මැයි ‘කලු ජූලිය’; වරද කාගෙද? - සුනන්ද දේශප්‍රිය

මැයි ‘කලු ජූලිය’; වරද කාගෙද? - සුනන්ද දේශප්‍රිය

16 May 2019 10:31 am

අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබි අන්තවාදයේ බලපෑමත් මුස්ලිම් තරුණ කණ්ඩායම් ප්‍රචන්ඩ මාවත් කරා තල්ලුවී යාමත් දේශපාලනිකව කල් ඇතිව දැකගත හැකිව තිබුණූ පරිද්දෙන්ම මේ ‘මැයි කලු ජූලිය’ ද මෝරා එන බව දේශපාලන අත දරුවකු නොවන ඕනෑම අයකුට පෙර දකින්නට හැකියාව තිබුණි.

පසුගිය 5 වනදා එනම් මීගමුව පොරුතොට සහ තවත් ස්ථාන කිහිපයක මුස්ලිම් ජනයාට එල්ල කරන ලද ප්‍රහාරයන්ට පසුදා මම පහත දැක්වෙන ට්විටර් පණිවිඩ දෙක සිංහල සහ ඉංග්‍රිසි බසින් මගේ ටිවිටර් ජාලයේ සිටින දහතුන් දහසක් තරම් පිරිසට යැවීමි. එම පණිවිඩයම පන්දහසක් පමණ සිටින මගේ මුහුණූ පොතෙහි ද ලිවීමි.

“රටේ දේශපාලන නායකත්වයේ දුෂ්ඨ කුළල් කා ගැනීම නතර කොට ජන වාර්ගික සාමය සඳහා සාමූහික සහ බලවත් ඉල්ලීමක් නොකරන්නේ නම් අප ඉන්නේ තවත් කළු ජූලිියක් අත ළඟය!”

“රටෙහි මුස්ලිම් ජනයාට එරෙහි දාමරික රංචු විසින් කරන ප්‍රහාරයන් නතර කිරීමට ආණ්ඩුව තීරණාත්මක ලෙස පියවර ගත යුතු ය. මීගමුවෙහි පොරුතොට සිදුවීම් වූයේ ක්ෂණිකව ය. සැනෙන් රංචු ගැසුණු දාමරිකයෝ කලබලය සියතට ගත්හ. දැන් සන්සුන් වන්නැයි දේශපාලන නායකයින් ප්‍රබල ඉල්ලීමක් කළ යුතු ය. එසේ නොවුවහොත් මෙවැනි සිදුවීම් ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි ය.”

නමුත් බීරි අලින්ට විනා නාදය තබා වෙඩි හඩවත් ඇසෙන්නේ නැත. අද මෛත්‍රීපාල සිරිසේන යනු අඥානකමින් අගතැන් පත් ජනාධිපතිවරයා නම් රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථකත්වයෙන් අගතැන්පත් අගමැතිවරයා ය. මේ දෙදෙනාම ඉතිහාසගත වනු ඇත්තේ සිය අදූරදර්ශී අමනෝඥ දේශපාලන එදිරිවාදුකම් මගින් මෙරට අගාධයට ඇද දැමූ දෙබාන ලෙස ය.

මීගමුව අවට සිදුවූ මුස්ලිම් විරෝධී කෝළාහලය නිසා නිවාස 67 ක්ද යතුරු පැදි 12 ක්ද ත්‍රිරෝද රථ 13 ක්ද විනාශ විය. පාඩුව අගණිත ය. ඊට හවුල් වූ දාමරිකයින් ලෙස 48දෙනෙක් හදුනා ගන්නා ලදි. නමුත් එම කලහකාරින් සම්බන්ධයෙන් කිසිදු නීතිමය හෝ සමාජමය හෝ පියවරක් ගත්තේ නැත.

