥාප්තිය අනුව මෙම දඩුුවම් සහ තහනම පණවන ලෙසය. අන්තර්ජාතික නීතිවලට එකඟවීම මිගින් මෙරට සෛවරීයත්වය කෙලෙසෙන්නේ යැයි කියන සංඝයා වෙතින්ම මෙවැනි ඉල්ලීමක් පැමිනීම එක්තරා අන්දමකට දෛවෝපගත සිදුවීමකි.

මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා අගතියට පත්වීමට තරම් සිංහල බුද්ධාගම දුර්වලදැයි මුහුණූ පොතෙහි අසා තිබුණි. ඊටත් වඩා වැදගත් ප්‍රශ්ණය නම් සිංහල බුද්ධාගම හමුවෙහි ඇති ලොකුම අනතුර මෙම කෙටි කතාවද යන්න යි. මා සිංහල බුද්ධාගම යනුවෙන් හඳුන්වන්නේ මෙරට භාවිත වන බුද්ධාගම ය. මන්ද යත් රටින් රටට බුද්ධාගම භාවිත වන ආකරය ද ඇදහිලි ක්‍රම ද වෙනස් නිසා ය.

පොදු වශයෙන් ගත් කළ ආගම තරම් කෙළෙසන ලද්දා වූ ද වංචාකාරීව යොදාගන්නා වූ ද විකෘති කරන ලද්දා වු ද බලවතුන් විසින් අපයෝජනය කරන ලද්දා වූ ද වෙනත් මතවාදී මෙවළමක් නැත. පූජ්‍ය පක්ෂය මෙන්ම දේශපාලකයින් විසින් ආගම අන්න්‍යයන්ට එරෙහි අවියක් ලෙස ද යොදා ගනු ලැබ තිබේ. මේ වනාහී එක් ආගමකට නොව සෑම ආගමකටම පොදු සැබෑවක් බව අපි දනිමු.

නිකායෙන් නිකායට, පන්සලෙන් පන්සලට, භික්ෂුවකගෙන් භික්ෂුවකට නූතන සිංහල බුද්ධාගම වෙනස් ය. පිරිසිදු බුද්ධාගම කියා දෙයක් අද නැත. පිරිසිදු බුද්ධාගම ඇතැයි අතැමුන් කියන මෙරට සංඝ නිකායන් බෙදී තිබෙන්නේ අන්ත පසුගාමී සහ අධිපතිවාදී සංකල්පයක් වන කුලය අනුවය. එහෙත් පිරිසිදු බුදදහම ඇති එකම රට ශ්‍රී ලංකාව යැයි කියන අය කොතරම් වෙත්ද? ජනාධිපති සිරිසේනගේ ත්‍රිපිටික මංගල්‍යයේ දී පවා මෙරට සංඝයා වෙත අසුන් පනවා තිබුණේ කුලය අනුව උස්-මිටිකම සළකා ය. නන්දන වීරරත්න පෙන්වා දෙන පරිදි “ දළදාව තැන්පත් කර ඇති විහාරයේත් එයට සම්බන්ධ සෙසු විහාරවලත් උඩරට ගොවි කුලයෙන් පිටස්තර නමක් සටහන් කිරීමටවත් නොදෙන බැවින් රන්වියන තැනු ජනාධිපති ප්‍රේමදාසගේ පූජාව සටහන් සිහිවටන ඵලකය ඉවත් කිරීමට තරම් ඔව්හු (එනම් සංඝයා) සාහසික වූහ.”

එදිනෙදා ජීවිතයෙන් තවත් නිදසුනක් ගමු. එනම් ලෞකික වශයෙන් අදාළ වන පන්සිල් පද ය .

