විශ්වාසය සහ සත්‍යය ශ්‍රී ලංකාවේ එකිනෙකින් වෙන්ව පැවතිය යුත්තක්ද ? - රශී චන්ද්‍රනාත්

විශ්වාසය සහ සත්‍යය ශ්‍රී ලංකාවේ එකිනෙකින් වෙන්ව පැවතිය යුත්තක්ද ? - රශී චන්ද්‍රනාත්

20 April 2019 10:47 am

සත්‍යවාදී වීමේ ඇති වටිනාකම කවුරුත් පිළිගනිති. සමාජයකට එය කෙතරම් වටනේද යත්, සමාජයක් ජීවත් විය යුතු සාරධර්ම සහ සදාචාර ප්‍රතිපත්ති පිළිබඳ දේශනා කරන සෑම ආගමකම යම් ආකාරයකින් එ් ගැන සඳහන් වෙයි. මුසාවාදයෙන් වැළකීම බෞද්ධයන්ගේ පංච ශීලයට අයත් එක ප‍්‍රතිඥාවකි. බොරු කීම සහ බොරු සාක්ෂි දීම කිතුණුවන්ට තහනම්ය. බොරුකාරයෝ දෙවියන්ගේ සාපයට ලක්වන බව කුරානය කියයි. සත්‍යය, හින්දු ආගමේ ඉහළම ශීලයකි. ඕනෑම සබඳතාවක යහපැවැත්ම සඳහා එය සත්‍යයේ සහ අවංකභාවයේ ප‍්‍රතිපත්ති මත පදනම් විය යුතුය. සබඳතාවක් ගොඩනැගෙන විශ්වාසයට තුඩුදෙන්නේ එයයි. එ් අනුව සත්‍යය සහ විශ්වාසය එකිනෙකට සහසම්බන්ධීය. එය සමාජයක් ඉදිරියට ගෙන යන අතිමූලික සාරධර්ම දෙකකි.
 
රාජ්‍යයක ස්ථාවරත්වය සහ ප‍්‍රගතියත් ඊට වෙනස් නැත. රාජ්‍යයක් තුළ පවතින ආයතන කෙරෙහි ජනතා විශ්වාසයක් නොමැති නම්, ඒ ආයතන පිහිටුවීම පසුපස ඇති පරමාර්ථ සාධනය කර ගැනීමට නොහැකි වන්නේය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි ප‍්‍රචණ්ඩකාරී ගැටුම්වලින් ගොඩවිත් සිටින රටකට, සත්‍ය ගවේෂණය සහ විශ්වාසය නංවාලීම යන කාරණා අතිශය වැදගත්ය. දශක තුනක් තිස්සේ පැවති වාර්ගික යුද්ධයක් සහ රුදුරු දේශපාලනික කැරලි කෝලාහල ඇතුළු සිවිල් නොසන්සුන්තා තුළ දිග හැරුණු දරුණු ප්‍රචණ්ඩත්වයක් පිළිබඳ  අත්දැකීම් ඇති පරම්පරාවකින් සමන්විත රටකට, රාජ්‍යය සහ එහි පුරවැසියන් අතර විශ්වාසය පමණක් නොව, එරටේ වෙසෙන විවිධ ජනවර්ග අතරත් විශ්වාසය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේය.
 
සත්‍යයෙන් තොරව අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැගිය හැකිද ?
 
ඓතිහාසික වශයෙන් සිදුව ඇති අකටයුතුකම්වලට විසඳුම් ඇති කර නොගන්නා තාක් කල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ. ආණ්ඩුව කෙරෙහි මෙන්ම තමන් අතරේමත් පැවතිය යුතු විශ්වාසය ශ‍්‍රී ලංකාවේ අනාගත ගමනට අනිවාර්ය වන අතරේම තවමත් පිළිතුරු සොයාගෙන නැති ප‍්‍රශ්න ගණනාවක් ද අප ඉදිරියේ තිබේ.
 
පසුකාලීන ගැටුම්කාරී ඉතිහාසය තුළ සිදු වූ තිරිසන්කම් සහ අමානුෂික උල්ලංඝණයන් පිළිබඳ සත්‍යය සියලු ශ‍්‍රී ලාංකිකයෝ දනිත්ද ? ඒ ගැටුම් අවසන් වීමෙන් පසුව වින්දිතයන් මුහුණ දුන් දුක් වේදනාවන්හි මූලයන් පිළිබඳ අවබෝධයක් එ් ශ‍්‍රී ලාංකිකයන්ට තිබේද ? ඒ සියල්ල පිළිබඳ සත්‍යය දැන නොගෙන, ආණ්ඩුවක් කෙරෙහි ජනතාවට විශ්වාසයක් තැබිය හැකිද ?
 
