‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

19 April 2019 02:57 pm

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.

යම් රටක පුරවැසියෙකු වීම යනු, තවත් රටක පුරවැසියෙකු කෙරෙහි වන මගේ බැඳීම යම් අවස්ථාවක අතහැරීමට නීතියෙන් බැඳී සිටීමකි. හෙට දවසේ ලංකාව සහ ඉන්දියාව අතර යුද්ධයක් ඇති වෙතොත්, මගේ කිසි වෛරයක් හෝ අනාදරයක් නැති ඉන්දියානුවෙකු ඝාතනය කිරීමට, මගේ ශ්‍රී ලාංකීය පුරවැසි භාවය නිසා මම බැඳී සිටිමි. මා විශ්වාස කරන පරිදි, මා නාඳුනන කෙනෙකු ඝාතනය කිරීමට මට හැකි වන්නේ, මා හෝ මගේ පවුල හෝ මගේ ඥාති මිතුරන් සම්බන්ධයෙන් වන ආසන්නතම ජෛවී පැවැත්මට එකී පුද්ගලයාගෙන් හදිසි අනතුරක් ඇති වන අවස්ථාවකදී පමණි. එසේ නොමැතිව, ඒ කියන මගේ හුදු පැවැත්ම වෙනුවෙන් නන්නාඳුනන කෙනෙකු ඝාතනය කිරීම නිශ්චය කරන ප්‍රධාන සාධකය, රට හෝ දේශය හෝ ජාතිය හෝ ආගම හෝ කුලය හෝ වෙනත් එවැනි සංස්කෘතික නිර්මිතයක් වීම මා සලකන්නේ භෞතික අවශ්‍යතාවක් වශයෙන් නොව, ශිෂ්ටාචාරයේ විකෘතියක් වශයෙනි. මේ නිසා, හුදෙක් ලාංකිකයෙකු වීම නිසාම, එවැනි වෙනත් ඒකක (රටවල්) 194 කට අයත් තවත් මනුෂ්‍යයෙකු ඝාතනය කිරීමට බැඳී සිටීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. එහෙත් අවාසනාව වන්නේ, වර්තමාන ලෝකයේ බිලියන 7.7 ක් වන සෙසු සකල මිනිස් සත්වයන් සේ මා ද, අනිවාර්යයෙන් යම් දේශයකට අයත් විය යුතු බවට පැනවීමක් ලෝකයා ඇති කරගෙන තිබීමයි. එබැවින්, අඩු වශයෙන් එක රටක හෝ පුරවැසියෙකු නොවී සිටීමේ හැකියාවක් මට නැත.

කරුමය එසේ වන හෙයින්, ‘දේශප්‍රේමියෙකු’ යැයි කියාගන්නා කෙනෙකු එක පුරවැසි භාවයකට අමතරව තවත් පුරවැසි භාවයක් ලබා ගැනීම මා සලකන්නේ අමු පිස්සුවක් වශයෙනි. එය, උජාරු ‘දේශප්‍රේමය’ විකෘති කර ගැනීමකි. මානව ප්‍රේමියෙකුට දේශප්‍රේමියෙකු විය නොහැකි අතර, දේශප්‍රේමියෙකුට සැබෑ මානව ප්‍රේමියෙකු විය නොහැක. මා දන්නා පරිදි, බුදුන් වහන්සේ දේශය ප්‍රතික්ෂේප කළෝය. ජාතිය ප්‍රතික්ෂේප කළෝය.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බෞද්ධයෙකි. ඔහු ලංකාවේ ඊළඟ ජනාධිපති විය යුතු බව බොහෝ බෞද්ධයෝ කියති. බුදුන්ගේ පැවිදි ශ්‍රමණයන් වශයෙන් වෙසෙන බොහෝ දෙනා ද ඒ අතර වෙති. ගෝඨාභයට අදාළ මගේ ප්‍රශ්නය මතු කරන්නේ එවැනි ශ්‍රමණයන් සම්බන්ධයෙන් නොව. ගිහි ‘දේශප්‍රේමීන්’ සම්බන්ධයෙනි.