මුසාවාදා වේරමනී සික්කා පදං සමාදියාමි නොහොත් අසත්‍ය පැවසීමෙන් වැළකීම (මෙයට බොරු කීම, පරුෂ වචන කීම සහ වෛර වචන කීම ද ඇතුලත්ය ) යන සිල්පදය මෙරට ජනාධිපතිගේ සිට සෑම දේශපාලනයඥයකුම විසින් කෙළෙසන බව අපි දනිමු. නමුත් දෑත් බැඳ නමස්කාරයෙන් යුතුව තමන් බුදුදහම අනුගමනය කරන බව නොකියන බෞද්ධ දේශපානඥයෙක් වෙත් නම් ඒ අතලොස්සකි. අනෙක් පන්සිල් පද හතර ද එළෙසම කෙලෙසෙයි. නමුත් සෑම දෙනාම පෙනී සිටින්නේ බුදුදහමේ මරාගෙන මැරෙන තරමේ ආරක්ෂකයින් ලෙස ය.

මඩකළපුවෙහි සුමන නම් සංඝයා අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිනු තවමත් යූ ටියුබ් වීඩියෝ මගින් දැක ගත හැකිය. සිරගතව සිටින ඥාණසාර නම් සංඝයා ද එළෙසින්ම තිත්ත කුනුහරුප කියන විඩියෝ තිබේ. අලුත්ගම ගිනි තැබීමට පෙර ඥණසාර විසින් කරන ලද කුපිතකාරී කතාව බුද්ධාගමට සහමුලින්ම විරුද්ධ ය. අනෙත් අතට තමන් විසින්ම සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ යැයි හඳන්වා ගන්නා වාචාල සංඝකුද සිටී. එහිමි වැනිම නොවුන ද විවිධ බහුබූත දොඩවන තවත් සංඝායා ද සිටී. එවැන්නකු වරක් දොළුකන්දේ සිට වතුර වික්කේ ය. තවත් සංඝයකු නිකවැරටියේ ගස්මුලක් බුදුන් යැයි වික්කේ ය. එකළ දහස් ගණනින් ජනයා පොදි කකා ඒ බොරුකාර සංඝයා පසුපස ගියෝ ය.

බුද්ධාගම ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ මුහුණු පොතෙහි පළවන කෙටිකතා පස්සෙන් පැන්නීම නොව බෞද්ධ විරෝධී කුලවාදය මෙරට සඟ සසුනින් අතුගා දැමීම ය. එමෙන්ම කිසිදු බෞද්ධාගමික කමක් නැති දූෂික භීෂක දේශපානඥයින්ගෙන් බුද්ධාගම දුරස් කිරීම ය. සංඝායට නියමිත විනයක් පැනවීම ය.

තිස් වසරක් පුරා පැවති යුද්ධය විසින් මෙරට බෞද්ධ සංස්ථාවන්ට ඉන් පෙර නොපැවති සමාජ බලයක් ලබා දුන්නේ ය. ඊට හේතුව වූයේ මාක්ස් එංගල්ස්ගේ රූප මිස බුදුන්ගේ රූප සිය පෙළපාලිවල නොගෙන යන ජනතා විමුක්ති පෙරමුණ පවා යුද සමයෙහි බෞද්ධාගමිකවී යුද්ධයට පිරිත් පැන් රැගෙන ගිය නිසා ය. ආණ්ඩුවේ පැත්තෙන් යුද්ධය කරගෙන යන ලද්දේ බෞද්ධාගම පෙරදැරි කරගෙන ය. එකළ සිවුරු හැර යුද හමුදාවට එක්වීම පවා සළකන ලද්දේ බෞද්ධාගමික මෙහෙවරක් ලෙස ය. මෙම යුද්ධ සන්ධානය විසින් බෞද්ධාගමික සංස්ථා සිංහල රාජ්‍යයේ එක් ප්‍රදර්ශනාත්මක උපදේශකයකු බවට පත් කරන ලදී.

අද දේශපාලකයෝ පමණක් නොව තානාපතිවරු පවා මල්වතු-අස්ගිරි නාහිමිවරු යානාදීන් බැහැදැක එමගින් සුජාතබවක් ලබා ගැනීමට තැත් කරති. ආගම සහ රාජ්‍ය දෙකකි. ඒ දෙක පැවැතිය යුත්තේ වෙන වෙන්වය. නමුත් මෙරට ආගම සහ රාජ්‍ය දෙකක් නොව එකක් තරමටම පැටලී තිබේ.