සිදු වූ ඒ මහා හිංසනකාරී තත්වය අවසන්ව ඇති අතර, ව්‍යාජ විශ්වාස, සැකසාංකා සහ නොදන්නා බොහෝ දේවල් පිළිබඳ පවතින බියසැක බොහෝ දෙනාගේ සිත්සතන් තුළ තවමත් හොල්මන් කරයි. යුද්ධ සහ ප‍්‍රචණ්ඩ කාලවල, ජනතාව වෙත තොරතුරු ලෙහෙසියන් එන්නේ නැත. එවැනි කාලවල, දේශපාලනික හමුදාමය සහ පෞද්ගලික සීමාවන් අතරේ පවතින ඉරි මැකී යන අතර, හිංසනයන් සහ අපයෝජනයන් බහුල වෙයි. මිණිය නොහැකි තරමින් සෑම පාර්ශ්වයකටම අලාභහානි සිදු වෙයි. එහෙත්, සිදුවුණේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය දැන ගැනීම වැදගත් වෙතත් එය බලාත්කාරයෙන් ලබා ගැනීම දුෂ්කරය. වින්දිතයන් විඳි වේදනාවන් දන්නේ ඔවුන් පමණි. ඒවා හෙළිදරව් කළ හැක්කේ ද ඔවුන්ට පමණි. ඒ අපරාධ කළවුන් විසින්ම ඒවා පාපොච්චාරණය කරන්නේ නම් එයින් පෑදෙන සත්‍යය වඩාත් වැදගත්ය. පාපොච්චාරණය සහ විවෘත සංවාදය තුළ, කළ දේවල් පිළිබඳ පසුතැවීමට සේම සමාභජනය කිරීමටත් අවස්ථාව සැලසේ.
 
සත්‍යය සොයා ගන්නේ කෙසේද?
 
‘සත්‍ය කොමිසමක්’ ස්ථාපනය කළ යුත්තේ, අවංකභාවය සහ විශ්වාසය මුල් කරගත් වටපිටාවක සිට, කෙනෙකු සතු තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතියක් මත පදනම් වෙමිනි. ඒ පසුපස ඇති පිළිගත් නියාමය වන්නේ, වින්දිතයා සහ වරදකරුවා යන දෙදෙනාගේම සිත්සතන් තුළ තිබිය හැකි සැකසාංකා සහ අඩමාන දුරු කරලීම මගින්, අතීතයේ සිදු වූ අපරාධ අවංකව හඳුනාගෙන ඉදිරියට පිය නැගීමට සියලු පාර්ශ්වවලට අවස්ථාව සැලසීමයි. ‘සත්‍ය කොමිසමක්’ යනු උසාවියක් නොවේ. එහිදී වැදගත් වන්නේ, දඬුවම හෝ නඩු පැවරීම හෝ නොවේ. සත්‍ය පිරිසිඳ දැන ගැනීම සහ එය භාර ගැනීමයි. මෙය වැඩකට නැති මනෝරාජික දෙයකැයි මතුපිටින් පෙනී ගිය හැකි වෙතත්, බොහෝ විට වින්දිතයන් ඉල්ලා සිටින්නේ, තමන්ගේ දුක්බර කතාව එයාකාරයෙන් ඇසීමට සැලැස්වීමේ අවස්ථාවකි. ඔවුන්ගේ හඬ නිහඬ කිරීම යනු, එක පැත්තකින් ඔවුන්ගේ එ් වේදනාකාරී අතීත අත්දැකීමෙන් ඔවුන්ව උගුල්ලා දැමීමත්, අනිත් පැත්තෙන් කිසි අපරාධයක් සිදු නොවූ ගානට කටයුතු කිරීමට වගබලා ගැනීමත්ය. සත්‍යය ඇති සැටියෙන් හෙළිදරව් කර ගැනීමේ ක‍්‍රියාවලියක් නැති තැන, තිරසාර සාමයක් ගැන විශ්වාසය තැබිය හැකි නොවේ.
 
සවන්දිය යුත්තේ කාගේ හඬටද ?
 
‘සත්‍යය කොමිසම’ සාධාරණ වූත්, සුජාත වූත් ක‍්‍රියාවලියක් වීමට නම්, යම් ගැටුමකින් පීඩාවට පත් සියලු පාර්ශ්වවල හඬට ඒ තුළ අවස්ථාවක් තිබිය යුතුය. එය වින්දිතයන්ගේ හඬ පමණක් නැගෙන තැනක් නොව, වැරදිකරුවන්ගේ පාපොච්චාරණවලටත් ඉඩක් ඇති තැනක් විය යුතුය. ශ‍්‍රී ලංකාවේ ගත වු දශක කිහිපය තුළ විවිධාකාරයේ හානි සහ පීඩාවන්ට පත්වූ වින්දිතයෝ සියලු ප‍්‍රජාවන් තුළ සිටිත්. එකිනෙක ප‍්‍රජා කණ්ඩායම් තුළ සිටින වින්දිතයන් හඳුනා ගැනීම, ඔවුන්ට අත්වූ පීඩාවන් හඳුනා ගැනීමට පමණක් නොව, ඔවුන්ගෙන් වෙනස් වූ වෙනත් ප‍්‍රජාවන් තුළත් වින්දිතයන් සිටින බව හඳුනා ගැනීමට, අවස්ථාවක් වනු ඇත. තමන්ගෙන් ඈත තැන්වල වෙසෙන, තමන්ගෙන් වෙනස් ජනවර්ග තුළ සහ වෙනස් සංස්කෘතික පසුබිම් තුළ වෙසෙන තවත් ප‍්‍රජාවන්ද මෙවන් වූ දුක්බර වූ අත්දැකීම්වලට ගොදුරු වී ඇති බව කාටත් අවබෝධ කර ගැනීමට එය අවස්ථාවක් වනු ඇත.
 
