දෙකොන පත්තු වී ඇති රටක වර්ගවාදීන්ගේ නාඩගම් - නිලන්ත මානවසිංහ

දෙකොන පත්තු වී ඇති රටක වර්ගවාදීන්ගේ නාඩගම් - නිලන්ත මානවසිංහ

14 May 2019 08:05 am

ඒ අසමජ්ජාති අතීතය නැවත සිදුවෙමින් තිබේ. ඕනෑම ඛේදවාචකයකට මුහුණ දීමෙන් පසු ඊට ගොදුරු වූ ජනතාව සහ ඒ ගැන අත්විඳුණු සමාජය තුළ හටගන්නා හැඟීම් වලින් ප්‍රයෝජනය ගෙන තමන්ගේ අරමුණු දිනා ගැනීමට කල්ලි බිහිවීම ඉතාම සුලභ කාරණයකි. එය ඉතිහාසය පුරාම සිදු වූ සිදුවීමකි. සුනාමිය සිදු වූ දිනයේ දියේ ගිලෙමින් සිටි එක්තරා කාන්තාවකට ජීවිතය දීම වෙනුවට ඇගේ ගෙලේ තිබු රන් මාලය කඩා ගැනීමට තරම් රුදුරු වූ මිනිසුන් සිටින ජාතියක් ලෙස අපි ප්‍රකටය.

මෙම ගතිය කුමන අන්දමේ වැඩපිළිවෙළකින් මකා දැමීමට හැකි වන්නේද යන්න තවමත් විසඳා ගැනීමට අර අදින ප්‍රහේළිකාවකි. ජාතියක් ලෙස අපි ඉතාම පව් ජාතියකි. රැවටිලි වලට හසු වී, කේලාම් මත පමණක් පදනම් වෙමින් රාජ්‍යය ප්‍රතිපත්ති තීන්දු ගන්නා නායක කාරකාදීන්ගෙන් මර්ධනය වන දූපතක් ලෙස මේ රට හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.

එල්ල වූ රුදුරු ත්‍රස්ත ප්‍රහාරය ප්‍රයෝජනයට ගනිමින් අවලංසහගත වර්ගවාදී ඕලමොට්ටලයන් යළිත් රටේ නීතිය අතට-ගෙන සෙල්ලම් කරන සැටියෙකි. එකෙක් මහසෝන් බලකාය යැයි කියන්නේය. තවකෙක් සිංහලේ යැයි කියන්නේය. තවත් එකෙක් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් රටේ විශාල ප්‍රසිද්ධියක් ලබා ගෙන එම ප්‍රසිද්ධියෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට අර අදින්නෙකි. මොවුහු සෑම දෙනාම ජාත්‍යාලයෙන් පෙළෙන්නෝ යැයි ඔවුහුම කියති. නමුත් සැබෑ ඇත්ත හමුවේ, මොවුහු සියල්ලම නිවැරදි අධ්‍යාපනයක් නැති, අයාලයේ ගොස් මුසාවක් සමග ජීවත් වෙමින් ජාතියම දන්ගෙඩියට යැවීමට කළ හැකි ඕනෑම අමනකමක් කරන රංචුවකි. මෙවැනි රංචු කලින් කලට බිහි වෙති.

ජාතියකට ඇති ආලය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තිබේ. නමුත් මොවුන්ගේ ක්‍රමවේදය ඉතාම වෙනස්ය. ජාතියකට කළ හැකි හොඳම ආලය නිවැරදි අධ්‍යාපනයක් ලැබීම සහ තමන් වටේ සිටින දහ දෙනෙකුටවත් එම මාර්ගය කියා දීමය. ඉන්පසු ජාතිය ඉදිරියේ ඇති ගැටලු හඳුනා ගැනීම සහ ඒ වෙනුවන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකස් කිරීමය. ඒ හැරෙන්නට, ඉබාගාතේ ඇවිද ගොස් කොහේ හෝ තැනක ලැගගෙන සිටින වර්ගවාදී මුර්ගයා සමග යහන් ගතවීම නොවේ. මෙම මංමුලාව නිශ්චිත වශයෙන්ම ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන මානසිකත්වයක් නිර්මාණය කරන අතර එමඟින් රටට සිදුවන්නේ විනාශයක් පමණි. ඔවුහු මේ නිමග්න වී ඇති සෙල්ලමේ භයානකකම තවත් වසර ගණනාවකින් පසු මෙම දූපත මත පත්තු වනු ඇත. මේ ජාතියට පව් නොදී මෙම වර්ගවාදීන් සුළුතරය මර්ධනය කළ යුතුව තිබේ.