එකි ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන ගණනාවක් එම රාත්‍රියෙහි ම මම දුටුවෙමිග. ඒවා ප්‍රසිද්ධ නොකරන ලද්දේ එමගින් මෙම ප්‍රචන්ඩත්වය පැතිර යෑමට තිබූ ඉඩ නිසා ය. මෙම විඩියෝ ආණ්ඩුවේ නායකයින් දුටුවේ දැයි නොදනිමි. නමුත් එම විඩියෝ මගින් පෙන්වූයේ මහත් අනතුරක සේයාවයි. එනම් ක්ෂණයකින් සිය ගණනාවක් ජනයා අතිශය ප්‍රචන්ඩ මුස්ලිම් විරෝධී දාමරික රංචුවක් බවට පත්වීමේ භයානක හැකියාව යි. ඉහත දක්වන ලද ට්විටර් පණිවිඩ මා ලියූවේ එම විඩියෝ නැරඹීමෙන් ඇති වූ කම්පනය නිසා ය.

මෑත කාලයෙහි මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තාවාදී දේශපාලනය මෙරට පතුරුවන ලද්දේ මෙරට විවිධාකර දේශපාලනඥයින් විසිනි. එම මතවාදයට සහාය නොදැක්වූ සිංහල ජනයා මත පදනම් වූ කවර හෝ දේශපාලන පක්ෂයක් නැති තරම් ය. ඒ් කොතරම් ද යත් වත්මන් මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයේ අදෘශමාන නියමුවා ලෙස සැලකිය හැකි ඥණසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ මහනාහිමිවරැන් පමණක් නොවේ. නැගෙනහිර මහ ඇමැති හිස්බුල්ලා පවා එලෙස ඉල්ලා සිටි අතර බස්නාහිර මහ ඇමැති අසාද් සාලි ඥණසාර බැහැ දැකීමට හිරගෙදරට ගියේ ය. එකල ගෝඨාභය රාජපක්ෂ ඥණසාර සමග කදේ වැටී සිටි අතර මෑත දී රාජපක්ෂවරු ද ඔහු බැහැ දැකීමට සිර ගෙදරට ගියෝ ය. එපමණක් නොව ප්‍රදේශ ගණනාවකදිම රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ප්‍රාදේශීය සභා නියෝජතයින් මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවන්ට හවුල් වූ බවට චෝදනා එල්ල වී තිබේ. නමගිය සිංහල අන්තවාදින් වන ඩෑන් ප්‍රියසාද්ල නාමල් කුමාරල අමිත් විරසිංහ යනු ඥණසාර ප්‍රචන්ඩත්වයේ සෙන්පතියන් බව අමතක නොකළ යුතුය.

සිංහල බෞද්ධ අන්තවාදය තමන්ට දේශපාලනිකව ප්‍රයෝජනයට ගත හැකි යැයි නොසිතන ප්‍රධාන පෙළේ සිංහල දේශපාලන පක්ෂයක් නැති තරම් ය. මෙම අවස්ථාවෙහි දී ජාතිවාදයට එරෙහිව සිය බලවේග පෙරට ගෙන එමින් නව දේශපාලන අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට තිබූ අවස්ථාව පැහැර හැරි ජනතා විමුක්ති පෙරමුණද එම උගුලෙහිම සිර වී සිටිනවා විය හැකි ය.

