ජිහාඩ් අන්තවාදය විසින් ශ්‍රී ලංකාව ගිලගනීද?

ජිහාඩ් අන්තවාදය විසින් ශ්‍රී ලංකාව ගිලගනීද?

13 May 2019 05:51 am

අප්‍රේල් 23 දින පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාරය මගින් වසර 10 කට පෙර 2009 දී බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කොට උපයාගත් සාමයත් 2015 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව ගොඩනැගු ලිබරල් නිදහසත් එකවර ශ්‍රී ලාංකික ජනතාවගෙන් උදුරාගනු ලැබ ඇත. ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මා හඳුනාගන්නේ ISIS පරිධියේ කටයුතු කළ ත්‍රස්ත කණ්ඩායමක් සහ ශ්‍රී ලාංකික ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කල්ලියක් ඒකාබද්ධ වී දියත් කළ මෙහෙයුමක් ලෙසටය.

මෙම ත්‍රස්තවාදය තනි සිදුවීමකින් පමණක් අවසන්විය යුතු යයි ශ්‍රී ලාංකිකයන් වන අපගේ පරම ප්‍රාර්ථනයයි. එකී ප්‍රාර්ථනය යථාර්තයක් කරගැනීමට නම් ශ්‍රී ලංකාව ඉලක්ක තුනක් ඔස්සේ කටයුතු කළ යුතුව ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එනම්;

- බුද්ධි තොරතුරු මත ක්‍රියා කරමින් ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු මිලිටරි හා ආරක්ෂක ක්‍රියාදාමය,
- රට තුල සිංහල-මුස්ලිම් කලකෝලහාලයක් වැලැක්වීමට පියවර ගැනීම
- ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයට සිදුකරන බලපෑම අවම කිරීම හා රැඩිකල් වී ඇතැයි අනුමාන කෙරෙන මුස්ලිම් අන්තවාදීන් එකි අන්තවාදයෙන් බැහැර කිරීම (de-radicalization)

කෙසේ නමුත් දැනට මුහුණ දෙමින් තිබෙන තත්ත්වය මගින් අපගේ සමාජය තුල ක්‍රියාත්මක සමාජ-දේශපාලන මනෝභාවයේ සුසමාද්ශීය වෙනසක් (paradigm change) සිදුවීමට ඇති ඉඩකඩක් පෙන්නුම් කරමින් සිටී.

පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය හේතු කොට ගෙන රටේ දේශපාලන ප්‍රතිපත්ති මත බලපෑමක් ඇති කරනු ලබන ඇතැම් අභ්‍යන්තර සාධක මත මෙන්ම රටට තෙරපුමක් ඇති කරනු ලබන බාහිර සාධකයන්ගේ ද වෙනසක් සිදු විය හැකි යයි අනුමාන කළ හැකිව තිබේ. එකී වෙනස්වන සාධකයන්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම මත අප රටේ අනාගත ස්ථාවරත්වය රඳා පවතිනු ඇත.

මෙලෙස පුරෝකථනයක් සිදුකිරීම සඳහා අපට අතීතයේ දී ගෝලීය තලයේ සිදුවූ සිදුවීම් දෙකක් සදෟශනාත්මකව (analogically) ගෙනහැර දැක්විය හැකිව තිබේ. ඉන් එක සිදුවීමක් වන්නේ සැප්තැම්බර් 11 දා ඇමරිකාවේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අමරිකාව විසින් පකිස්තානයේ ද සහාය ලබාගෙන ඇෆ්ගනිස්තානයෙ ඇරඹූ operation enduring freedom නම්වූ මිලිටරි මෙහෙයුමෙන් අනතුරව පකිස්තානයට අත්විඳින්නට සිදුවූ සමාජ -දේශපාලනික විපර්යාසයයි.

දෙවැන්න වර්ෂ 2004 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පුපුරා ගිය බෝම්බයෙන් අනතුරුව ස්පාඤ්ඤ දේශපාලනය තුල සිදුවූ විපර්යාසයයි.