වැදගත් වන්නේ මහජාතිය යැයි කියා ගන්නා ජාතියේ අමනකම ලෝකයා ඉදිරියේ පෙන්වීම නොව, මොළය ඇති ජාතියක් ලෙස කටයුතු කිරීමය.

දැන් මොවුන් කතා කරන මුස්ලිම් අන්තවාදය ගැන සලකාබලමු. මොවුන්ට අනුව සෑම මුස්ලිම් වාර්ගිකයෙක්ම ත්‍රස්තවාදයට ඍජුව හෝ වක්‍රව අනුබල දෙන්නෙකි. එක්කෝ අනියමින් හෝ ඊට අනුබල දෙන්නෙකි. එය මොවුන්ගේ දැක්ම වේ.

මේ හා සමාන දැක්මක්, එකල ජීවත් වූ වර්ගවාදීන්ට තිබුණි. ඔවුහු 1983 දී ඇති වූ වර්ගවාදී කෝලාහලයට සම්බන්ධ වූහ. සෑම දෙමළ වාර්ගිකයෙකුම කොටියෙකු ලෙස දුටුවෝය. ඔවුහුට අඩම්තේට්ටම් කළෝය. නිරුවත් කොට පහර දුන්නෝය. ඇතැමුන් පණපිටින් පුච්චා දැම්මෝය. ඉන් පසු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සමස්ථ රටම මහත් අපවාදයට ලක් කරනු ලැබුවෝය.

ප්‍රතිඵලය ලෙස, ශක්තිමත් දෙමළ ඩයස්පෝරාවක් බිහි වුණේය. ලැබුණු, ජාත්‍යන්තර අනුකම්පාවෙන් ඉතාම හොඳින් ප්‍රයෝජනය ගත් ත්‍රස්තවාදීන් එය තම ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා භාවිතා කළෝය. දොරේඅප්පා මරා දැමීම සඳහා වෙඩි බෙහෙත් කොටනු ලැබූ ගල්කටස් භාවිතා කරනු ලැබූ ඔවුහුට වර්ගවාදීන්ගේ අපහරහණය හේතුවෙන් එවකට තිබු නවතම තාකෂණය ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. තම අවශ්‍යතාවයට සරිලන ද්‍රවය ලබා ගැනීම සඳහා නැව්, එසේම සතුරාට පහර දීම සඳහා ගුවන් යානා නාශක මිසයිල වල සිට සෑම දෙයක්ම තොග පිටින් ලැබුණි.

තමන් විසින් සිදුකළ අලුගුත්තේරු අකටයුතුකම්වල අස්වැන්න ජාතිය හමුවේ පතිත වන විට ගිනි අවුලවනු ලැබූ වර්ගවාදීන් සුදනන් වීමට යන්ත දැරුවෝය. ගැටුම් උග්‍ර විය. ත්‍රස්තවාදය නැති කිරීමට පෙරදා තලා පෙලා දමනු ලැබූ දෙමලුන්ගේ සහය නොමැතිව කළ නොහැකි බව තේරුම් ගත්තෝය. 2009දී අවසන් වූ ගැටුම් නිමා කිරීම ගැන විවිධ අයවලුන් ලකුණු දා ගැනීමට උත්සහ කළද, සිදු වූයේ දෙමළ ජනතාව තම වර්ගයේ ගෞරවය නැසීමට පහල වූ ත්‍රස්තවාදී කල්ලි නැසීමට සිංහලයන් සමග අත්වැල් බැඳ ගැනීමය. එය දිගු කාලීන ක්‍රියාවලියක් විය.