නන්දසේන ගෝඨාභයගේ වාසගම රාජ-පක්ෂ ය. එනම්, රජෙකුට හෝ රජයකට පක්ෂපාතී වීම යන්නයි. ඔහුගේ උපතත් සමගම, ශ්‍රී ලංකාව කෙරෙහි වන ඔහුගේ පක්ෂපාතීත්වයත් උපන්නේය. එසේ තිබියදී ඔහුගේ වාසගමත් ඊට මනාව ගැළපුණි. අප වැනි වෙනත් සාමාන්‍ය පුරවැසියන් මෙන් නොව, ගෝඨාභය එසේ තමන්ට උපතින් හිමි වූ ශ්‍රී ලාංකීය රාජ-පක්ෂ භාවය, වෘත්තීයමය වශයෙන් ක්‍රියාවේ නැංවීමට ඉදිරිපත් විය. ඒ, ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට බැඳී සිටි යුධ හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1971 දී සේවයට බැඳීමෙනි. මේ කියන කාලය, නුතන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විරෝධී ප්‍රථම තරුණ කැරැල්ල දියත් වන මොහොතයි. වාසගමින්ම රාජ-පක්ෂ කෙනෙකු වශයෙන්, ශ්‍රී ලංකා රාජ්‍යය තරුණ කැරලිකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ ආශාවක් එදා ඔහුට තිබුණා විය හැකිය. ඉතා කෙටි කාලයක් තුළ 71 කැරලිකරුවන් මර්දනය කර ගැනීමට එදා හමුදාවට හැකි විය.

1992 වන විට ශ්‍රී ලංකා රාජ්‍යය බෙදුම්වාදී යුද්ධයක පැටලී සිටියේය. බෙදුම්වාදීහූ ලංකාවේ භෞමික අඛණ්ඩතාව තීරණාත්මක ලෙස අභියෝගයට ලක්කරමින් සිටියහ. ඒ වන විට නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ ලුතිනන් කර්නල්වරයෙකි. බෙදුම්වාදීන්ගෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා ගනිමින් තමන්ගේ රාජ-පාක්ෂික භාවය පෙන්නුම් කිරීමේ වගකීමක් තමන්ට ඇතැයි, 1971 දී තරුණ කැරලිකරුවන් සම්බන්ධයෙන් සිතුවා සේ, මේ අවස්ථාවේ බෙදුම්වාදීන් සම්බන්ධයෙන් ගෝඨාභය සිතුවේ නැත. එබැවින් රට මරු කටේ වැටී තිබුණු තීරණාත්මක අවස්ථාවක ඔහු හමුදා සේවයෙන් ඉල්ලා අස්විය.

ඔහුගේ වාසගම පිළිබඳ ප්‍රශ්නය මතුවන පළමු අවස්ථාව එයයි.

හමුදාවෙන් අස්වුවත්, වෙනත් විවිධාකාරයෙන් ඔහුට රාජ-පක්ෂ කෙනෙකු වශයෙන් සිටිය හැකිව තිබුණි. එහෙත්, ඔහු නැවතත් තමන්ගේ වාසගම පරදුවට තිබ්බේය. ඒ, ශ්‍රී ලාංකීය පුරවැසි භාවය අත්හැර ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීමෙනි. ශ්‍රී ලාංකීය රාජ-පාක්ෂික භාවය, මේ කියන නන්දසේන ගෝඨාභය සම්බන්ධයෙන්, එතැන් සිට ඇමරිකානු රාජ-පාක්ෂික භාවයක් බවට පත්විය. එසේ වුණේ, යුද්ධය ඉතා දරුණු අඩියකට වැටී තිබූ අවස්ථාවේ ඔහුගේ බිරිඳ කළ දැඩි බලපෑම නිසා යැයි, ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පසු අවස්ථාවක නන්දසේන ගෝඨාභය කියා තිබේ. ‘දේශප්‍රේමය’ වෙනුවට, තම බිරිඳ සහ තමා කෙරෙහි වන ප්‍රේමය පෙරදැරිව නන්දසේන ගෝඨාභය ගත් එම තීරණය අති මානුෂික බව මම සිතමි.