වර්තමාන පකිස්තානය අන්තවාදී මුස්ලිම් දේශපාලනයෙන් බැට කන්නේ එරට සමාජය තුල ඒ සඳහා ඇති ඉල්ලුම හේතුකොටගෙනය. ඒ සඳහා වටපිටාව සකස් කොට දුන්නේ ඇමරිකානු මෙහෙයුම සහ පකිස්තානය විසින් ඒ සඳහා ලබා දුන් කොන්දේසි විරහිත සහයෝගයයි. අවසානයේ දී ඒ තුලින් ශක්තිමත් වූයේ පකිස්තාන මුල්ලාවරුන්ගේ ආගමික - දේශපාලනික භාවිතාවයි. වර්තමානය තුල අප දකින්නේ පකිස්තානය එරටේ ආගමික මුල්ලාවරුන්ට යටවූ රටක් ලෙසටය. එහි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නගරවල පමණකි. පරිධියේ පවතින්නේ මුස්ලිම් අන්තවාදයයි. එමගින් කලාපයට සිදුකෙරෙන බලපෑම බහුවිධ ස්වරූපයක් ගනී.

මැඩ්රිඩ් බෝම්බය පිපුරුනේ එවකට පවත්වන්නට නියමිතව තිබූ මහ මැතිවරණයට සති 3 කට මත්තෙනි. මැතිවරණයේදී බලයේ සිටි ජනප්‍රිය ආණ්ඩුවට අන්ත පරාජයක් හිමිකර දුන්නේය. ඒ ත්‍රස්ත ක්‍රියාව හරහා සමාජය තුල ඇති කළ කම්පනය කළමනාකරණය කිරීමට එවකට බලයේ සිටි රජයට නොහැකි වීම නිසාය. සැබවින්ම එදා එම බෝම්බය පිපුරුවා හැරියේ අල්කයිඩා ත්‍රස්තයන් විසිනි. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළේ එය ස්පාඤ්ඤයේ බෙදුම්වාදී කණ්ඩායමක් වන ETA වරුන්ගේ ක්‍රියාවක් ලෙසටය. ඇෆ්ගනිස්තානය තුල ඇමරිකාව සිදුකරමින් සිටි මෙහෙයුම් හේතුවෙන් පලා යමින් සිටි අල්කයිඩා ත්‍රස්තයින්ට මැඩ්රිඩ් නුවර කදිම අවස්තාවක් සලසා දුන්නා පමණක් නොව පාලකයින් ඔවුන්ට දේශපාලනික ආවරණයක් ද ලබා දුන්නේය.

පකිස්තානය සහ ස්පාඤ්ඤය තුල ඇතිවු සමාජ දේශපාලනික වෙනස්කම්වල බලපෑම අදටත් එම රටවල් අත්විඳිමින් සිටිති.

වෙනස:
ශ්‍රී ලංකාව තුලද එලෙසටම සමාජ-දේශපාලනික තලයේ සිදුවිය හැකි යයි පුරෝකථනය කළ හැකි කරුනු කාරණා ගණනාවක් තිබේ. ඒවා රටට බලපෑමක් කරන අභ්‍යන්තර සාධක මත මෙන්ම බාහිර සාධක මත බැඳී පවතින්නේය.

ඒ අනුව බාහිර සාධක ලෙස හඳුනාගන්නේ;

⁃ බටහිරට, ඉන්දුනීසියාවට, ඉන්දියාවට වෙනස්ව සෞදි වහබිවාදයේ බලපෑම, ආශීර්වාදය හා මුල්‍ය සහයෝගය මත ශ්‍රී ලංකාව තුල අනන්‍යව ගොඩනැගීමට ඉඩ ඇති ජිහාඩ් අන්තවාදය තුල කලාපයට හා ලෝකයට ඇතිවිය හැකි බලපෑම
⁃ නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන මිලියන 600 වු ඉස්ලාම් භක්තිකයන් වෙසෙන දකුනු ආසියානු කලාපය තුල ඇති විය හැකි ජිහාඩි අන්තවාදී බලපෑම
⁃ ජිහාඩි අන්තවාදය විසින් අස්ථාවර වන දකුනු ආසියානු කලාපය මගින් ලෝක සාමයට හා ස්ථාවරත්වයට කළ හැකි බලපෑම

සිදුවුන ජිහාඩ් ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සාධකයන්ට සිදුවිය හැකි බලපෑම මෙලෙස හඳුනාගනිමු;