‘අර්ධ’ නමින් කෙටි කතාවක් ලියා මුහුණූ පොතෙහි පළ කල සස්තික සත්කුමාර නම් ලේඛකයාට විරුද්ධව බෞද්ධ භික්ෂුවක් කරන ලද පැමිණිල්ලත් එම පැමිණිල්ල මත ශ්‍රී ලංකා පොලීසිය ඔහු අත් අඩංඟුවට ගෙන බන්ධනාගාර ගත කිරීමත් අප විමසා බැලිය යුතු පසුබිම එය යි.

සස්තිකගේ කෙටිම කෙටි කතාව නව ආරක් ගත් එකකි. එහි අඛ්‍යානය වන්නේ සංඝ සමාජයෙහි පවත්නා සම ලිංගික හැසිරීම ය. මෙරට සංඝ සමාජය තුල සම ලිංගික හැසිරීම මුල් බැසගෙන ඇති බව රහසක් නොවේ. සංඝ සමාජය තුළ පමණක් නොව පිරිමින් පමණක් සිටින මෙරට ක්‍රීඩා, ශිෂ්‍ය භට, තරුණ දේශපාලන ව්‍යාපාර යනාදියෙහි මෙන්ම සිරගත වු පිරිස් අතර ද ලිංගික ආසාව පිරිමසා ගන්නා සරළම ක්‍රමය සම ලිංගිකත්වය යි. ලිංගික ආසව තරුණ වියෙහි සිට වයස්ගතවන තුරුම පවත්නා දෙයකි. සිවුර හෝ ලෝගුව පෙරවාගත් පමණින් හෝ ජම්පරය ඇදි පමණින් එම කායික හැඟීම යටපත් වන්නේ ද නැත. ශ්‍රී ලංකාවෙහි පිරිමි-පිරිමි ලිංගික හැසිරීමට පටබැඳ තිබූ නම වුයේ පන්සලේ සෙල්ලම යනුවෙනි.

වැඩිමහල් පිරිමින් හෝ ගැහැණුන් සිය කැමැත්තෙන් ස්වකීය ලිංගික ලැදියාවන් සහ ආසාවන් තෘප්ත කර ගැනීම පිනිස ඇති කරගන්නා සම්බන්ධතාවයන් ඔවුන්ගේ මිනිස් අයිතියකි.සස්තික සිය කෙටි කතාවට බදුන් කර ගන්නා ප්‍රශ්ණය වන්නේ මෙම ඒක ලිංගික හෝ සමාජ සංස්ථාවන්හි ජීවත්වන හෝ හැසිරෙන පුද්ගලයින් සිය ලිංගික ආසාවන් පිරිමසා ගැනීමට ලාබාලයින් සහ බලහත්කාරය පාවිච්චි කිරීමයි. ඊට ඔහු බෞද්ධ භික්ෂුවක් ද සම්බන්ධ කර ගනී.

ආගමික සංස්ථාවන් පාර්ශුද්ධ යැයි කල්පනා කරන බැවින් මෙම සාකච්ඡා නොකළ යුතු යැයි කී කාලය දැන් අයත් වන්නේ ඉතිහාසයට ය. ඊට හොඳම උදාහරණය නම් කතෝලික ආගමික සංස්ථාවන්හි අද ඇතිව තිබෙන සාකච්ඡාව යි. එහි පිරිමි දේවගැති සමාජිකයන් විසින් කරන ලද ලිංගික අපයෝජනයන් දැන් ප්‍රසිද්ධියට පැමිණ ඇතිවා පමණක් නොව පුජකවරුන් ගණනාවක් ම එවැනි හැසිරීම් නිසා සිර දඩුවම් වලට පවා යටත් කර තිබේ. පාප් වහන්සේගේ සමීපතමයකු ලෙස සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාදිනල් ජොර්ජ් පෙල් ‍‍නඩු විභාගයකින් පසු සය වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙර ය. ඒ මෙල්බන්හි අගරදගරුවරයා වූ 1990 හිදී කරන ලද ළමා ලිංගික අපයෝජනයන් සනාථ වූ නිසා ය.

