ව්‍යසනය හමුවේ භාවිත සත්‍යය හා රූපමය මවාපෑම්

ව්‍යසනය හමුවේ භාවිත සත්‍යය හා රූපමය මවාපෑම්

20 May 2019 05:22 am

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය සමග බොහෝ සමාජ මත දක්වන්නන් විසින් නානාවිධ අයුරින් පුද්ගල චර්යාවන්හි විවිධතාවයන් අර්ථ කථනය කිරීමට පෙළඹුනහ. මේ අතුරින් වඩා සුවිශේෂී වනුයේ අදාළ ත්‍රස්තවාදය සමග ලංකාවේ බහුතරයක් මුස්ලිම් ජනතාව වෙත සැක මුසු බැලීමක් අන්‍ය ජාතිකත්වයක් විසින් පළ කිරීම හේතුවෙන් ඒ ජන කොටස සමග බැදී පැවැති ඓතිහාසික මිත්‍රත්වය වෙනුවට නානාවිධ සංසිද්ධීන් එකතු කොට ඒවා සමාජ මාධ්‍ය ජාලා හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට උත්සාහ දැරීමකි.

මෙසේ මුහුණු පොත හරහා දියත් වූ ඡායාරූපයන් විශාල ප්‍රමාණයක සදහන් වූයේ සහජීවනය ගොඩ නැගී ඇති බවට කදිම නිදර්ශන ලෙස කාර්යාලයන් හා පාසල්හි මුස්ලිම් ජාතික කාන්තාවන් හෝ ළමුන් විසින් වෙසක් සැරසිලි හා කූඩු සැරසිලි සිදුකරන අවස්ථාවන් ඡායරූපයන්ට ගෙන ඒවා සහජීවනයේ සාක්ෂ්‍ය ලෙස පළකිරීමත්ය. එසේම වෙසක් පොහොය දිනය නිමිති කරගෙන මුස්ලිම් ජනතාව විසින් පෙරහැර හා විහාරස්ථාන වෙත මල් රැගෙන යන ප්‍රවෘත්තීන් කිහිපයක්ද දක්නට ලැබුනි. 

මෙවැනි සිදුවීම් අර්ථ කථනය කිරීම, මතුපිට තලයේ මවා පෑම් ලෙස හදුන්වා දිය හැක්කේ  සත්‍ය ලෙස වන සමාජ ක්‍රියාකාරීත්වයේදී එවැනි ක්‍රියාමර්ග සිදුනොවීම හා සිදුවීමට වන හැකියාවේ සම්භාවිතාවයක්ද සමගය. ඕනෑම රාජ්‍ය ආයතනයක රාජකාරී සිදුකරන කිසිවෙකු විසින් වෙසක් වේවා, නත්තල් වේවා  වෙනත් ආගමික උත්සව වේවා  ඊට අදාළ ආයතනය විසින් තෝරනු ලබන සැරසීම් හා වැඩසටහන්වලදී  ආයතන ක්‍රියා පටිපාටියට අදාළ කාර්යාලයේ හෝ ආයතනයේ ජාතිකත්වයක් නොසලකා එම ක්‍රියාවන් සිදුකිරීමට බැදී සිටී. එවැනි අවස්ථාවන් රාශියක් මේ වෙසක් කාලය තුළ දැකිය හැකි වූ අතර එහිදී මුස්ලිම් කාන්තාවන් විසින් වෙසක් කූඩු ඇලවීම හා කාර්යාල බෞද්ධ කොඩි මගින් සැරසීම සිදුකෙරිනි. එසේම වෙසක් කූඩු පාසල් වෙත රැගෙන යාමට මුස්ලිම් දරුවන් කටයුතු කළ ආකාරයත් මෙහි සටහන්ව තිබිණි. මිශ්‍ර පාසල්හි කවර නම් ජාතිකත්වයකට අදාළ දරුවෙකු වුවද අදාළ පාසලෙහි වන ක්‍රියා පටිපාටියට යටත් වන අතර එවැනි අවස්ථාවන් හිදි මුස්ලිම් ජාතික දරුවන් අදාළ පාසල තුළ අධ්‍යාපනය ලබන්නේ නම් එම දරුවන් විසින්ද පන්තියේ සාමූහිකව ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීමට බැදී සිටී. වෙසක් පොහොය නිමිකරගනෙ පන්ති කාමර සැරසීමට වෙසක් කූඩු රැගෙන යාම එම නිසාම මුස්ලිම් ජාතික දරුවන් අතින්ද සිදුවිය.

මතුපිට තලයේදී මෙවැනි දෑ හිත් පිනවා ගැනීම සදහා යෝග්‍ය වුවත් එය සත්‍ය සමාජ භාවිතාව නොවන බව වටහා ගත යුතු සත්‍යයකි. මුස්ලිම් ජාතිකයන්ට වෙනත් ආගමක් ඇදහීමේ ක්‍රියා පිළිවෙතක් නැත.  එහෙත් මේ සිදුවීම සමග  සිංහල ජන සමාජයේ සැකයෙන් මිදීම සදහා ඔවුන් එවැනි දෑ මවාගැනීමක් සිදුකිරීමට පෙළඹී ඇත්තේ යම් ගැටුම් කාරී තත්වයන් වලක්වා ගැනීමට හා මුස්ලිම් සමාජය දෙස ඇගිල්ල දිගු වීමෙන් ගැලවීමේ ක්‍රමයක් ලෙසය. 