මැයි කලු ජූලිය ආණ්ඩුවේ පමණක් නොව යූඇන්පීයේ ද අසාර්ථකත්වයේ ළකුණකි. කුලියාපිටිය ගිනි තබත්දී වික්‍රමසිංහගේ ළඟම දේශපාලන ගජයකු වන අකිල විරාජ් කාරියවසම් සිටියේ කොහිද? මෙම ප්‍රහාරයන් වැළැක්වීමට සිය පාක්ෂාකයින් බලමුළු ගැන්විමට ඔහු කළ දෙයක් ඇත් ද? අකිල විරාජ් වනාහී වික්‍රමසිහගේ සංකේතාත්මක රූපකායකි. වැඩබලන ආරක්ෂක ඇමැති සහ වික්‍රමසිංහ ඥාති රැවන් විජේවර්ධන ඊට එහා ය. තමන් නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ගිනි ගන්නා විට ඔහු සිටියේ කොහි ද? ඉන් පසුව හෝ ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් හෝ කළේ ද නැත. යූඇන්පී නායකයත්වය එකාවන්ව ඉදිරියට පැමිණ, නැගී එමින් තිබූ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයන් නැවැත්වීමට පියවර ගත්තේ නම් එයට මෙම ඉතිහාසීය අවස්ථාව අල්ලා ගන්ට තිබුණි. ඒ වෙනුවට එය කල් බලන්නේ සිංහල අන්තවාදය තරහා කර ගන්නේ නැතිව ජාම බේරා ගන්නට ය.

සිරිසේන ගැන කතා කිරිමෙන් වැඩක් නැත. අප කවර වැඩිහිටියකු හෝ අපේ දරුවකු, මවක, පියකු හෝ සගයකු අනතුරුදායක රෝගී තත්ත්වයක සිටින්නේ නම් දුර බැහැරක යන්නේ නැත. රට ගිනි කන්දක් උඩ තිබිය දී ආසියානු සංස්කෘතිය ගැන සම්මේලනයකට සිරිසේන චීනයට ගියේ අවහල් කෙංගෙඩියකටදැයි දන්නා කෙනෙක් ඉන්නවාද? රනිල් වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන විසින් ඉදිරියට දැමූ වීරයකු වන නාමල් කුමාර වර්ගවාදී රංචු සමඟ එක්ව සිටියේ ය. අන්තිමේ දි ඔහු අත් අඩංඟුවට ගැනීමට පොලීසියට සිදු විය.

දැන් කුලියාපිටිය අවට මුස්ලිම් ජනයාට පහර දෙමින් ඔවුන් ත්‍රස්ත කළ වීඩියෝ දර්ශන අප හමුවෙහි තිබේ. කලහකාරින් වෙනුවෙන් පොලිසි ගිය බව කියවෙන සිරිසේනගේ පක්ෂ ලේකම් වන දයාසිරි ජයසේකර කියන්නේ හෙට්ටිපොල පොලීසිය ඉදිරිපිට 3000ක් තරම් පිරිසක් රැස්වල පොලිස් බාධක කඩා බිද දමා අත්අඩංඟුවට ගත් කලහකාරින් හතර දෙනෙකු මුදාහරින ලෙස කෑ කෝ ගැසූ බවයි. පොලිසිය මෙම කලහකාරින් විසුරුවා හැරීම අවම බලය හෝ පාවිච්චි කළේ නැත. ලෙහෙසියෙන්ම කඳුළු ගැස් ප්‍රහාරයක් මගින් මෙම පිරිස පළවා හැරීමට සහ ආසන්න පොලිස් ස්ථානවලින් සහායක කන්ඩායම් කැඳවිමට එම පොලීසියේ ප්‍රධානීන් කටයුතු කළේ නැත.

තවත් වීඩියෝවකින් පෙන්නුම් කැරෙනුයේ සියයක් පමණ වන යතුරුපැදිවල නැගුණු කළහකාරී තරුණ පිරිස් නිදහසේ ගමන් කරමින් තෝරා ගත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන විනාශ කරන අන්දමයි. මෙතරම් ප්‍රචන්ඩකාරීන් විශාල පිරිසක් දාමරිකකම්වල යෙදෙමින් සැරිසරන බව පොලිසිය දරන ගත්තේ නැත්ද? දේශපාලන අධිකාරිය දැන ගත්තේ් නැත්ද?

