දේදුනු කොඩිය ලේ විලක? බෘෘනායි සමරිසි විලාපය ඉදිරියේ මැලේසියාව, ඉන්දුනීසියාව නිහඬ ඇයි?

දේදුනු කොඩිය ලේ විලක? බෘෘනායි සමරිසි විලාපය ඉදිරියේ මැලේසියාව, ඉන්දුනීසියාව නිහඬ ඇයි?

9 April 2019 08:30 am

මෙම ලිපිය පසුගිය දින ඉදිරිපත් කළ බෘෘනායි හි සමරිසි වරද ගිනිකොනදිග ලැව්ගින්නක් වේද? යන ලිපියට සම්බන්ධ වේ.

පසුගිය අප්‍රේල් මස 03 වන දින ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත් කරමින් සමලිංගික හැසිරීම් දක්වන හා විවාහයෙන් පරිබාහිර වැඩිහිටියන් අතර සිදුවන ලිංගික හැසිරීම් දක්වන පුද්ගලයන් හට ගල්පහර එල්ල කොට මරා දැමීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව පිළිබඳ ලොවක් කැළඹී පවතින අවස්ථාවකදී, මුස්ලිම් බහුතරයක් වසන අසල්වැසි ගිනිකොනදිග ආසියාතික රටවල් වන මැලේසියාව හා ඉන්දුනීසියාව තම මුනිවත රකින අන්දම පිළිබඳ විවිධ කතා බහ ගොඩනැඟී තිබේ.

බෘෘනායි මෙන්ම, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රාජ්‍යයන් 2හිම මෑත ඉතිහාසය තුළ ගතානුගතික ඉස්ලාමීය කණ්ඩායම් කලඑළි බැසීම සුලභ වූ අතර ආගමික නිදහස පෙරදැරි කොටගෙන ආගමික නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්විය යුතු වන්නේ යැයි තර්ක ඉදිරිපත් වීම සිදුවිය. මැලේසියාව තුළ දැනට ක්‍රියාත්මක වන නීතිය තුළ ඉස්ලාමීය ආගමික අනුග්‍රහය මධ්‍යයේ ෂරියා නීතිය හැඟවෙන ඇතැම් වාක්‍යය ඛණ්ඩ දණ්ඩ නීතිය තුළ අන්තර්ගත වන අතර, මෙහි සමලිංගික හැසිරීම් "අස්වාභාවික" ලිංගික හැසිරීම් යැයි වර්ගීකරණය කොට පවතී. සිරගත කිරීමක්, දඩ මුදලකට යටත් කිරීමක් හෝ රිටිපහර එල්ල කිරීමක් වැනි දඬුවම්වලට යටත් විය යුතු වන්නේ යැයි මැලේසියානු ව්‍යවස්ථාපිත නීතියේ සඳහන් වන සමරිසිභාවය ඉන්දුනීසියාව තුළ නීති පද්ධතීන් තුළ සඳහන් කිරීමක් මෙතෙක් සිදුවී නැත. කෙසේ වෙතත්, සමරිසිභාවය ඉලක්ක කොට ගෙන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් (LGBT) පීඩනයට හා කෙනහිලිකම් වලට ලක්වීම රටවල් 2හිම සුලභ වශයෙන් සිදුවේ. මීට අමතරව, ඉන්දුනීසියාවේ ඉතාමත් ගතානුගතික ප්‍රාන්තයක් වන අකෙහ් ප්‍රාන්තය තුළ අනාදිමත් කළක පටන් ව්‍යවස්ථාපිත නීතියට පරිබාහිරව ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම තවමත් සිදුවේ.

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) පර්යේෂක ඇන්ඩ්‍රියාස් හාසොනෝ මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටි පරිදි, මෙම රාජ්‍යයන් 2හිම කිසිදු දේශපාලන නායකයකු හට ඉස්ලාමීය ආගමික තීන්දු තීරණ පිළිබඳ තම ස්ථාවරය මුස්ලිම් උපදේශකයන් හා සහචරයන් ගේ මැදිහත් වීමකින් තොරව සෘජුව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොපවතී.

මේ අනුව දේශපාලඥයකු යම් ස්වාධීන, සුභවාදී හෝ ගතානුගතික ඉස්ලාම් දර්ශනය අභියෝගයට ලක්කරන මතවාදයක් දරයි ද, එය නිසැකවම මාධ්‍යය ඉදිරියේදී වාරණයට ලක්වේ!

සමරිසියන්ව මරපං! ෂරියා නීතිය ඕනෙමයි! ඕනෙමයි!! ඕනෙමයි!!! ද? 

එළඹෙන අප්‍රේල් 17 වැනි දිනට යෙදීමට නියමිත ඉන්දුනීසියානු මැතිවරණය සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ අන්තවාදී ඉස්ලාමීය මතධාරී විද්වතකු වන මවුරුෆ් අමීන් උප-ජනාධිපති ධූරයට තරඟ වැදීම සඳහා ඉදිරිපත් කිරීම මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුණක් විය.

මවුරුෆ් අමීන් නැමැත්තා 2017 වර්ෂයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉන්දුනීසියාව තුළ සමලිංගික චර්යා සාපාරාධීකරණය කිරීමට නිකුත් කළ පෙත්සමක් ව්‍යාවස්ථාපිත අධිකරණය ඉදිරියේ ප්‍රතික්ෂේප වීම තම දැඩි පසුතැවීමට හේතු වූ බවයි!

මීට පෙර අවස්ථාවක, 2016 වර්ෂයේදී මාධ්‍යවේදීන් අමතා මවුරුෆ් අමීන් නැමැත්තා ප්‍රකාශ කොට සිටියේ මෙවන් අදහසකි.

“LGBT ක්‍රියාකාරකම් හා අනෙකුත් කැපී පෙනෙන ලිංගික ක්‍රියාකාරකම් දැඩි අන්දමින් තහනමට ලක්කරන හා ඒවා අපරාධ ලෙස වර්ගීකරණය කරන නීති පද්ධතියක් අපට අවශ්‍යයි!”

බෘෘනායි රාජ්‍යය ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්වන්නේ යැයි ප්‍රකාශයට පත්කොට දින ගණනක් ගතවන්නට මත්තෙන්, ඉන්දුනීසියානු ආගමික කටයුතු අමාත්‍යවරයා බෘෘනායි තානාපති හමුවී ඇති අතර, එම හමුව පිළිබඳ ඉන්දුනීසියානු රජය නිකුත් කළ මාධ්‍යය නිවේදනයේ දැක්වෙන්නේ හලාල් සහතිකය හා ආගමික අධ්‍යාපනය ස්ථාපනය කිරීම පිළිබඳ පමණකි. එහි කිසිදු තැනක ෂරියා නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ සඳහනක් ඇත්තේ නැත!

ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ ගේ පෙරකාලීන සහායකයකු වන කිතුණු බැතිමතකු වන ජකර්තාහි නගරාධිපති බසුකි අහෝක් ජහාජා පුර්ණමා ආගමට අපාහාස කළේ යැයි 2017 වර්ෂයේ දී සිරගත කිරීමට ක්‍රියාකරන ලද්දේ ද මෙම ගතානුගතික ඉස්ලාමීය කණ්ඩායම් විසින් ම වේ.

ඉන්දුනීසියාව හා මැලේසියාව යන රාජ්‍යයන් දෙක තුළම සමරිසිභීතිකාව ඉතා ඉහල අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ මත උසිගැන්වෙන, සංඛ්‍යාවෙන් දිනෙන් දින ඉහල යන අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්LGBT ප්‍රජාවන් මර්දනය කිරීමට නෛතික රාමුන් පතිසම්පාදනය කිරීමට මාන බලන බවත් මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

පර්යේෂක ඇන්ඩ්‍රියාස් හාසොනෝ ට අනුව, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රාජ්‍යයන් වල පවතින වත්මන් දේශපාලන වාතාවරණය තුළ 'ආගමික නිදහස' මැයෙන් අන්තවාදී කණ්ඩායම් ක්‍රියා කරන අයුරු තම දේශපාලන පැවැත්මට වාසි සහගත කර ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී. 'සමරිසියන් අපරාධකරුවන් විය යුතුමය, LGBT ක්‍රියාකාරකම් නතර විය යුතුමය' වැනි ගෝත්‍රවාදී මත දරණ මවුරුෆ් අමීන් වැන්නවුන් ඉන්දුනීසියාවේ උප-ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට එරට පාලකයන් ක්‍රියාකිරීමෙන් ගම්‍ය වන්නේ එය නොවේද? මොහ්ඩ් කයිරුදින් අමන් රසලි වැනි පෑන්-මැලේසියන් ඉස්ලාම් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ සමරිසි දඩයමේ යෙදෙන උන්මත්තක බෘෘනායි සුල්තාන් බොල්කියා හට සුභ පැතීමෙන් ගම්‍ය වන්නේ එය නොවේද?

බෘෘනායි රාජ්‍යය ඒ සඳහා කදිම පූර්වාදර්ශයක් වනු ඇත!

2018 සැප්තැම්බර් මස මැලේසියාවේ තෙරෙන්ග්ගානු ප්‍රාන්තයේදී කාන්තාවන් දෙදෙනකු වෙත නවතා තැබූ වාහනයක් තුළ ලිංගිකව හැසිරීමට තැත් කළේ යැයි ප්‍රසිද්ධියේ රිටිපහර එල්ල කරන ලදී. ඊට මසකට පෙර ක්වාලාලම්පූර් හි සමරිසි රාත්‍රී සමාජ ශාලාවක් වටලා තිබිණි.

මැලේසියානු LGBT මානව හිමිකම් ක්‍රියාකාරී තිලාජා සුලතිරේහ් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු වස් පැවැත්වූ පා ගමනේ දී දේදුනු කොඩි මතුවූ සෑම අවස්ථාවකදීම, ඊට සහභාගී වූ බොහොමයක ගේ විරෝධතාව එල්ල වූ බවයි.