මෙම අමිහිරි මතකය, මේ දිනවල අසරණ මුස්ලිම් ජනතවාට එරෙහිව අවි අමෝරාගෙන උඩ පනින හෙළුවැලි කොල්ලන් නොදන්නවා විය හැකිය. ඔවුහුට ගුරුහරුකම් දෙන පිරිසද එය මොවුහුට උගන්වා නැතුවා විය හැකිය. මන්ද, මෙම වර්ගවාදීන්, අන්ද උන්මන්තකයින් කිරීමෙන් තම තමන්ගේ දේශපාලන සහ මූල්‍යමය වාසි ලබාගත හැකි බව ඔවුහු දනිති. ඒ නිසා වර්ගවාදයෙන් මෝහයට පත් වූවන් සත්‍යයෙන් ඈත්කොට තැබීම ඔවුහු මෙහෙවන්නගේ මූලික අරමුණ වේ. ඉතිහාසය පුරාම සිදුවූයේ මෙයයි.

නමුත් අවසානයේ අපට හෝ අපෙන් පසු මේ මහා පොලවේවිසීමට පව් කොට ඇති පරම්පාරවට මුහුණ දිය යුතු සත්‍යය තත්වයක් තිබේ. එනම්, දෙමළ වාර්ගික මුහුණුවරක් ගත් ත්‍රස්තවාදය පරාජය කිරීමට දෙමළ ජනතාව සිංහලයින් සමග සිටගත් ආකාරයෙන්ම, මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයය යන්නය. මෙය මේ මොහොතේ තේරුම් ගැනීම මහුණ දීමට සිදුවියහැකි ඉතාම බිය ජනක ඛේදවාචක රාශියකින් රට මුදා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

අපට ඇති ගැටලුව මුස්ලිම් අන්තවාදීන් සමගද? එසේ නොවේ නම්, ඉතාම කැපකිරීමෙන් ජීවිතය ගැට ගසා ගෙන දියුණු වී සිටින අහිංසක මුස්ලිම් ජනතවාගේ ආර්ථික ශක්තියට එරෙහිවද? යන්න තේරුම් ගත යුතුව ඇත. මීට තම තමන් අවංකව පිළිතුරු ලබා දිය යුතුව ඇත.

සිංහලයින්ගේ අමනකම්, කුහකකම් සහ අසමගිකම් වලින් වෙනත් වාර්ගිකයින් ප්‍රයෝජනය ගැනීම එම වාර්ගිකයින්ගේ ගැටලුවක් නොව සිංහලයින්ගේ ගැටලුවකි. විසඳා ගත යුත්තේ එයය. ඒ වෙනුවට දහදිය මහන්සියෙන් කීයක් හෝ හම්බ කරගෙන කන අහිංසක මුස්ලිම් මිනිසුන්ගේ බත් පතට ගැසීම අඥාන කටයුත්තකි. සැබවින්ම ඉස්ලාම් අන්තවාදීන් මෙන්ම ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ එයයි. සිංහල වර්ගවදීන් විසින් මුස්ලිම් ජනතාව තලාපෙලා දමන තරමට ඔවුහුට තම අන්තවාදය පැතිරවීම ඉතාම පහසුය.

මෙම වර්ගවාදීන්ට එතරම්ම සෙනෙහසක් ජාතිය සහ ආගම කෙරෙහි ඇත්තේ නම්, ඔවුහු ගෞතම බුදුන්ගේ දේශණා වලින් ඉගෙන ගත යුතු මූලික කාරණයක් තිබේ. එනම්, “සැබෑ ගැටලුව වන්නේ ගැටලුව නොවේ, අප ඊට ප්‍රතිචාර දක්වන විලාසයයි,” යැයි ගෞතම බුදුන් දේශනා කළෝය.

දෙකොන පත්තු වී ඇති රටක මෙම වර්ගවාදීන් කරන නාඩගම් නවතා දැමීම සඳහා සමස්ථ රාජ්‍යය යාන්ත්‍රනය නිවැරදිව මෙහෙවිය යුතුව ඇත. එවැනි මහඟු මෙහෙවරක්, යළිත් ජනාධිපතිවීමට සිහින දකිමින්, වගේ වගක් නොමැතිව රටට හෙණ වැදුණද වැදි-බණ දෙසමින් වීනා වයන නීරෝ පන්නයේ මිනිස් විෂයයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය.