බුද්ධ දර්ශනය 23 - සීලය ආරක්ෂා කරන්නේ "මම" නිසා සිල් ගැනීම නිවනට අවහිරයකි

බුද්ධ දර්ශනය 23 - සීලය ආරක්ෂා කරන්නේ "මම" නිසා සිල් ගැනීම නිවනට අවහිරයකි

19 April 2019 05:19 am

දාන, සීල, භාවනා නිවන නොදකින බුද්ධාගමේ මූලික උපදෙසකි. සිදුහත් කුමරු බුදුවීමට පෙර පස්වග තවුසන්ද මෙවැනි දේ වලට ඇබ්බැහි වී සිටියහ.

ඒ මන්ද, දාන, සීල, භාවනා හින්දු ආගමේ බලවත් කණුය. නමුත් බුදුවීමෙන් පසු පස්වග තවුසන්ට දෙසූ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කළේ ඔවුන්ට දෙසන්ට යන්නේ "පෙර නොඇසූ දෙයක්"- "පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු" බවයි. මේ වචන තුනෙන් බුද්ධ දේශනයෙන් දාන,සීල,භාවනා නොවන බව පස්වග තවුසන්ට ප්‍රකාශ කර සිටියේය. නිවන් මඟ දාන,සීල,භාවනා නොවන බව මෙසේ එක්වරක් පමණක් නොව දොළොස් වරක් එම සුත්‍රයේ සඳහන් වේ. ඔවුන් එවන් හින්දු මිත්‍යාවලින් මුදවා ගැනීමට බුදුන් වහන්සේට මිනිත්තුවෙන් මිනිත්තුවට පස්වග තවුසන්ට මතක් කර දීමට අවශ්‍ය විය.

එනමුදු හාමුදුරුවරු සිල් ගැනීම නිවන් දැකීමට අවශ්‍ය දෙයක් බව ප්‍රකාශ කරති. එය ඉහත සඳහන් බුදු උපදේශයට සම්පූර්ණයෙන් විරුද්ධය. සිල් ගන්නේ "මම" නිසා කිසිදු සිල් ගත්තෙකුට "මම" යයි කෙනෙකු ඇත්ත වශයෙන් ශරීරය තුළ නැති බව, එනම් නිවන් දැකීමක් සිදුවිය නොහැක. මේ නිසා සිල් ගන්නෝ කිසිදා නිවන් නොදකිති. එය දැන් අවුරුදු 2100 ක්ම ප්‍රතිඵල (මාර්ගඵල) නැතිව සනාථ වී ඇත. එලෙසම කිසිම හාමුදුරු කෙනෙක් නිවන දැක නැත්තේද ඔවුන් ආරක්ෂා නොකළත්, කතාවට හෝ කෝටියක් සීලය ආරක්ෂා කරන බවට පොරොන්දු වන නිසාය.

සිල් සමාදන් වීම (පිළිගැනීම) නිවනට අවහිරයකි. නිවනේ "මම" යැයි කෙනෙකු නැති බව ප්‍රඥා ඇසට පෙනෙයි. එයට අනත්ත (සංස්කෘත භාෂාවෙන් අනාත්ම) යැයි කියනු ලැබේ. එසේ නම් "මම" යන අදහස තර කරන සීලය ආරක්ෂා කිරීමෙන් කෙසේ නිවන් දකීද ? මෙය එතරම් ගැඹුරු, තේරුම්ගත නොහැකි දෙයක් නොවේ. ඉතා සරළ පොඩි ළමයෙකුට පවා තේරුම් ගත හැකි දෙයකි.

සිල් සමාදන් වන්නෝ අඥානවන්තයින්ය. එවැන්නෝ කිසිදා නිවන් දැක බුද්ධිමත් නොවෙති. තෝරා ගත් සිල් පද කිහිපයක් පැය කිහිපයක් නොකර සිටීමෙන් කෙසේ නිවන් දකීද?. ඇත්ත වශයෙන් එවැනි දෙයක් කිරීම නිවනට බාධාවකි. නිවන් දැකීමේ මඟ මෙකල විවෘත වී ඇති නිසා මෙසේ වගකීමක් සහිතව ප්‍රකාශ කළ හැක.

"සිල් පද වැඩිවෙත්ම රහතුන් හීන වේ" යන්න සද්ධම්ම ප්‍රතිරූපක සුත්‍රයේ කාශ්‍යප හිමියන්ට බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. එම සුත්‍රය "බුදු සසුන විනාශ කරන හිස් මිනිසුන් සසුන තුළින්ම මතුවෙයි" යන්නද සඳහන්ය. ඒ සසුන තුළින් මතුවන, සසුන විනාශකාරී පුද්ගලයන් කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන බවට මහණ වන විට පොරොන්දු වෙති. එවිට නිවන වැසී හමාරය. එපමණක්ද නොව ඔවුන් අන් යට සිල් දීමෙන් මහජනතාවගේ නිවනටද බාධා කරති.

වාසනාවකට මෙන් දැන් සිල් ගන්නා අය බොහෝ සේ අඩු වී ඇත. තවමත් මේ ගැන නොදන්නා සිල් පිළිගන්න යන අයට එහි අනර්ථය පැහැදිලි කර දිය යුතුය.

"දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ" යනුවෙන් " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණ (යථා භූත ඥාන) දර්ශනය සාර්ථක වන" බව කෙතරම් බුදුන් වහන්සේ පැහැදිලි කළත් හාමුදුරුවරු එය සම්පුර්ණයෙන්ම නොසලකා හරිම උන්වහන්සේට කරන අවමානයක් නොවේද?

හාමුදුරුවරු මහජනතාව නිවන් දැකීමකට පත්වීමට විරුද්ධය. ඒ ඇයි? ඔවුන්ට ද නිවන් දකින්නට බැරි හෙයිනි. තමා තුළින් පැන නැගුණු කිසි දැනුමක් නොමැතිව පොත්වල නොයෙකුත් බමුණන් ලියන ලද බේගල්, සුරංගනා කතා කියමින් මහජනතාව රැවටීමට අතදෙන දේශපාලනඥයෝද නැවත පත් නොකළ යුතුය.

බුදුන් වහන්සේ කිසිම සූත්‍රයක් පන්සිල් දී පටන් ගෙන නැත. එසේම උන්වහන්සේ රට වටා යමින් භාවනා මධ්‍යස්ථාන පිහිටවූ බවද සඳහන් නොවේ.

එසේ නම් බුදුන් වහන්සේ නොකළ දේවල් කරමින්, එනමුදු උන්වහන්සේගේ ගුණ ගායනා කරමින්, උන්වහන්සේට පුද පූජා පවත්වමින් නිවන් නොදැක මහජනතාව රවටන බමුණන් හා එවැනි අයට අතදෙන මිත්‍යාව පතුරුවන මාධ්‍යය හා දේශපාලඥයින් මහජනතාව කොන් කළ යුතුය.

ලංකාව දියුණුවීමට අවහිර කරන බාධා තුනකි. එනම්,

01. මිත්‍යාව පතුරවමින් ජීවන ක්‍රමයක් හදා ගන්නා කිසිදා නිවන නොදකින හාමුදුරුවරු
02.ඔවුන්ට අතදෙන මිත්‍යාව පතුරුවන මාධ්‍ය හා පුවත්පත්
03. මේ දෙකම පෝෂණය කරමින් රට ගසා කන අඥානවන්ත දේශපාලකයින්

මේ තුන් කොටසම සමාජයෙන් කොන්වන තුරු බුද්ධිමතුන් පහළ වී රටේ දියුණුවක් සිදු නොවනු ඇත.

කෙසේ වෙතත් සිල් ගන්නා තුරු සීලබ්බත (සීල වෘත) පරාමාස නැති නොවේ. ඒ නිසා සිල් ගන්නා තුරු කිසිකෙනෙකු සෝවාන් මාර්ගයටවත් නොවැටේ. මේ නිසා පන්සල් ඇතුළු පන්සිල්, අටසිල්, දසසිල්, කෝටියක් සංවර සිල් ආදී සියලුම තැන්වල සිදුවන සීල ව්‍යාපාර නිවන අවහිර කරයි.

- වෛද්‍ය ගාමිනී අභය | www.buddhaintelligence.org
 
බුද්ධ දර්ශනය 22 - කියවීමෙන් නිවන් නොදකින ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම බුදුන් වහන්සේට කරන අපහාසයකි