තවත් වාර්තාවකින් කියැවෙනුයේ කළහකාරි මුස්ලිම් විරෝධී පිරිස් බස් රථ දෙකකින් පැමිණ හෙට්ටිපොල සිට වාරියපොළ දක්වා ප්‍රහාරයන්හි නිරත වූ බවයි. මෙම බස් රථ දෙකෙන් පැමිණීයේ ඉස්ලාමීය අන්තවාදි පිරිස් නම් පොලීසිය මෙලෙසම බලා ඉන්නට ඉඩ තිබුණිද? දැන්වත් මෙම බස් රථ දෙකෙහි අංක පොලීසිය සතුව තිබේ ද? ඒ අනුව පරීක්ෂණ කර කළහකාරීන් අත්අඩංඟුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇත්ද?

පසුගිය දශක දෙක තුළ මෙරට මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්ව ක්‍රියා ගණනාවක්ම ඇති විය. මේ එකද අවස්ථාවක හෝ කවර හෝ ප්‍රචන්ඩකාරි පුද්ගලයකුට නඩු පවරා දඩුවම් කර ඇතැයි ඔබ අසා තිබේ ද? නැත. එවැනි අවස්ථාවන්හි දී නීතිය සහ සාමය ආරක්ෂා කිරිමේ රාජකාරිය පැහැර හරින ලද කවර හෝ පොලිස් නිලධාරියකුට එරෙහිව ගත් පියවරක් ගැන ඔබ අසා ඇත්ද? නැත. මෙරට පොලිසිය වර්ගවාදී ගැටුම්හි විසඳුම්කාරයකු නොව ගැටුමේ කොටස්කරුවෙකි. එය දේශපාලනඥයින් පසු පස යන සිංහල මහජාතිවාදි ආයතනයකි. රාජපක්ෂ සමයෙහි පොලීසිය සහමුලින්ම වාගේ දේශපාලන පොලීසියක් බවට පත් විය. එම තත්ත්වය තවමත් එහෙමම ය. යුද සමය පුරා එය ක්‍රමයෙන් වර්ගවාදී වී තිබුණි. ශ්‍රී ලංකාවෙහි නීතිය සහ සාමය සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම ප්‍රශ්ණය වෘත්තීමය නොවන, ගැති සහ දූෂිත පොලිස් සේවය යි.

ප්‍රබල සමාජ - දේශපාලනික මැදිහත්වීමකින් තොරව අද අප මුහුණ දී සිටින භයානක දේශපාලන ධ්‍රැවීකරණයෙන් ගොඩ ඒමට නොහැකි ය. මුස්ලිම් විරෝධී කළහකාරීන් විසින්න දැනටමත් අනාගත මරාගෙන මැරෙන ජිහාඩි අන්තවාදින් ගණනාවක්ම බිහිකර තිබිය හැකි ය. ප්‍රභාකරන්ගේ හමුදාව හැදුණේ 1983 දී වසය 10-15 අතර සිටි දරුවන් තරුණ වියට පැමිණීමෙනි. අද මුස්ලිම් සමාජයේ දරුවන්ට අප දෙන්නේ 1983 අත්දැකීම ම නොවේදැයි ඥාණසාර හෝ ඩෑන් ප්‍රියසාද් හෝ අම්ත් වීරසිංහ හෝ කල්පනා නොකරනු ඇත. එමෙන්ම ජාතිවාදය විකුණා කන ජනමාධ්‍ය මුදලාලිලා කල්පනා නොකරනු ඇත. ඒ ගොඩට රට පාලනය කරන දේශපාලඥයින්ද වැටුනහොත් ඥාණසාරගේ මුස්ලිම් සමාජයට දෙන්නට ගිය අබසරණය මුලු රටටම ලැබීමට ඉඩ තිබේ.

එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කර නිහඬ වන්නේ නැතිව අපට කළ හැකි එක දෙයක් හෝ ඇත්දැයි කල්පනා කරන්න. මේ නිහඬ බහුතරයේ හඬ නගා සිටුවීමට අපට කළ හැකි සැම දෙයක්ම කළ යුතු අවස්ථාවයි. මෙයට පෙර ද මා ලියූ පරිදි, “පිළිතුර ඇත්තේ හමන සුළගෙහිමයි.”

- රාවය