⁃ ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙන ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩනැගීම අවධාරණය කෙරෙන සමාජ මනෝභාවයක් සිංහල සමාජය තුල ගොඩනැගීම
⁃ එකී මනෝභාවය විසින් ඉදිරියට එන ජනාධිපතිවරණයේ දේශපාලනය අධිනිශ්චය වීමට ඇති ඉඩ කඩ වැඩි වීම
⁃ එකී අධිනිශ්චය වීම හේතු කොට පක්ෂ අභ්‍යනතර වෙනස්කම්වලට පවා භාජනය වීමට ඇති ඉඩ කඩ
⁃ මෙතෙක් පැවති සහජීවන ඉස්ලාම්වාදයේ (inclusive Islam) සිට මේ වනවිට ගොඩනැගෙමින් එන ජිහාඩි පරම ඉස්ලාම්වාදය (Exclusive Islam) සමග බද්ධ වන්නේද යන මුස්ලිම් සමාජ මනෝභාවයේ පැවැත්ම හා එම මනෝභාවය මත අභ්‍යන්තරික මෙන්ම බාහිරව ඇති කළ හැකි තෙරපීම් මත ගොඩනැගෙන නව ලාංකික මුස්ලිම් දේශපාලනයේ ස්වරූපය,
⁃ මෙතෙක් රට තුල රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණය, සංක්‍රමනීය යුක්තිය, මානව හිමිකම් සුරැකීම ආදී වන සමාජ කථිකාව පූර්ණ ලෙසම සමාජ ප්‍රමුඛතා ලැයිස්තුවේ පසුපසට ගමන් කිරීම
⁃ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම හේතු කොට ගෙන මෙතෙක් චීනය විසින් ශ්‍රී ලංකාව මත ඇති කරමින් තිබු ඒකාධිකාරී බලපෑම (monopolistic influence) අවසන් කරමින් ඉන්දියාව හා ඇමරිකාව තරඟකාරීව රටේ අවශ්‍යතාවය මත රටට ඇතුලුවීමට ඇති හැකියාව.
⁃ චීනයේ බලපෑම එමගින් පිටුපසට ගමන් කිරීම හා නැවත චීනය තමන්ගේ අවධාරණය වැඩි කර ගැනීමට කටයුතු කිරීම
⁃ ඒ තුල රට තුල දේශපාලනික proxy අරගලයක් ඇතිවීම

මෙම බාහිර හා අභ්‍යන්තර බලපෑම්වල පැවැත්ම රඳා පවතින්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විසින් කොතෙක් දුරට ශ්‍රී ලාංකික සමාජය තුලට ඇතුල්වෙමින් පවතින ජිහාඩි පරම ඉස්ලාම්වාදය නිවැරදි ලෙස හඳුනා ගන්නේ ද එම පරමවාදය කොතෙක් දුරට මුස්ලිම් සමාජය තුලට කිඳා බැස ඇත්තේ ද සහ එකී පරමවාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය පොලඹවා ගන්නේ කෙසේද යන්න පදනම් කර ගනිමිනි. එය IS ත්‍රස්තවාදයට වැට බැඳීම හෝ ජාතික තව්හීත් ජමාත් කල්ලිය විනාශ කිරීමට එහා යන කටයුත්තකි. ජිහාඩි ආගමික දේශපාලනය යනු එකම දෙවියකු අදහන කැලිෆටයක් (සක්විති දේශාන්තරයක්) නිර්මාණය කිරීමයි.

සහජීවන ඉස්ලාම් ආගම අදහන ශ්‍රීලංකික ජනයා මුස්ලිම් මුළු ජනගහනයෙන් 95% ට වැඩි ප්‍රතිශතයකි. වහබ්වාදයෙන් හා ජිහාඩි අන්තවාදයෙන් මුස්ලිම් සමාජය ගලවා ගත යුත්තේ සහජීවන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් සමාජය විසින් මය. එහි දී රජයක් විසින් කළ යුත්තේ අතාර්කික ලෙස සිංහල හා දෙමළ සමාජය පුරා පැතිර යන මුස්ලිම් භීතිකාව (Muslim Fobia) කළමනාකරණය කිරීමයි. දෙවනුව සිංහල සමාජ සමග විශ්වාසයෙන් හා ලැජ්ජාවකින් (Ashame due to extremist attrocities) තොරව මුස්ලිම් ජනතාවට කටයුතු කිරීමේ පරිසරයක් නිර්මාණය කර දීමයි. තුන්වනුව මුස්ලිම්වරුන්ට අදාලව සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් හා සෝදිසි මෙහෙයුම්වලදී මානව හිමිකම් පිළිබඳ නීතිය අකුරට පිළිපදින ලෙස ආරක්ෂක හමුදා සහ පොලිසියට නියෝග කිරීමයි. ත්‍රස්ත ඉලක්ක හඳුනාගෙන පහර දීම මිලිටරි කාර්යයකි. මේ සියල්ල එකවර එක විට සිදුවිය යුතුය.

