මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් - සරත් ද අල්විස්

මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් - සරත් ද අල්විස්

16 May 2019 05:16 am

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය:

“අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුන්?”

ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂා ප්‍රවර්ධනය සඳහා එළිපිට කැසකවන එක් රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින්, තමාගේ ‘නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ සංකල්පය ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කර දුන්නේය. ඉන්දීය සාගරයේ මුහුදු කොල්ලකරුවන් මැඩලන ක්ෂේත්‍රය තුළ ලංකාවේ ආණ්ඩුව කරමින් සිටි ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාන්විතයක්, ලංකා ආණ්ඩුවට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කරමින් ‘ඇවන්ගාඞ්’ නැමැති පෞද්ගලික සමාගමට පැවරීම සම්බන්ධයෙන් තමා ඇතුළු හිටපු සන්නද්ධ සේවා ප්‍රධානීන් කිහිප දෙනෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට කැඳවීම ගැන ගෝඨාභය රාජපක්ෂ එහිදී මැසිවිලි නැගුවේය.

යුද්ධය දිනා ගැනීමටත්, අනතුරුව සාමය සහතික කරලීමටත් සමත් පරිපූර්ණ ජාතික බුද්ධි සේවා යාන්ත්‍රණයක් තමා ගොඩනගා තිබුණේ යැයි උදම් අනන මේ පුද්ගලයාගේ මනස තේරුම් ගැනීමට මෙකී සංවාදය අනර්ඝ මූලාශ්‍රයකි. ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට තමා කැමැත්තේ මන්දැයි ඔහු කරන විස්තරයට කවුරුත් සවන්දිය යුතුව තිබේ. “මිනිස්සු දන්නවා වැඩක් දුන්නොත් මං ඒක කරන බව. ඒක නිසා මිනිස්සුන්ට මාව ඕනේ.” යැයි එහිදී ඔහු විස්තර කරයි. තමාගේ ‘ලෝක දෘෂ්ටිය’ ගැන, ‘නීතිය ඉදිරියේ සමානත්වය’ සහ ‘මූලික මිනිස් අයිතීන්’ පිළිබඳ තමාගේ ආකල්ප ගැන ඔහු එහිදී පැහැදිලි කර දෙයි.

එයින් නැගෙන සංඥා ඉතා සියුම් ය. එසේම ප්‍රබල ය. එවැනි කතා කොහොමත් පටන් ගන්නේ එලෙස ය. ජනතාව තුළ පොදුවේ තිබිය හැකි යම් සාංකාවක් සහ සම්ප්‍රදායික දේශපාලනයේ අසාර්ථකත්වයක් තමාගේ පාවිච්චියට ගැනීමට බලන, ස්වයං-සම්මෝහයට පත් අයස්කාන්ත නායකයෙකුගේ වේශයක් අප ඉදිරියේ විරාජමාන වෙයි. එය, අභූත-රූපී නාටකීයත්වයෙහි නිපුණ, අධිකාරීවාදී ජාතිකත්වයේ මගපෙන්වීම මත ජාතික ස්වයං-පරිපූර්ණත්වය රටට උදාකර දීමට ප්‍රතිඥා දෙන නායකයෙකුගේ වේශයකි.

උද්වේගකර ජාතික සාංකාවක ජාතියම ගිලී සිටින මෙවන් මොහොතක ගෝඨාභය රාජපක්ෂ ගැන අප කුමට කතා කරම්දැ යි ඔබ ඇසිය හැකිය. අපට එසේ කිරීමට සිදුව ඇත්තේ, ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් සේවය කිරීමට ඔහු ඉදිරිපත්ව සිටින නිසා ය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේදී පැහැදිලිව දකින්ට ලැබුණු බුද්ධි සේවයේ අසාර්ථකත්වය, රාජ්‍ය පාලනයේ බරපතල අර්බුදයක් බව අමුතුවෙන් නොකිවමනා ය. එහෙත් ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් ඇතුළු ගෝඨාභය හිතවාදීහූ එය, මිනිසුන් පැහැරගෙන යාම්, මිනීමැරුම් සහ කප්පම් ආදි අපරාධවලට දායක වී සිටි බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීම පිළිබඳ තමන්ගේ නෝක්කාඩුවකට එය ලඝු කිරීමට උත්සුක වෙති.