විය යුත්ත මෙය නොවේ මෙතෙක් කාලයක් පැවැති මිත්‍රත්වය පවත්වාගෙන යාම සදහා කටයුතු කිරීමේදී මවා පෙන්වීම් වෙනුවට ජන සමාජය සතු වගකීම් විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව ඇත. එහිදී මුස්ලිම් ජනතාව එක්ව අදාළ පිරිස් සැගවී සිටිනුයේ තම ජන සමාජයේ බැවින් ඊට අදාළ හෙළිදරුව් කිරීම් හා විමසීම් සිදුකිරීම කළ යුතුව ඇත. එසේම මෙතෙක් අරාබිය මූලික කොගෙන ගොඩ නැගුණු යම් සංස්කෘතික වෙනස්කම් සිදුවූයේ නම් එය වෙනස් කොට ලංකාව පදනම් කොටගත් සංස්කෘතික වෙනස් කම් සදහා මුස්ලිම් ජන සමාජය නැවත ක්‍රියාත්මක විය යුතුය.

ලංකාවේ මුස්ලිම් ජන කොට්ටාශයට අදාළ අතීතයක් පැවැති අතර එහිදී සිංහල හා අන්‍ය ජාතිකත්වය සමග මුසුවීම පැවැතියේය. මේ නිසාම ඔවුන් සිංහල ජනසමාජය සමග විවාහ විම් හා ඉතා කුළු පග මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබූ බවට පැරණි මුස්ලිම් ජාතික පිරිස් තවමත් සාක්ෂ්‍ය සපයයි. එසේම සංස්කෘතික බැදීම් බොහෝ ගරුත්වයක් සදහා පාර කපා ඇති බවට වන ඓතිහාසික සාක්ෂීන්ද පවතී. මෙවැනි පසුබිමක  සිටි පිරිස් විවිධ හේතුන් මත ලංකා සංස්කෘතික රාමුවෙන් පිට පැන එය ආරාබිය මූලික කොටගත් අන්තවාදයක් දක්වා වන ප්‍රවිශ්ටයකට මෑත කාලීනව මුස්ලිම් ජන සමාජය හැඩ ගැසෙමින් පැවැතියේය යන්න ඔවුන්ද පිළිගන්නා සත්‍යයකි.  වෙන්වීම සදහා වන මාර්ග පාදාගැනීමට ඕනෑ තරම් තල්ලූන්  එම සමාජයට සැපයීමට ආයතන හා විදෙස් රාජ්‍යයන් බැදීසිටී. ඒ වාර්ගික ගැටුම් නිර්මාණය වීම එම රාජ්‍යන්ගේ මූලික අරණක් වන බැවිනි. 

එබැවින් මෙවැනි වෙනසක් මුස්ලිම් ජන සමාජයේ වීම ස්වයං විවේචනාත්මකව දැකීමට මේ වන විටත් බොහෝ මුස්ලිම් විද්වත් පිරිස් කටයුතු කොට ඇති අතර  සිදුවිය යුතුව ඇත්තේ ඔවුන් ආගමික පදනමක් සහිතව ගොඩ නැගෙන සංස්කෘතියක් බැවින්  පල්ලි තුළදී අදාළ වෙනස උදෙසා වන ක්‍රියාමර්ග ගැනීමයි.

කෙසේ නමුත් සිංහල ජන සමාජය තුළ ද මෙවැනි සිදුවීම්හිදී හරයාත්මක සහජීවනමය ක්‍රියාමර්ගයන්ට එළඹෙනවා වෙනුවට සහජීවනය නමින් වන හුදු මවාපෑම් කුලු ගැන්වීමට වන තල්ලූන් සැපයීම විසින් සැබෑ සහජීවනයක් හෝ සැබෑ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමේ අවකාශයන් වැළකී යනු ලැබේ. 

මේ නිසාම තවදුරටත් හුදු මවා පෑම් හා සහජීවනය නමින් වන මතුපිට තලයේ සංදර්ශන වෙනුවට මුස්ලිම් ජන සමාජයේ ඇත්ත භාවිතමය වෙනසක් සහිත කියවා ගැනීමක් හා ක්‍රියාකාරීත්වයක් වෙත යා යුතු අතර සිංහල ජන සමාජය තුළ වන එකී මවා පෑමේ යැපීම වෙනුවට සැකය ඉවත් කොට ඔවුන් සමග මුසුවීම මගින් මෙකී දුරස්කම් ඉවත් කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකියාව පවතිනු ඇත . 

- තුසිත පතිරණ