එසේ මුස්ලිම් සමාජය කෙරෙහි මෘදු ස්ථාවරයක් අනුගමනය කිරීමට සමාන්තරවම රාජ්‍යයේ ආරක්ෂක ඇස නිසි පරිදි ජිහාඩි අන්තවාදය රට තුලට කාවද්දන මූලාශ්‍රවලට එරෙහිව ද කටයුතු කළ යුතුව තිබේ.

ලංකාව තුල මේ වන විට පහත සඳහන් කණ්ඩායම් තුලින් ජිහාඩි ආභාෂය මුස්ලිම් සමාජයට ගෙන එනු ලබන බවට අනුමාන කළ හැකිව තිබේ.
⁃ මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) ආභාෂය ලබන ලංකාවේ මැඩ්රාසා පාසල්වල ආගම උගන්වන ඊජිප්තු හා යේමන පූජකයන්,
⁃ සෞදි අරාබියේ වහබි දර්ශනය මෙරටට ගෙන එනු ලබන සියලුම මාර්ග: ආගමික, සංස්කෟතික හා මුල්‍යමය මුලාශ්‍ර,
⁃ දකුනු ආසියාව තුල ක්‍රියාත්මක නමුත් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ තුල නැංගුරම් ලා සිටින කාෂ්මිර මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් වන ලක්ෂාබ් ඉ තයිබා වැනි කන්ඩායම්වල බලපෑම,
⁃ ලංකාව තුල ක්‍රියාත්මක ISIS කණ්ඩායම්
-. ලංකාව තුල ක්‍රියාත්මක සියලු තව්හීඩ් ජමාත්වාදය ( oneness of the god) අදහන කණ්ඩායම් (මොවුන් වහබිවාදයේ පෙර ගමන්කරුවන් වෙති)
⁃ දකුනු ඉන්දියාවේ තමිල්නාඩුව, කේරලය, හා අනෙක් ප්‍රදේශ තුල ස්ථාපිත වී පැතිර යන පරම ඉස්ලාම්වාදී ප්‍රවණතාවයන්ගේ බලපෑම

ජිහාඩ් අන්තවාදයට මුහුණ දීම පිළිබඳව ලෝක අත්දැකීම් ගත් කල එය රටින් රටට කලාපයෙන් කලාපයට වෙනස් වන්නේය. බටහිරට වඩා වෙනස්ව ඉන්දුනීසියාව ඊට මුහුණ දී කළමනාකරණය කරමින් සිටී. බටහිර දී ජිහාඩ්වාදයට ඓතිහාසික තර්කයක් සහ වෙනස්කම්වලට භාජනය කිරීම පිළිබඳ වූ දුක්ගැනවිල්ලක් තිබේ. ඉන්දුනීසියාවේදී මේ එකදු හෝ තර්කයක් නැති වුවද එය එකම ආගමේ ගුරුකුල දෙකක ප්‍රශ්නයකි. නමුත් ජිහාඩි තර්කයට ශ්‍රී ලංකාවේ දී පවතිනු ඇත්තේ කෆීර්වරු (මිත්‍යාදෘෂ්ඨිකයන්) යටත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණකි.

ලංකාව තුල මුස්ලිම් ජනගහනය මිලියන 1.9 වුවද දකුනු ආසියාව තුල ඉස්ලාම් ධ ර්මය අදහන ජනගහනය මිලියන 600. මෙම ඉස්ලාම කලාපය ලෝකයේ මුස්ලිම්වරුන් වැඩිම සංඛ්‍යාවක් සිටින කලාපයයි. නමුත් මෙම කලාපයේ ජනතාව අනාධිමත් කාලයක් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වීමට යෙදුනේ ඔවුන් ප්‍රගුණ කළ සහජීවනවාදී ඉස්ලාම් ධර්මය හේතු කොට ගෙනය. නමුත් දැන් එකී සහජීවන ඉස්ලාම්වාදය මැදපෙරදිග හරහා එන පරමවාදී ඉස්ලාම්වාදය හරහා විස්තාපනය කරමින් සිටී. සියලුම ජිහාඩි ත්‍රස්තවාදීන් ගොඩනැගෙන්නේ මෙම පරමවාදය තුලය. ශ්‍රී ලංකාව තුල බෝම්බ පුපුරා ගියේ එම පරමවාදයේ දේශීය හා ජාත්‍යන්තර අංකුරවල ප්‍රතිපලයක් ලෙසටය. අද දවසේ රට තුල ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය විනාශ කරන්නට සමත් වුවද පැතිරෙන පරම ඉස්ලාම් ධර්මය මගින් තවත් එවැනිම අංකුරයක් ලියලනු ඇත.

අප රටට මෙම සටන සාර්තකව ජයග්‍රහණය කරගැනීමට නම් සහජීවන ඉස්ලාම් ධර්මය විශ්වාස කරනු ලබන පරමවාදය පිලිකෙව් කෙරෙන ශ්‍රී ලාකික මුස්ලිම් ජන සමාජයක මුලෝපායික සහයෝගයත්, ඉන්දියාවේ සහ ඇමරිකාවේ සහයෝගයත් අත්‍යවශ වන්නේය. නමුත් පටු සිංහල ජාතික වාදය හා/ හෝ අතාර්කික දේශීයවාදය මගින් මෙකී සාධක තුන කළමනාකරණය කර ගැනීමට ලබාදෙන ඉඩ ප්‍රමාණය මත ජිහාඩ්වාදය රට තුල පැලපදියම් වීම රඳා පවතිනු ඇත. අනෙක් අතට ඇමරිකානු හා ඉන්දියානු මැදිහත් වීම් ජිහාඩ්වරුන් මුස්ලිම් සමාජය තුල වැරදි ලෙස සමාජගත කරන්නට ඇති ඉඩකඩ වැඩිය. අප පකිස්තානයෙන් උගත යුතු පාඩම එයයි.

ගොඩනැගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ අවදාරණය තුල ශ්‍රී ලංකාවට ඉන්දියාව, චීනයට වඩා අවශ්‍ය වන්නේ ජිහාඩි අන්තවාදයට වැට බැඳීමටය. ඇමරිකාව අවශ්‍ය වන්නේ ජිහාඩි ජාත්‍යන්තර ජාලය සමග රටේ ජිහාඩින්ගේ ක්‍රියාකාරකම් විපරම් කිරීමට හා වැට බැඳීමටය. නමුත් මෙවැනි සබඳතාවයක් යතාර්තයක් වීම හෝ නොවීම රඳා පවත්නේ අපගේ දේශපාලන පක්ෂ විසින් ගොඩනඟනු ලබන ඉන්දියානු හා අමරිකානු මැදිහත් වීමට එරෙහිව ගොඩනගන සමාජ විරෝධතාවයේ ප්‍රමානය මතය.

ඇමරිකානු විරෝධය බොහෝ කොට ඓතිහාසික අරගලයේ කොටසක් බව රටට හඟවමින් එනමුත් එය සැබැ ලෙසම එම සටන් පාඨය චීන භු දේශපාලනික අරමුනු සැතපීමට සඳහා රටේ දේශපාලන පක්ෂ භාවිතා කිරීමට ඇති ඇති හැකියාව මතද අමරිකානු මැදිහත්වීමේ තරම රඳා පවතිනු ඇත.

අවසාන වශයෙන් ජිහාඩි පරමවාදයෙන් සිදුවන ආක්‍රමණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපගේ දේශපාලන පක්ෂ හා සමාජයේ මුහුකුරා යාම මත හා එමගින් අත්පත් කර ගන්නා මුලෝපායික දෘෂ්ඨියක් මත වන්නේය. එහි ලා අපට සිහිපත් කරන්නේ Troy නමැති බටහිර චිත්‍රපටියයි. එමගින් ට්‍රෝජන් අශ්වයා කපටිකමින් නුවරට ඇතුල් කොට ග්‍රීසියේ තිබූ ශක්තිමත්ම ඇතන්ස් නුවර කඩාවැටීමට ලක්වු ආකාරය නිරූපණය කොට පෙන්වයි. එමගින් අවධාරණය කරන්නේ විපතක් පුරෝකථනය නොකිරීම හා ඒ සඳහා දැක්මක් නොමැති වීමේ පාඩමයි. දිනෙක එම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව මා කෙරෙහි ඇතිවු කාංසාව මේ වන විට මාගේ රට කෙරෙහි ද ඇති වෙමින් පවතී. එම නිසා අද දවසේ අපගේ අභියෝගය වන්නේ එවැනි දැක්මක් සඳහා සමාජයද දේශපාලනයද අවතීර්ණ කර ගැනීමයි.

- පසුගිය දා නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue  සමුළුවේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක මහතා විසින් සිදුකරන ලද කරුණු දැක්වීමේ සංක්ෂිප්ත සිංහල අනුවාදයයි.