මංමුලා වූ බෞද්ධ ජාතියකට අනාගතයක් තිබේද ? - නිලන්ත මානවසිංහ

මංමුලා වූ බෞද්ධ ජාතියකට අනාගතයක් තිබේද ? - නිලන්ත මානවසිංහ

18 May 2019 08:31 am

බෞද්ධයින් ඉලක්ක කරගෙන පළවෙන විවේචන බොහෝමයකට හරයක් නැතුවාය. ඇත්ත වශයෙන්ම පැවසුවහොත් මෙරට සංඝ සමාජය තුළ සැබෑ ලෙස බෞද්ධ පුනරුදයක් ඇතිකළ හැකි බික්ෂුන් වහන්සේලා බිහි නොවීමට තරම් මේ භූමිය අවාසනාවන්තය. එම බලාපොරොත්තුවේ අවසන් පුරුක ලෙස වල්පොල රාහුල හාමුදුරුවන් හැඳින්වීම සැබෑ ඉතිහාසය යළි කියවීමක් මිස ව්‍යාකූල කිරීමක් නොවේ. වල්පොල හිමියන්ට බෞද්ධයා ගැන හැඟීමකට වඩා එහාට ගිය ගැඹුරු ඥානයක් තිබුණි. නමුත් අනෙකුත් බොහෝ දෙනා බෞද්ධ විප්ලව, සමාජවාදී විප්ලව ආදී බහුභූත කතා කොට නැසී ගියා මිස යම්කිසි සාධනීය දෙයක් ශේෂ කිරීමට අසමත් වූහ. ඔවුහු බොහෝ දෙනෙකු සුළු ලාභ ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා දූෂිත දේශපාලන කල්ලිවාදයේ ගොදුරු බවට පත්වූහ.

ලංකාවේ බොහෝ දෙනෙකුට විපල්වය යන්න වැරදි අර්ථ නිරූපනයක් ඇති කළ සහ ඔවුහු අන්දමන්ද කරණු ලැබූ සංකල්පයක් විය. විප්ලවය යනු මිනිසුන් ජීවත් කිරීම සහ ජීවත් වීම සඳහා සිදුකරණ සමාජ වෙනස්කම් මිස අකාලයේ මියැදීම සඳහා ව්‍යාජ වීරත්වයක් මවාගෙන සිදුකරණ රඟපෑම් නොවේ. ඒවා විප්ලව නොව ඛේදවාචක වේ. එනයින් බලන කල අපේ ඉතිහාසය අපට උගන්වන්නේ විප්ලව ගැන නොව ඛේදවාචක සහ ඒවාට පාර කපනු ලැබූ මංමුලා වූ පුද්ගලයින් ගැනය.

පුද්ගලයෙකුට ජීවිතයේ වටිනාකම කියාදීම සහ ඔහු හෝ ඇයට ජීවත් වීමට ඇති කැමැත්ත මෙන්ම රැකවරණය ලබාදීම විප්ලවයක මූලික අරමුණ වේ. හේතුවාදය විසින් මිනිස් මනස තුළ සුපෝෂණය කළ යතාර්ථය එයයි.

මෙරට බෞද්ධයින් යනු, අසරණ වූ පිරිසකි. ඔවුහු හේතුවාදීන් නොවෙති. ඔවුහු මංමුලා වූ ජාතියක ඉරණම තීන්දු නොකරණ සහ ඉඳ හිට සතුරාගෙන් එල්ල වන ප්‍රහාර වලට හැඟීම් බරව ප්‍රතිචාර දක්වන කෙටි කාලීන දැක්මක් සහ එතරම් ඥානයක් නැති පිරිසකි.  මොවුහු දිරාගිය සමාජ ධාරාවක් නඩත්තු කිරීම සඳහා බරදිය අදින පරළොවදී නිවීමක් සොයන නග්න මනුෂ්‍යය කොට්ඨාශයකි. ඔවුහුගෙන් බහුතරය, පුහු මානයට ලැදි, තමන් සියල්ල දන්නා බව පෙන්වීමට උත්සහ දරණ අධිමානයෙන් හෙබි, අනෙකාට ඇහුකන්දීමට අප්‍රිය කරන ප්‍රජාවකි. මොවුන්ගේ මෙම අසරණ මංමුලා වූ ගතියෙන් අනෙකා ප්‍රයෝජනය ගන්නා අයුරු හරිම අපූරුය. මොවුහුට නායකත්වය දීමට හෝ නිවැරදි මග කියා දීමට කිසිවකු නැතුවා පමණක් නොව සිටින බොහෝ භික්ෂූන් වහන්සේලාද, පටු ආත්මාර්ථකාමී අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා වෙහෙසෙති.

මෙවැනි වටපිටාවක ඉඳහිට හෝ පිපෙන මල් නැතුවා නොවේ. මෑතකදී, සුරේන් රාඝවන් ඉදිරිපත් කළ අදහසක් මා ආකර්ෂණය කළේය. වර්ගිකත්වයෙන් දෙමළ වාර්ගිකයෙකු වන හෙතම තුළ ආකර්ශනීය හේතුවාදියෙකු ජීවත් වේ. විවාදයකදී තමන් දන්නා බව පෙන්වීමට උස්හඬින් කතා කරන රාඝවන් පොදු විවාද වලදී ඉතා පරළු අධිපතිවාදියෙකු සේ හැසිරෙමින් අනෙකාට අහුකන් දීමේදී තරමක නොගැඹුරු මමත්වයක් පෙන්නුම් කරන්නෙකු වුවද, පසුගියදා ඔහු සඳහන් කළ කාරණය ඉතාම වැදගත් යැයි සිතේ. එනම්, 71 දී විජේවීර සමග ගල්කටස් රැගෙන විප්ලවාදී හීන දැකීම පසෙකලා ඊට එකතු වූ සියල්ලම මහණ දම් පිරීමට පන්සල් වලට යා යුතුව තිබුණි. එවැනි දෙයක් සිදු වූයේ නම්, අද වන විට සමස්ථ රට වෙනස්ම සංස්කෘතියකට හිමිකම් කියන  බොහෝ දුරට ඉතාම දියුණු සමාජ පරිපාලන රටාවකට උරුමකම් කියන රාජ්‍යයක් වීමට ඉඩ තිබුණි.

රාඝවන්ගේ සිහිනය සොඳුරුය. ඛේදවාචකවලට පසු එවැනි සිහින මැවීම වැදගත් වන්නේ මීළඟට සිදුවිය හැකි ඛේදවාචකයෙන් මිදීමටය. නමුත් ලංකාවට එය කෙතරම් වලංගුද යන්න කිව නොහැක්කේ ඉතිහාසයෙන් ඉගෙන ගැනීමට මේ ජාතිය සෑමවිටම අපොහොසත් වී ඇති බැවිනි.

71 දී සහ 88-89 දී, රාජ්‍යයට එරෙහිව යමින් දිවි නසාගත් සියල්ලට එසේ අත්වූයේ නිවැරදි නායකත්වයක් දීමට කිසිවකු නොසිටි නිසා පමණක් නොව, තමන් අභිමුඛයේ තිබු අතිශය සාර්ථක ක්‍රමෝපායේ වටිනාකම ගැන තමන්ට අවබෝධයක් නොතිබූ නිසාය. එකල ජීවිත අහිමි වූ හැත්තෑදහසකට අධික පිරිස  මහණදම්පුරා භික්ෂු භික්ෂුණීන් වූයේ නම් මේ රටේ ඇතිවිය හැකිව තිබු සමාජ පුනරුදය ඉතාම ප්‍රසන්න සමාජ විපර්යාසයක් වනු ඇත.

එය, අසුන්දර අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන පැමිණි ජාතියක තම ජීවිතය ගැට ගසා ගැනීමට බරදිය අදින්නෙකුගේ අඬහැරයට ලබාදිය හැකිව තිබු කදිම අත්වැලක් විය හැකිව තිබුණි. මේ අකාරයෙන්ම, දෙමළ  ජනතාවගේ දේශපාලන අභිලාෂයන් දිනා ගැනීමට යෑමේදී අත්හළ සහ මඟහැරුණු අවස්ථාවන් ගැන ලියන රාජිණි තිරාණගම, රාජන් හූල් සහ ශ්‍රීධරන්ද අවධාරණය කරනු ලැබූ කාරණයක් තිබුණි. එනම්, එය එසේ සිදු නොවී මෙසේ සිදු වූයේ නම් අප මේ වන විට මුහුණ දෙන තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය යුතුව තිබුණි, යන්නයි.

කුමන හෝ හේතුවක් නිසා, වසර ගණනාවකට පසු දේශපාලන බලයෙන් කොටසක් තමන්ගේ අතට කුමන හෝ ආකාරයකින් ලැබී ඇති රාඝවන්, කැරලිකරුවන් සමඟ එකතු වූ දෙමළ ජාතික කොල්ලන් සහ කෙල්ලන් ගැන කියන්නේ නැත. (ඇත්ත වශයෙන්ම කිවහොත් මා එවැන්නක් දුටුවේ නැත) එසේම, දෙමළ සමාජය පුරා විෂක් මෙන් පැතිරී ඇති කුලවාදය වැනි සමාජ අපහරණයන් අතුගා දැමීමට ඔහු පෙරමුණ ගන්නේ නම් මනාය. කුමන හෝ හේතුවක් නිසා කොළඹ හැදී වැඩෙන දෙමළ ජනතාව, දේශපාලනය සඳහා යාපනයට ගොස් ඔවුහුගේ දේශපාලන විඥාණය ගැන ඉංග්‍රීසී නොදන්නා දෙමළ ජනතාව හමුවේ පුරසාරම් දොඩනවා හැරෙන්නට කුලවාදයෙන් බැටකන දෙමළ ජනතාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට පවා මැළිවෙති.

නමුත් මා අසා ඇති පරිදි, දෙමළ ජනතාවාගේ ගැටලුවට වැදගත් පිළිතුරක් බී.ආර්. අම්බේඩ්කාර්  ලබාදුන් බව සඳහන් වේ. ඉන්දියානු ව්‍යවස්ථාවේ නිර්මාතෘ වන ඔහු මේ ලෝකයට කලාතුරකින් පහළවන ඉතාම දුර්ලභ ගණයේ බුද්ධිමතෙකි. දෙමළ රදළ පැලැන්තියේ කිහිපදෙනෙකු මෙරට ඇති දේශපාලන ගැටලුව ගැන අම්බෙඩ්කාර්ගෙන් පිළිතුරු අපේක්ෂා කළේලු. ඔවුහු, ඔහුගෙන් බලාපොරොත්තු වූයේ, කැරලි ගැසීමට හෝ බලය බෙදා හැරීම මූලික කරගත් අදහසකි. නමුත්, අම්බෙඩ්කාර් කියා ඇත්තේ, "නරකද දෙමළ ජනතාව සියලුම දෙනා බෞද්ධයින් කළොත්?", කියාය. එය ඇසූ, ඉහළ කුලයේ දෙමළ දේශපාලනඥයින්ගේ දත-කට මූට්ටු විය. මන්ද, ඔවුහු කිසිවකුට දෙමළ ජනතාව මුහුණ දුන් ගැටලුව විසඳීමට සැබෑ වුවමණාවක් නොතිබුණු හෙයිණි. ඔවුහුගේ වුමණාව වූයේ මෙම ගැටලුව තමන්ගේ අභිමතාර්ථයන් වෙනුවෙන් භාවිතා කිරීම පමණි.

එහි අවසානයේ සිදු වූයේ බෞද්ධයින් යනු ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ ගෝත්‍රිකවාදී අදහස්වලින් පිරී ඇති මංමුලා වූ පිරිසක්ය යන මතය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැතිරවීමට හැකිවිය. බෞද්ධයින්ගේ බහුතරයද ඊටම සරිලන පරිදි බොහෝ සමාජ අවස්ථාවලදී හැසිරුණෝය. එම මූලික මතවාදය ඉහළ මූල්‍යමය වටිනාකමකට විකිණීමට හැකි පරිසරයක් නිර්මාණය කළේය. බෞද්ධ සමාජ ක්‍රමය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ පරළු කරනු ලැබීය. බෞද්ධයින්, රාජ්‍යය පරිපාලනයේ ප්‍රදර්ශන භාණ්ඩ පමණක් විය.

එහි ප්‍රතිඵලය ලෙස, මංමුලා වූ වත්මන් බෞද්ධයා අපට හමුවේ. මෙම බෞද්ධයා ස්ව-උත්සාහයට වඩා අනුන්ට පහර දීමට කැමතිය. බුද්ධිමත්ව විමසා බලා කටයුතු කිරීම වෙනුවට තවකෙකුගේ දෙයකට හානී කිරීමට රුචියක් දක්වන්නේය. අනෙකාගේ දියුණුව දැක එය ආදර්ශයට ගැනීමට වඩා ඔවුහුව කකුලෙන් ඇදීමට සමත්ය. නොදන්නා දෑ ගැන පවා දන්නා බව පෙන්වීමට සහ ඒ ගැන මෝහයෙන් පිරි පුරසාරම් දෙඩීමට රුචිය. මේ ආදී වශයෙන් ගුණවලට වඩා නුගුණවලින් පිරි බොහෝ ලක්ෂණ සමඟ අභ්‍යන්තරයෙන් දිරා යන බෞද්ධයාට සැබවින්ම විනාශවීමට භාහිර සතුරෙකු අවශ්‍යය නැත. ඒ සඳහා අවශ්‍යය වන්නේ කාලය පමණි. බාහිර සතුරා කළ යුතුව ඇත්තේ, නූතන බෞද්ධයාගේ හැඟීම් තරමක් කිපෙන මට්ටමට ගෙන ඔවුහුගේ මමත්වය ඇවිස්සීම පමණි.

