බෘෘනායි හි සමරිසි වරද ගිනිකොනදිග ලැව්ගින්නක් වේද?

බෘෘනායි හි සමරිසි වරද ගිනිකොනදිග ලැව්ගින්නක් වේද?

8 April 2019 11:42 am
දැනට වාර්තා වන අන්දමට සමලිංගික හැසිරීම් හා වැඩිහිටි ලිංගික හැසිරීම් වල නිරත වන්නන් හට ෂරියා නීතියට ප්‍රකාරව ගල්පහර එල්ල කර මරා දැමීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව ගිනිකොනදිග ආසියාව පුරා වසන සමරිසි, ද්විරිසි සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන්ගේ (LGBT) සංත්‍රාසයට තුඩු දී තිබේ.
 
මැලේසියාව හා ඉන්දුනීසියාව යන ගිනිකොනදිග ආසියාතින රටවල් වල වසන LGBT ප්‍රජාවන්, මෙම කුරිරු අත්දැකීමට තමන් හටද මුහුණ පෑමට සිදුවේ ද යන බියෙන් පසුවන අතර, බෘෘනායි රාජ්‍යය ගත් මෙම අමානුෂික තීන්දුව සම්බන්ධව මැලේසියානු හෝ ඉන්දුනීසියානු රජයයන් තවමත් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කොට නැත.
 
2019 අප්‍රේල් 03 වනදා සිට ක්‍රියාත්මක පටන් බෘෘනායි රාජ්‍යයේ වසන මුස්ලිම් ජනතාව අතර සමරිසි යැයි හඳුනා ගන්නා පුද්ගලයන් හට ඉස්ලාමීය ෂරියා නීතියට අනුව ගල්පහර එල්ල කර මරා දමනු ලැබේ!
 
ගිනිකොනදිග ආසියාවේ මුස්ලිම් බහුතරයක් වසන ඉදිරිපෙළ රාජ්‍යයන් වන මැලේසියාව හා ඉන්දුනීසියාව බෘෘනායි රාජ්‍යය ගත් මෙම තීන්දුව පිළිබඳ මුනිවත රැකීමෙන් ගම්‍ය වන්නේ, සුළුතර ප්‍රජාවන් මර්දනය කිරීමට අන්තවාදී, ඒකාධිපතිත්වය හා ම්ලේච්ඡත්වය රජයන ෂරියා නීතිය ක්‍රියාවට නැංවීම තව දුරටත් උසි ගැන්වීමක් නොවේද?
 
මෑත ඉතිහාසය තුළ, ඉස්ලාමීය රාජ්‍යය වල ඉස්ලාමීය අන්තවාදී දර්ශනයේ පුනරුදයක් පෙන්නුම් කිරීමත්, එමඟින් ජගත් මානව හිමිකම් හෑල්ලුවට ලක් කිරීමත්, ගෝත්‍ර මානසිකත්වය මුදුන්පත් වීමත් දක්නට ලැබුණු අතර, ස්වාධීන හා ධනවත් රාජ්‍යයක් වන බෘෘනායි රාජ්‍යය තුළ ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්වීම ඒ අතර සුවිශේෂී වෙයි. වඩාත් හික්මුණු, ජාතික හැඟීමෙන් යුතු රාජ්‍යයක් බිහිකරනු වස් ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්විය යුතු වන්නේ යැයි එම රාජ්‍යයය පළමුව ප්‍රකාශ කරන ලද්දේ 2013-2014 කාලවකවානුවේදීය.  
 
වරක ඉන්දුනීසියානු ප්‍රාන්තයක, සමරිසි පුද්ගලයන් ප්‍රසිද්ධියේ අවමානයට ලක්කිරීමත්, රිටිපහර එල්ල කිරීමත් සිදුවිය. ඉස්ලාම් දර්ශනයට අපහාස කළේ යැයි ජකර්තා හි ක්‍රිස්තියානු ආණ්ඩුකාරවරයකු සිරගත කරන්නට විය. මෙම වසරේ මාර්තු මස මැලේසියාවේ සංචාරක කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තම රාජ්‍යයයේ සමරිසි පුද්ගලයන් නොමැති බවය.
 