“ඔවුන් රැලියට පැමිණියේ මන්ද, ඔවුන් එතන කරන්නේ කුමක්ද යැයි බොහොමයක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්, සේවායෝජකයන්ගෙන්, පාසල්වලින් ප්‍රශ්න නැඟුනා”, ඈ පැවසුවාය.

ඉදිරිය කෙබඳු වේවි ද?

‍මැලේසියාව හෝ ඉන්දුනීසියාව අසල්වැසි බෘෘනායි රාජ්‍යය මෙන් ගතානුගතික ඉස්ලාමීය දර්ශණය පාදක කොටගත් ෂරියා නීති සම්පාදනය කිරීමට ඉඩක් පවතින්නේ යැයි මතුවන සැකය හුදෙක් සෛද්ධාන්තමය හිතළුවක් නොවන බව අපට පසක් වන්නේ, එම රාජ්‍යයන් තුළ මෑත ඉතිහාසය තුළ සමරිසි විරෝධී කණ්ඩායම් විසින් දියත් කොට තිබෙන විවිධ ක්‍රියාදාමයන් දෙස මඳක් හැරී බැලීමේදී ය.

2018 වර්ෂයේ මුල් භාගයේදී ඉන්දුනීසියානු ව්‍යාවස්ථාපිත අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනුකරමින් ගතානුගතික ඉස්ලාමීය කණ්ඩායම් රාශියක් එක්ව එරට රජයට බලකර සිටියේ LGBT සබඳතා සාපරාධීකරණය කරන දණ්ඩ නීතියක් හඳුන්වා දෙන ලෙසටයි.

එම ව්‍යර්‍තය අසාර්ථක වූවද, අද වන විටත් එම කණ්ඩායම් දැඩි අන්දමින් තම සමරිසි විරෝධී ව්‍යාපාරය රට පුරා ප්‍රචලිත කරමින් සිටිති.

බෘෘනායි රාජ්‍යයේ ප්‍රතිපාදන මත නඩත්තු වන ඩෝර්චෙස්ටර් ඇතුළු සුපිරි හෝටල් දාම වර්ජනය කිරීමට ක්‍රියා කළ හොලිවුඩ් සුපිරි නළු ජෝර්ජ් ක්ලූනි මුල සිටම අනතුරු අඟවා සිටියේ මේ පිළිබඳවයි. දශක ගණනක රංගන ජීවිතයේ අත්දැකීම් හා විවිධ රාජ්‍යයන් හා පැවැත්වූ සබඳතා ඇසුරෙන් ‘ආගමික නිදහස’ මුවාවෙන් සමරිසි ප්‍රජාවන් හා වෙනත් සුළුතර ප්‍රජාවන් එල්ල කොට ගෙන ක්‍රියාත්මක වන මෙම මර්දනය බෘෘනායි අසල්වැසි රාජ්‍යයන් තුළ පවා ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බව ජෝර්ජ් ක්ලූනි මුල සිටම ප්‍රකාශ කර සිටියේය.

“මෙහි අඳුරුම පැත්ත මතුවන්න පුළුවන් බෘෘනායි අසල්වැසි රාජ්‍යයන්වල, ඉන්දුනීසියාව තුළ මානව හිමිකම් පිළිබඳ ගැටළු රාශියක් පවතිනවා, එහෙත් තවමත් ගල්පහර ගසා මරා දමන්න තරම් තත්ත්වය උග්‍ර වී නැහැ. මෙය ඉතාම වැරදි පූර්වාදර්ශයක් විය හැකියි. බෘෘනායි රාජ්‍යයේ ව්‍යාපාර ක්ෂේත්‍රය හා මූල්‍ය ගලනයට තදින් බලපාන අන්දමින් මේ පිළිබඳව දැඩි ප්‍රතිරෝධයක් මතු නොවුනහොත්, ඉදිරියට ඕනෑම දෙයක් සිදුවිය හැකියි!” ක්ලූනි පවසා සිටියේය.

ජෝර්ජ් ක්ලූනි බෘෘනායි රාජ්‍යයට අනුබද්ධ සුපිරි හෝටල් දාම වර්ජනය කිරීමට ගත් පියවරට බ්‍රිතාන්‍ය සුපිරි පොප් ගායක එල්ටන් ජෝන්, ඇමරිකානු දි ඔප්රා වින්ෆ්‍රේ ෂෝ (The Oprah Winfrey Show) නිවේදිකා ඔප්රා වින්ෆ්‍රේ, ඇමරිකානු දි එලන් ඩිජෙනරස් ෂෝ (The Ellen DeGeneres Show) නිවේදිකා/විකට ශිල්පිනී එලන් ඩිජෙනරස් අදී පුද්ගලයින් ද මේ වන විට සහය පළ කොට ඇත.

MIAP

පෙර ලිපිය:
බෘෘනායි හි සමරිසි වරද ගිනිකොනදිග ලැව්ගින්නක් වේද?