අප ගෝඨාභයව තාර්කික විවාදයකට කොටු කර ගත යුතුව තිබේ. ඒ සඳහා මුලින්ම ඔහුව තේරුම් ගැනීම වැදගත් ය. ඔහුම අපට ඔහුව හඳුන්වා දීම, අපේ ඒ කාරිය පහසු කරවයි. තමන් සහ විශ්‍රාමික සන්නද්ධ සේවා ප්‍රධානීන් කිහිප දෙනා මහේස්ත්‍රාත්වරයා ඉදිරියට කැඳවූ නඩුකරය තුළ ඇති නීතික හෝ අනීතික භාවයක් ගැන මේ සාකච්ඡාවේදී ඔහු කිසි ලෙසකින් ප්‍රශ්න නොකිරීම එහිදී කැපී පෙනේ. ඔහු පුන පුනා තදින්ම විරෝධය පාන එකම කාරණය වන්නේ, තමන්ව උසාවියක් ඉදිරියට කැඳවීම ය. ඔහුගේ ඒ රූපවාහිනී සාකච්ඡාවට ඔබ කන්දුන්නොත්, නිගමන දෙකකින් එකකට ඔබට පැමිණිය හැකිය. එක්කෝ, නීතියේ ආධිපත්‍යය තුළ ගෝඨාභයට ව්‍යතිරේකයක් (නිදහසක්) ඇති බව ඔබ පිළිගත යුතුය. එසේ නැතහොත්, මොහු නොම්මර එකේ පිස්සෙකු බව පිළිගත යුතුය.

කීත් නොයාර් පැහැරගෙන ගොස් තලාපෙලා නිදහස් කිරීම ගැන ගෝඨාභය කියන කතාවට කරුණාකර සවන්දෙන්න. කීත් නොයාර් පැහැරගෙන ගිය සැණින් ඒ ගැන ගෝඨාභයට දැනුම් දෙනු ලැබුණි. ඉන් පසු කීත් නොයාර්ව නිදහස් කෙරුණි. දැන් ගෝඨාභය අපෙන් අසන්නේ, කීත් නොයාර් පැහැරගෙන යාම ගැන තමාට චෝදනා කරන්නේ මන්ද කියා ය. එය ඔහුගේ බලවත් විමතියට කාරණයක් ලු. සංගෙකට නැති ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් මේ වන විට විනාශ කොට ඇතැයි කියන බුද්ධි සේවය කෙරෙහි එදා පූර්ණ අධිකාරය පවත්වාගෙන සිටියේ යැයි කියන පුද්ගලයා ය, එසේ විමතියට පත්වන්නේ.

මේ රචනාවේ විෂය වන්නේ පුද්ගලයා නොව, සංකල්පය සහ මතවාදයයි. එනම්, ‘ජාතික අදි-සෝදිසි රාජ්‍යයක්’ පිළිබඳ සංකල්පය සහ මතවාදය ගැන ය. ජාතික අධි-සෝදිසි රාජ්‍යයක් යනු රටක් පාලනය කරන එක්තරා ක්‍රමයකි. එය, හදිසි තත්වයක් නිසාවත්, යුද්ධ තත්වයක් නිසාවත් ඇති වන තත්වයක් නොවේ. එය, පාලන පුරුද්දකි. පාලන ඇබ්බැහියකි. ජනතාවට වග නොකියන බල කේන්ද්‍රයක් යටතේ පමණක් පැවතිය හැකි පාලන පුරුද්දකි. රාජ්‍ය පාලනය පිළිබඳ ගෝඨාභයගේ සංකල්පය එයයි.