බෞද්ධයින් වෙලී සිටින මෙම මංමුලාව ගැන කරුණු පහදා ගැනීම ඉතාම වටින්නේය. මන්ද අනිවාර්යෙන් ස්වයං-වඳබාවයට පත්වන ලක්ෂණ බොහෝමයක්  වත්මන් බෞද්ධයාගේ ගති ලක්ෂණ වලින් පෙන්නුම් කරණ බැවිනි. මෙම කාරණය බරපතල ලෙස ගැනීම වැදගත් යැයි සිතෙන්නේ, පසුගියදා අසරණ මුස්ලිම් ජනතාවට පහර දීමට සිවුර කරේ දමාගෙන එක්තරා ගැටවරයෙකු සමඟ  මෝටර් සයිකලයක පිටුපස ගිය භික්ෂුවක් දැකීමෙනි. ඒ භික්ෂුව කවුරුන්ද යන්න මා දන්නේ නැත. උන්වහන්සේ කවුරුන්ද යන්න දැන ගැනීමට මා හට වුමණාවක්ද නැත. නමුත්, උන්වහන්සේ සහ උන්වහන්සේ පිටුපස ගිය රංචුව වත්මන් බෞද්ධයාගේ ගති ලෝකය හමුවේ  ඔප්පු කරනු ලැබීය. වහාම වෙනස් කළ යුත්තේ මෙයයි.

මින් වෙනස් වීමටනම් පළමුවෙන්ම කළයුතු වන්නේ, මල්වත්ත සහ අස්ගිරිය මෙම විශාල විනාශයේ සහ දිරා යෑමේ වගකීම අවංකව අතට ගැනීමය. ඉන් පසු, බෞද්ධ පන්සල් සහ පිරිවෙන් වහාම ව්‍යුහීය වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කළයුතු කරණු දෙකක් තිබේ. පළමු වැන්න, මුල්‍යමය යාන්ත්‍රණයයි. දෙවැන්න, සෑම භික්ෂු-භික්ෂුණියක්ම (මහනායක හිමිවරුද ඇතුළත්ව) මූලික නියාමනයකට නතු කිරීම සහ එම නියාමනය විනිශ්චය සඳහා තම ගරුත්වය රැකගෙන රට සහ ලෝකය ගැන දැනුමක් ඇති පළපුරුදු කමිටුවක් පත් කිරීමය.

මෙහි මූලික පියවර ලෙස, මල්වත්ත සහ අස්ගිරිය සමස්ථ රටම අපකීර්තියට ලක්කොට ඇති කුලවාදී අදහස් මුලිනුපුටා දමා, ගෞතම බුදුන්ගේ සැබෑ ධර්මයට අදාළව පිළිපැදිය යුතු මූලික වත්පිළිවෙත් පිළිපැදීම වැදගත් වේ. 

වරද නිවැරදි කරගත හැක්කේ, විවිධ වරප්‍රසාද භුක්ති විඳීමට ඇති ආශාව නිසා විනාශ වී ඇති තම තමන්ගේ ආයතන විශාල වශයෙන් පුනරුදයකට ලක් කිරීමෙනි. ඉන් පසු නිශ්චිත කාල රාමුවකට යටත් කොට සමස්ථ බෞද්ධ පන්සල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවලට බලපවත්නා ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කොට හැකි වහාව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය වේ. පැරණි - දුගඳ හමන නීති රාමු වෙනුවට නව නීති මාලාවන් ඇතුළත් කිරීම, භික්ෂු පදවියට පැමිණෙන ස්වාමින්වහසේලාට ලෝකය ගැන අවබෝධ කර ගැනීමට හැකි පරිසරය සකස් කිරීම, තම ආයතනයේ ප්‍රමුඛ අරමුණු වෙනුවෙන් කැපවීම සඳහා උන්වහන්සේලා කෙරෙහි කැමැත්තක් ඇති කරවීම ආදීය ඉතාම කඩිනමින් කළ යුතුව ඇත. 

ඒ වෙනුවට, රටේ මාධ්‍යය සහ අනෙකුත් පාර්ශ්වයන් සතුටු කිරීම සඳහා ලබාදෙන විවිධ බොළඳ අදහස් රටට හෝ බෞද්ධයාගේ සුගතියට තබා තමන්ගේ දියුණුවටවත් හේතු වන්නේ නැත. මංමුලා වී සිටින බෞද්ධයින් ඒකරාශී කිරීමට අවංක වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ මොහොත උදා වී තිබේ. එය නිවැරදිව භාවිතා කිරීමේ කෞශල්‍ය සහ හැකියාව රැඳී ඇත්තේ මහනායක හිමිවරුන් මතය.