වර්ථමාන පාප් වහන්සේ විසින් කතෝලික ආගමික සංස්ථාව තුළ ලිංගික අපයෝජනයන් කිසිසේත්ම නොඉවසිය යුතු සීරෝ ටොලරන්ස් නම් ප්‍රතිපත්තියක් දැන් පිහිටුවා තිබේ. එවැනි පියවරක් ගැනීමට හැකි වූයේ වරද පිළිගැනීමට එම ආගමික සංස්ථාවෙහි ප්‍රධානීයාට ධෛර්යක් සහ ආගමික කැපවීමක් තිබූ නිසා ය. වරදක් පිළිගන්නා තුරු ඊට පිළියම් යෙදිය නොහැකි ය.

ආගමික සංස්ථාවන්හි සිටින්නේ කෙළෙස් නැසූ ලිංගික ආසාවන් යටපත් කරනලද පිරිස් නොවේ. එබැවින් එවැනි ආයතනයන්හි ලිංගික අපයෝජනයන් සිදුවීමට ඇති ඉඩ අප පිළිගත යුතුය. මහණ කරන ලද කුඩා දරුවන් එවැනි තත්වයකට මුහුණ දෙන විට වරද වඩා භයානක වෙයි. සංඝ සාසනය කළ යුත්තේ මෙම ප්‍රශ්ණය විවෘතව සාකච්ජාවට ගෙන ඊට නිසි පිළියම් යෙදීම මිස කලා කෘති වාරණය කිරීමට සහ නිර්මානකරුවන් දඩුකදේ ගැසීමට පියවර ගැනීම නොවේ.

සිද්ධාර්ත, එනම් ගෞතම සිද්ධාර්ත කළේ ආතල් ගැනීමක් යැයි පසුගියදා ප්‍රකාශ කළේ දෙරණ රූපවාහිනී අධිපති දිලිත් ජයවීරය. සූත්තියක් ගැසීමත් එවැනි ආතල් එකක් යැයි ඔහු අඟවා තිබුණි. ඒ සිය මතය දැක්වීමට ඔහුට ඇති අයිතිය යි. මෙම ප්‍රකාශය නිසා සංඝයා ඔහු දඩුකඳේ ගැසීමට ඉදිරිපත් වුවහොත් එය ද සස්තික දඩුකඳේ ගැසීමට දරන ප්‍රයත්නය වැනි ය.

මෙරට මහ ගත්කරු යැයි සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ රචනා කළ බවතරණයට එරෙහිවද එකළ සංඝයා ඝෝෂා කළහ. නමුත් එකල සංඝයා අද මෙන් පොලීසියට අණදෙන සහ නීතියට උඩින් යා හැකි රාජ්‍ය උපාංගයක් බවට පත්ව තිබුණේ නැත. එනිසා මාර්ටින් වික්‍රමසිංහ දඬුකදේ ගැසුණේ නැත.

රාජ්‍යය එහි උපතින්ම මර්දනයේ උපකරණයකි. ආගම ඊට යාවූ කල එයද විමුක්තියේ නොව මර්දනයේම කොටස්කරුවකු වෙයි. තලේබාන් දේශපාලනය ආගමික මුහුණවරක් ගත් දරුණු මර්දනයක් විය. අද මෙරට පමණක් සංඝයා අතර පවත්නා විවේචකයින් දඩුකදේ ගැසීම වඩා ලංවන්නේ බුදුසමයට නොව තලේබාන් සමයට ය. එනයින් එය තලේබාන් බුද්ධාගමකි.

- රාවය