මේ මිනිසා පිළිබඳ කෙටි හැඳිනීමක් ඇති කර ගමු. ගෝඨාභය රාජපක්ෂ යනු ප්‍රතිපත්ති ගරුක මිනිසෙකි. ඒ ප්‍රතිපත්ති, ඔහුගේ ප්‍රතිපත්ති ය. ඔහු නිර්මාංශභක්ෂී ය. ඔහුට තනි එල්ලයක සහ එක ආරම්මණයක පිහිටා සිටිය හැක්කේය. ඔහු භක්තිවන්ත සැමියෙකි. පියෙකි. ඇමරිකාවේ නිත්‍ය පදිංචියට යන බිරිඳගේ ඇවිටිල්ලට ඔහු අවනත වෙයි. ලංකාවේ හමුදා සේවයත් ඉවත ලා, සමෘද්ධිය සහ ආඪ්‍යත්වයෙන් අනූන කැලිෆෝනියාවේ නව දිවියක් ඔහු ගොඩනගා ගනී.

අයියා ජනාධිපති වූ විට, ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය ජන්ම භූමියට සේවය කිරීමට පැමිණෙයි. මහින්දගේ හැඩිදැඩි ගතිය ඇත්තේ වී නමුත්, රාජ්‍යකරණ ශිල්පය කෙරෙහි ඔහුට ඇත්තේ, ග්‍රාම්‍ය කෛරාටිකත්වය සහ සුන්දර කුසීත කම මිශ්‍ර අපූරු ගතියකි. ඊට වෙනස්, නිශ්චිත ඉලක්කයක සිතැති බාලයා, අධිකතර බලයක් අභ්‍යාස කළ, පෙරකලාසිකාර විධායකය විය. මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලන දශකය තුළ ‘ගෝඨාභය සංකල්පය’, ඒ තතු යටතේ, යම් සාරයක් සහ ස්වාධීන හඬක් ඇති ප්‍රපංචයක් සේ ගොඩනැගෙයි. එසේ වෙතත්, මාතෘ භූමියට යළි පැමිණෙන මේ සංක්‍රමණික සොල්දාදුවා, තමා හදා ගත් වාසභූමියට ඇති අයිතිය අත්නොහරී. ඒ, මේ වසරේ අප්‍රේල් දක්වා ය. හමුදාවෙන් විශ්‍රාම ගත් සොල්දාදුවා කැලිෆෝනියා ගියේ ගුවන් යානයේ තුන්වැනි කැලෑසියේ ය. ඒ දේශප්‍රේමියා ලංකාව සහ කැලිෆෝනියා අතර අද යාම්ඊම් කරන්නේ, පළමු කැලෑසියේ හෝ ව්‍යාපාරික කැලෑසියේ ය. ඒ විශිෂ්ට ‘වියත් මග’ ගමන්පථය, සුපර්සොනික් මිග් යානාවක් උඩ ගියා වගේ ය.

පාස්කු ඉරිදා වනචාරීත්වයේ පටන් අප සිටින්නේ, අතිශය වේදනාබර සත්‍යයන් නිරතුරුව නිරාවරණය කෙරෙන, දැවෙන අවුලක ය. ත්‍රස්තවාදය ගැන, ඒ ත්‍රස්තවාදය මැඩලීම, වැළැක්වීම සහ මුලිනුපුටා දැමීම ගැන නිරතුරුව සැපයෙන තොරතුරු ජාලයක අපි පැටලී සිටිමු. අපේ පොදු කතිකාව තුළ ඒ විෂය තව තවත් ඉදිරියේදී තීව්‍ර වනු ඇත. ත්‍රස්තවාදය යන ප්‍රපංචය, අතිගාමී උද්වේගකර කාරණයක් වශයෙන් තව බොහෝ කලක් අපේ ජන විඥානයේ පවතිනු ඇත.

ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයෙකු වන රොබට් බ්ලේක් පසුගිය දා කියා ඇති පරිදි, ගෝඨාභයගේ අධීක්ෂණය යටතේ ජාතික බුද්ධි මෙහෙයුම් ජාලයක් තිබී ඇත. එහි විවිධ ශාඛා මගින් එකතු කර ගත් බුද්ධි තොරතුරු ඉහළම මට්ටම් දක්වා බෙදා ගැනීම හරහා මෙවැනි ප්‍රහාරයන් ඇති නොවන බවට වගබලාගෙන තිබේ. රොබට් බ්ලේක්ගේ තක්සේරුව නිවැරදි ය. එසේම, ජාතික ආරක්ෂාව පිළිබඳව වර්තමානයේ ඇති වී තිබෙන සංවාදයටත් ඔබින්නේය. එහෙත් එහි විශාල කොස්සක් තිබේ.