ඇමරිකානු පුරවැසි භාවය හෝ වෙනත් ඕනෑම රටක පුරවැසි භාවයක් ලබා ගැනීමේදී ශ්‍රී ලංකා පුරවැසි භාවය නිතැතින් අහෝසි වෙයි. ඇමරිකානු පුරවැසි භාවයට අමතරව ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයත් කෙනෙකුට තවදුරටත් අවශ්‍ය කරයි නම්, ඒ සඳහා වෙනම ඉල්ලුම් කළ යුතුය. එහෙත් නන්දසේන ගෝඨාභයට ඒ ‘ද්විත්ව පුරවැසි භාවය’ අවුරුදු දහයකටත් වැඩි කාලයක් යන තෙක් අවශ්‍ය කෙළේ නැත. ඒ නිසා, ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත් දා සිට නැවතත් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නා තෙක්, එනම් ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ 2005 දී රටේ ජනාධිපති පදවියට පත්වන තෙක්, ගෝඨාභය නන්දසේන රාජ-පක්ෂ සිටියේ මුළුමණින්ම ඇමරිකානුවෙකු වශයෙනි. මේ කියන කාලයේ නන්දසේනගේ සිංහල ‘දේශප්‍රේමය’, හේමන්තයේ නිද්‍රාවක සැතපී සිටියේය.

අයියා ජනාධිපති වූ ගමන්, නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂට ශ්‍රී ලංකාවේ ‘ද්විත්ව’ පුරවැසි භාවයේ වටිනාකම වැටහුණි, එබැවින් 2005 දී ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ගත්තේය. ඔහු ‘ද්විත්ව පුරවැසියෙකු’ වන්නේ එතැන් පටන් ය. එහෙත් ඒ, මුලින් ඇමරිකානුවෙකු ද, දෙවැනුව ශ්‍රී ලාංකීකකයකු ද වශයෙනි. මන්ද යත්, ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඔහු ලබාගන්නේ, උපතින් ලැබූ ජන්ම ශ්‍රී ලාංකීය පුරවැසි භාවය වරක් ස්වේච්ඡාවෙන් අතහැර දමා දශකයකටත් වැඩි කාලයකින් පසුව, ඇමරිකානු පුරවැසි භාවයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකීය පුරවැසි භාවයක් දෙවැනුව ඉල්ලා ඇති නිසා ය. ඒ අනුව අදටත් ඔහු මුලින්ම ඇමරිකානුවෙකි. දෙවැනුව ශ්‍රී ලාංකිකයෙකි.

2009 දී බෙදුම්වාදී යුද්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ජයගත්තේය. ඒ වන විට, නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. දේශප්‍රේමී යුද්ධයකට පරිපාලනමය නායකත්වයක් සැපයීමෙන් අනතුරුව, නන්දසේන ගෝඨාභයට අවශ්‍ය විණි නම්, කලින් සිදුවූ අත්වැරැද්දක් නිවැරදි කර ගත හැකිව තිබුණි. එනම්, තමාගේ වාසගම ලංකාවේ තනි භුක්තියට වහා සවි කර ගත හැකිව තිබුණි. ඒ සඳහා, ඇමරිකානු පුරවැසි භාවය අත්හළ යුතු විය. එහෙත් එක දිගටම ඔහු, මුලින් ඇමරිකානුවෙකු වීමටත්, දෙවැනුව ශ්‍රී ලාංකිකයෙකු වීමටත් එක දිගටම ඉටාගෙන සිටියේය.

මා මෙසේ තර්ක කරන්නේ, එම තර්ක මා පිළිගන්නා නිසා නොවේ. කෙනෙකුට එක රටක හෝ පුරවැසියෙකු නොවී සිටීමේ කිසි හැකියාවක් නැත්නම්, තවත් රටවල් සියයක පුරවැසි භාවයන් ලබා ගත්තත් වරදක් නැතැයි යන්න මගේ විශ්වාසයයි. එහෙත්, එම තර්කය, ශ්‍රී ලාංකීය, විශේෂයෙන් ‘සිංහල දේශප්‍රේමියා’ සම්බන්ධයෙන් වලංගු වන්නේ නැත.

දේශප්‍රේමය යන්න මොන තරම් වංචාවක් ද යන්න වටහා ගැනීමට, නන්දසේන ගෝඨාභයගේ මේ චර්යාව අපට මහඟු අත්වැලක් සපයයි. යුද්ධය ජය ගැනීමෙන් පසුව පවා ඇමරිකානු පුරවැසි භාවය අතහැරීමට නොගිය ඔහු දැන් එය අතහැරීමට යන්නේ වෙන දෙයක් නිසා නොව, ලංකාවේ ජනාධිපති වීම සඳහා එය අතහැරීම නෛතික අත්‍යාවශ්‍යතාවක්ව ඇති බැවිනි. තවත් විදිහකින් කිවහොත්, ඇමරිකාවේ පාරක සිටින යාචයෙකුට පවා හිමි සාමාන්‍ය සිල්ලර පුරවැසි භාවයක් අතහැරීමට හිලව්වක් විය හැකි වටිනාකමකින් යුත් ලංකාවේ ඇති පරමාදර්ශී එකම දෙය වනුයේ ජනාධිපති ධුරය පමණක් ය යන බවට ඔහු තුළ ඇති විශ්වාසයයි. ඊට අඩු, ලාංකීය වන වෙන කිසිවක් වෙනුවෙන්, ඇමරිකානු භාවය අතහැරීම ඔහු ප්‍රතික්ෂේප කරයි. නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ නැමැති සිංහලයාගේ ‘දේශප්‍රේමය’ අප ඉදිරියේ නිරුවත් වන ආකාරය හරි අපූරු ය.

ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීමේදී ඕනෑම විදේශිකයෙකු, ‘ඇමරිකානු රාජපාක්ෂික භාවය’ පිළිබඳ දිය යුතු දිව්රුමක් තිබේ. නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ 1992 දී ඒ දිව්රුම දුන්නේය. ඒ දිව්රුම ඔහු දුන්නේ, ශ්‍රී ලාංකීය පුරවැසි භාවය ඔහු සිය කැමැත්තෙන් අතහැරිය මොහොතේ ය. එය මෙසේ ය:

“මෙතෙක් කල් මා යටත්වැසියෙකු හෝ පුරවැසියෙකු වශයෙන් සිටි, මොනයම්ම හෝ විදේශ කුමාරයෙකුට, නරේන්ද්‍රයෙකුට, රාජ්‍යයකට හෝ ස්වෛරී රටකට මා දැක්වූ පක්ෂපාතීත්වය හෝ විශ්වාසත්වය, පරම වශයෙන් ද, මුළුමණින් ද, මෙතැන් පටන් මා අතහරින බවට මෙයින් මම දිව්රා පොරොන්දු වෙමි. සකලවිධ විදේශීය සහ දේශීය සතුරන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවත්, නීතියත් ආරක්ෂා කිරීමටත්, ඊට සහාය දැක්වීමටත් මම දිව්රා පොරොන්දු වෙමි. ඒ කෙරෙහි වන භක්තිය සහ පක්ෂපාතීත්වය මෙයින් මම ප්‍රකාශ කොට සිටිමි. නීතියෙන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි... මේ වගකීම මා භාරගන්නේ, හිතේ කිසි කහටක් නැතිව ය. එය මගහැර යාමේ අභිප්‍රායක් නැතිව ය. එසේ හෙයින්, දෙවි පියාණනි, මට උපකාර කළ මැනව.”

ශ්‍රී ලංකාවේ ‘ද්විත්ව පුරවැසි භාවය’ පසුව ලබා ගැනීම හේතුවෙන්, කලින් දී ඇති ඇමරිකානු දිව්රුම අහෝසි වන්නේ නැත. ලංකාව ඇතුළු ඇතැම් රටවල් ද්විත්ව පුරවැසි භාවය, රටේ ස්වෛරීත්වය අභ්‍යාස කෙරෙන ආයතනවලට (පාර්ලිමේන්තුව) තේරී පත්වීම සඳහා නුසුදුසුකමක් බවට පත්කොට ඇත්තේ වෙන කිසිවක් නිසා නොව, රටවල් දෙකක ස්වෛරීත්වයක් වෙනුවෙන් කෙනෙකුට එක විට පෙනී සිටිය නොහැකි නිසා ය.

අද, 2019 අප්‍රේල් 18 වැනි දා ය. හෙට ඇමරිකාව සහ ලංකාව අතර යුද්ධයක් හටගැනුණොත්, මැදමුලනේ නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අවුරුදු 250 ක් වයසැති ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන්, අවුරුදු 2500 ක් ඉපැරණි ශ්‍රී ලංකාවට එරෙහිව අවි දැරිය යුතු ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂව පත්කර ගැනීම පිළිබඳ තව අනන්තවත් ප්‍රශ්න අපට තිබේ. එහෙත්, අද ඔහු වෙනුවෙන් පෙනී සිටින ‘දේශප්‍රේමීන්ගෙන්’ දැනට මේ කරුණු කිහිපය ගැන පමණක් අපට පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු.

- ගාමිණී වියන්ගොඩ