මැලේසියානු හා ඉන්දුනීසියානු රාජ්‍යයන් තුළ සමරිසිභාවය ඉදිරියේ බෘෘනායි රාජ්‍යය මෙන් අමානුශික ව්‍යවස්ථාපිත නීති සම්පාදනයක් තවමත් සිදුව නොමැති අතර, මැලේසියාව තළ පමණක් එය සාපරාධී වරදක් ලෙස සලකනු ලබයි. ඒ තුළ ද සිරගත කිරීමකට පමණක් යටත් වන නීතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, ව්‍යවස්ථාපිත නීතිය තුළ සමරිසිභාවය පිළිබඳ සඳහනක් නොමැති ඉන්දුනීසියාව තුළ සංස්කෘතික ගැටුම් මත LGBT ප්‍රජාවන් හට වෙනස්කොට සැලකීම් හා කෙනහිලිකම් තවමත් සිදුවේ.
 
මැලේසියානු LGBT මානව හිමිකම් ක්‍රියාකාරී තිලාජා සුලතිරේහ් ප්‍රකාශ කර සිටියේ සිදුවන දැයින් එරට සමරිසි ප්‍රජාවන් භීතියට හා සංත්‍රාසයට පත්ව ඇති බවය.
 
"සිදුව ඇති දෙයින් අපේ ප්‍රජාවන් අතර විශාල භීතියක් හා අවිනිශ්චිත බවක් හට ගෙන තිබෙනවා, අපේ ජීවිත වලට ඉදිරියේ දී මොකද වෙන්නේ? " ඈ ප්‍රශ්න කළාය.
 
ඉස්ලාම් අන්තවාදය නැඟී සිටීම
 
ගිනිකොනදිග ආසියාතික රටවල් වල වසර ගණනාවක් මුළුල්ලේ ෂරියා නීතිය විවිධ ප්‍රදේශ වල ක්‍රියාත්මක වූ බවට වාර්තා හමුවේ. ඒ අතර, මැලේසියාව හා ඉන්දුනීසියාව ද පවතී. නමුත්, ව්‍යවස්ථාපිත නීතියක් ලෙස ෂරියා නීතිය සෘජුවම ක්‍රියාත්මක කොට මරණ දණ්ඩනය පමුණු වන පළමු ගිනිකොනදිග ආසියාතික රාජ්‍යය වන්නේ බෘෘනායි රාජ්‍යයයි.  
 
මැලේසියාව තුළ දැනට ක්‍රියාත්මක වන නීතිය තුළ ඉස්ලාමීය ආගමික අනුග්‍රහය පවතින අතර, ෂරියා නීතිය හැඟවෙන ඇතැම් වාක්‍යය ඛණ්ඩ දණ්ඩ නීතිය තුළ ද අන්තර්ගත වේ. මෙහි සමලිංගික හැසිරීම් "අස්වාභාවික" ලිංගික හැසිරීම් යැයි වර්ගීකරණය කොට පවතින අතර, සිරගත කිරීම, දඩමුදලකට යටත් කිරීම හෝ රිටිපහර එල්ල කිරීම වැනි දඬුවම් වලට යටත් විය යුතු වන්නේ යැයි සඳහන් වේ. ඉන්දුනීසියාව තුළ සමරිසිභාවය සම්බන්ධයෙන් ව්‍යාවස්ථාපිත නීතියක් ක්‍රියාත්මක නොවේ. නමුත් ඉන්දුනීසියාවේ ඉතාමත් ගතානුගතික ප්‍රාන්තයක් වන අකෙහ් ප්‍රාන්තය තුළ අනාදිමත් කළක පටන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවේ.
 
හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) පර්යේෂක ඇන්ඩ්‍රියාස් හාසොනෝ ප්‍රකාශ කර සිටි පරිදි, 2014 වර්ෂයේදී බෘෘනායි හි මහජන නඩුපවරන නිළධාරීන් අකෙහ් ප්‍රාන්තයේ සංචාරයක නිරත වී ඇති අතර, ඒ තුළින් එම ප්‍රාන්තය තුළ ෂරියා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙලෙස ද යන්න පිළිබඳ අධ්‍යයනයක පවා යෙදී ඇත.  
 
ඉන්දුනීසියානු හා මැලේසියානු රාජ්‍යයන් හි වසන ඇතැම් දේශපාලන නායකයින් බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව පිළිබඳ තම ප්‍රසාදය ප්‍රකාශ කොට තිබිණි.
 
බෘෘනායි හි සුල්තාන් හස්සනාල් බොල්කියා විසින් ගත් තීන්දුව "නිර්භීත" තීන්දුවක් බව පෑන්-මැලේසියන් ඉස්ලාම් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මොහ්ඩ් කයිරුදින් අමන් රසලි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී.
 
"ෂරියා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට බෘෘනායි රාජ්‍යය ගත් නිර්භීත හා දේශපාලනික තීන්දුවට සුභපැතුම්.. ෂරියා නීතිය බලාත්මක කිරීම ජනතාව අතර සාමය ඇතිකරලීම සඳහා අල්ලා දෙවියන් හට ඇති අයිතිය තහවුරු කරනු ඇති," ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වූයේ එවැන්නකි.
 
ඉන්දුනීසියානු රාජ්‍යයේ අකෙහ් ප්‍රාන්තයේ නීති සම්පාදනය කිරීමට අදාල උලාමා සභාවේ නායකයකු බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව සම්බන්ධව පවසා සිටියේ එය හුදෙක් "ආගමික නිදහස" බවයි.
 
පර්යේෂක ඇන්ඩ්‍රියාස් හාසොනෝ තවදුරටත් සඳහන් කර සිටියේ, මැලේසියාව හා ඉන්දුනීසියාව බෘෘනායි රාජ්‍යය ගත් මෙම තීන්දුව තම ඉස්ලාම් අන්තවාදී ආගමික හා දේශපාලනික අරමුණු තර කර ගැනීම සඳහා පූර්වාදර්ශයක් කර ගනු ඇති බවයි.
 
"මේ වන විට ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 3ක හා කලාප 60කට ඉහල ප්‍රමාණයක අනිවාර්යය හිජාබ් නියාමනයක් සිදුවනවා. ඒ අතර, ප්‍රදේශ 20කට ඉහල ප්‍රමාණයක LGBT ප්‍රජාවන් සාපරාධී කොට්ඨාශ හැටියට සලකනු ලබනවා, " හාසොනෝ පවසා සිටියේය.
 
කෙසේ වෙතත්, තවමත් ඉන්දුනීසියානු හෝ මැලේසියානු රජයයන් මේ පිළිබඳ තම නිල අදහස ප්‍රකාශ කොට නැත!
 
MIAP
 
බෘනායි හි සමරිසි වරදට එරෙහිව සුපිරි නළු ජෝර්ජ් ක්ලූනිගෙන් කනේ පහරක් !
බෘනායි සමරිසි වරදට එරෙහිව සුපිරි පොප් ගායක එල්ටන් ජෝන් ද සටනට බසී! 
‘සුල්තාන් රාජ්‍යයේ‘ ගල් ගසා මැරීමේ වියරුව සහ එල්ටන් ජෝන් 
බෘෘනායි රාජ්‍යය සමරිසි ආදරයට ගල් ගසා මැරීමේ අයිතිය වෙනුවෙන් දිගටම! 
ගල් පහරින් මරාදමන භෘනෙයිහි සමරිසි වරද !