‘ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝඨාභය සංකල්පය’ තුළ, රාජ්‍ය ආරක්ෂාව සහ අධිපති-තන්ත්‍ර ආරක්ෂාව අතර කිසි වෙනසක් සනිටුහන් නොකෙරේ. ඔහු කෙළේ, වරිගයා කේන්ද්‍ර කර ගත් අධිපති-තන්ත්‍ර ආරක්ෂාවක්, ජාතික රාජ්‍යයේ නිල ආරක්ෂාව සමග යා කර ගැනීමයි. එවැන්නක් නැවත මේ රටේ සිදු විය යුතු නැත.

පාස්කු ඉරිදා මහා මිනිස් ඝාතනයෙන් පසු වැදගත් වර්ධනයන් දෙකක් පෙන්නුම් කෙරුණි. එකක් වන්නේ, තමා ජනාධිපති තරගයට ඉදිරිපත් වන බවත්, ඉස්ලාම් ත්‍රස්තවාදය අතුගා දමන බවත් ගෝඨාභය ප්‍රකාශයට පත්කිරීමයි. දෙවැන්න වන්නේ, පාස්කු ඉරිදා ජන ඝාතනය, ‘භීතිකාවක් අලුතෙන් ඇති කළ සිද්ධියක් නොව, පරණ භීතිකාවක් ඇවිල වූ සිද්ධියක්’ බවට රටේ සබුද්ධික සමාජය නිවැරදිව නිගමනය කිරීමයි.

මේ කාරණා දෙක පිළිබඳවම අප සැලකිලිමත් විය යුතුව තිබේ. පළමුවැන්න, දීර්ඝ කාලීන ව්‍යසනයක අනතුර දක්වන අතර, දෙවැන්න මගින් කියාපාන්නේ අප නිරවුල්ව කාරණා තේරුම් ගනිමින්, සිහිබුද්ධියේ මාවත වෙත වැටී ඇති කටුක ගමනක් යා යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ කරන්නේ පැරණි භීතිකා ඇවිලවීමයි. අමුවෙන්ම කිවහොත්, ත්‍රස්තවාදයේ මේ නව මාදිලිය ගැන ගෝඨාභය දන්න මළදානයක් නැත. ඔහුට යම් විශේෂඥතාවක් ඇතොත්, ඒ, පොළොවෙන් කෑල්ලකට අයිතිය කියාපාන ත්‍රස්තවාදීන් ගැන පමණි. පොළොවේ නොව, පොළොවට ඉහළ අහසේ පාරාදීසයකට හිමිකම් කියන නව ත්‍රස්තවාදියෙකුගේ දෘෂ්ටිවාදය මැඩලීමේ ක්‍රමයක් ගැන අදහසක් ඔහුට නැත. අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් වෙළඳ අයිතිය පවරාගෙන ඇති මේ අලුත් භක්ති උන්මාදය, අමු ම්ලේච්ඡත්වයක් බව මේ වන විට විශ්ලේෂකයන් හඳුනාගෙන ඇත. හිතක් පපුවක් නැති මේ සංග්‍රාම විධි ක්‍රමය, ‘මධ්‍යස්ථ හෝ අහිංසක මිනිසුන්ට එරෙහිව සුළු පිරිසක් විසින් ලෝක අවධානය ඇද ගැනීම සඳහා දියත් කරන්නක් මිස භූමියක් ජය ගැනීම සඳහා දියත් කරන්නක් නොවේ.‘