අපරාධ සිදු කළ පුද්ගලයන්ට, ඒ අපරාධ කවරේද, ඒවා සිදුවුණේ මන්ද සහ කෙසේද යන අවබෝධය තිබේ. සත්‍යය පීරා දැන ගැනීමටත්, පාරදෘෂ්‍ය භාවයටත් ඒ තොරතුරු ඉතා වැදගත්ය. ඒ අපරාධකරුවන් වන්නේ, සිවිල් පුද්ගලයන් හෝ සිවිල් කණ්ඩායම් විය හැකිය. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විය හැකිය. හමුදා නිලධාරීන් විය හැකිය. ආණ්ඩුවේ නිලධාරීන් විය හැකිය. දේශපාලඥයන් විය හැකිය. ඒ සියල්ලන්ට, ඉදිරියට විත් තමන් කෙළේ කුමක්ද සහ තමන් සාක්ෂි දරන්නේ කුමකටද යන්න විවෘතව කියා සිටීමේ අවස්ථාවක් තිබිය යුතුය.
 
ඇතැම් අවස්ථාවක, වින්දිතයා සහ අපරාධකරුවා අතර වෙනස පැහැදිලි නැත. අපරාධයක් කරන තැනැත්තාම පසුව වින්දිතයෙකුද විය හැකිය. එවැනි ඉතා සංකීර්ණ අත්දැකීම් හඳුනා ගැනීමටත්, ඒවාට සවන්දීමටත් අවස්ථාවක් සියලු පුරවැසියන්ට තිබිය යුතුය. ඒ අනුව, යුද්ධය විසින් භේදභින්න කරන ලද සියලු ප‍්‍රජාවන්ට ඔවුනොවුන් හඳුනා ගැනීමටත්, අර්ථවත් ආකාරයකින් ඔවුනොවුන් අතරේ සමාදානය ඇති කර ගැනීමටත් ‘සත්‍යය කොමිසමක්’ උපකාරී වන්නේය.
 
කෙනෙකු ඉදිරියේ මොන තරම් ඇත්ත දිග හැරුණත් එ් ගැන ඇස් කන් පියාගෙන සිටීමට කෙනෙකුට බැරි කමක් නැත. එහෙත් තමන්ගේ කැමැත්තෙන් එසේ ඇස් කන් පියාගෙන සිටීමට වඩා, අපව අඳුරේ තබා ගැනීමට යමෙකු හිතාමතා කටයුතු කිරීම භයානකය. සිදු වූ අයථා ක‍්‍රියා හෙළිදරව් කර ගැනීමේ වගකීම රජයක් භාර නොගන්නේ නම් සහ අපරාධකරුවන් හඳුනා ගනිමින් වින්දිතයන් කෙරෙහි රජයක් සංවේදී නොවන්නේ නම්, එය සත්‍යය සැඟවීමේ චේතනාන්විත ක‍්‍රියාවක් වශයෙන් ජනතාව හඳුනාගනු ඇත.
 
සියලු ප‍්‍රශ්න නිරාකරණය කිරීමට ‘සත්‍යය කොමිසමක්’ සමත් නොවිය හැකිය. සියලු දුක් පීඩාවන්ට එය ඔසුවක් නොවිය හැකිය. මිනිසුන් සොයන සියලු ප්‍රශ්නවලට එය පිළිතුරක් නොවිය හැකිය. ඒ කිසිවක් නැතත්, අඩු වශයෙන් සත්‍යය සොයා බැලීමේ සහ ප‍්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමේ ආයාසයක් සඳහා වන අව්‍යාජ ප‍්‍රයත්නයක් ආණ්ඩුවක් පැත්තෙන් ගෙන ඇතැයි යන විශ්වාසයක්වත් ඒ මගින් සමාජයක ජනිත කැරැවිය හැකිය.
 
2019 අප්‍රේල් 18 වැනිදා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, රශී චන්ද‍්‍රනාත් ලියූ, ‘Should Trust & Truth be Mutually Exclusive in Sri Lanka?’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.