දේශපාලනික ප්‍රචණ්ඩත්වය මැඩලීමට අපි සටන් කෙළෙමු. තමා විසින් තනියෙන්ම වාගේ පරාජය කෙළේ යැයි ගෝඨාභය කියන ඒ ත්‍රස්තවාදී මාදිලියේ ආසන්නතම අක්මුල් අවබෝධ කර ගැනීම ඔහුට අපහසුවට කාරණයක් විය හැකි වෙතත්, එය, ‘වඩුක්කොඩෙයි ප්‍රකාශනය’ හරහා, අවසාන විසඳුමක් පිළිබඳ ප්‍රතිඥාවක් දෙමළ තරුණයන්ට ලබා දීමට සම්ප්‍රදායික දෙමළ දේශපාලන නායකත්වය ගත් දඩිබිඩි තීරණයක ප්‍රතිවිපාකයක් වශයෙන් අපට හඳුනාගත හැකිය. ‘වඩුක්කොඩෙයි ප්‍රකාශයේ’ ව්‍යාජ ප්‍රතිඥාව, සිංහල ජාතිකවාදයේ නොනැමෙන සුළු ඒකීයවාදී ලෝක දැක්ම තුළින් චාලක ගැම්මක් අත්කර ගත්තේය.

පාස්කු ඉරිදා සංහාරයට වගකිව යුතු ත්‍රස්තවාදීන් සටන් විරාම ගිවිසුම් ගැන සිතන පිරිසක් නොවේ. එසේම, සම්ප්‍රදායික යුද්ධ ක්‍රමවලට ගොස් අත පුච්චා ගන්නා පිරිසක්ද නොවේ. අප මුහුණදෙන්නේ, වෙනම වර්ගයක ත්‍රස්තවාදයකටයි. මේ, හිස කරකවන අබුද්දස්ස දේශපාලනික වාතාවරණය තුළ, පොදු එකඟත්වයකට පැමිණිය හැකි නිගමන තුනක් මට පෙනේ.

වර්තමාන ජනාධිපතිට දෙවැනි ජනවරමක් මේ ආත්මයේ නම් නොලැබෙනු ඇත.

ජනාධිපති වීමට කෙළ හලාගෙන සිටින අගමැතිවරයා ඔළුව සිඳ ගත් කුකුළෙකු සේ අත්තටු ගසන්නේ, ජනතාව වන අප, කුකුල් බෙටි සහ කුකුල් මස් අතර වෙනස නොදන්නේය යන විශ්වාසයෙනි.

බොහෝ දුරට පාපසහායක මාධ්‍යයක උදව්වෙන්, ඇට්ටකුනා වූ භික්ෂු සමූහයක ආශීර්වාදයෙන්, වන්දිභට්ට නඩයක පණ්ඩිතමාණී යැයි පෙනෙන සරුවපිත්තල න්‍යායන් සමග කරළියට එන විපක්ෂ නායකයාට ළං විය හැකි, බලය වෙනුවෙන්ම බලය පස්සේ පන්නන වෙනත් නායකයෙකු පෙනෙන තෙක් මානයේ නැත.

ඉතිහාසය විකෘති කරන, රාජ්‍ය අනුග්‍රහයෙන් බොරුව වපුරන, මර්දනය සහ කෛරාටික මෑනවීම ආත්මය කර ගත් තත්වයක් හඳුන්වන ගර්හාත්මක විශේෂණය වන්නේ, ‘ඕර්වෙල්ලියානු’ යන්නයි. ජෝර්ජ් ඕර්වල් නැමැති නවකතාකරුවා සඳහන් කළ, ‘සුවිශාල බල ඒකක සමග තමන්ව අනන්‍ය කරගන්නා සහ තරගකාරී ගරුත්වයක අරුතින් සියල්ල දකින උන්මාදනීය නූතන පුරුද්ද’ දෙසට මේ මොහොතේ අපි චේතනාන්විතවම ලිස්සා යමින් සිටිමු.

අපේ මතකයෙන් ඉවත්ව යාම මේ ඕර්වල් කියන හාදයා තවමත් එක පයින් ප්‍රතික්ෂේප කර සිටින හැටි, හැබෑටම!

- 2019 මැයි 12 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Harvest of A Carnage: A Candidate නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි