දේශපාලන හා ආගමික විප්ලවය 01 - අද ලංකාවේ හාමුදුරුවරුන් හා දේශපාලනඥයන් දෙසන කිසිවක් මහජනතාව සතයකටවත් පිළිනොගන්නා තත්වයක් මතු වී ඇත

දේශපාලන හා ආගමික විප්ලවය 01 - අද ලංකාවේ හාමුදුරුවරුන් හා දේශපාලනඥයන් දෙසන කිසිවක් මහජනතාව සතයකටවත් පිළිනොගන්නා තත්වයක් මතු වී ඇත

20 May 2019 01:08 pm

2019 වසරේ මැයි මාසය වනවිට පසුගිය කල ලංකාවේ නො සිදු වූ විපර්යාසයක් මහජනතාව තුළ සිදු වී ඇත. එනම්, මෙපමණ කල් බුදුන් වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ නො දෙසූ නිවන් නොදකින බුද්ධ ආගම නමින් බමුණු ආගමක් නිර්මාණය කොට මිථ්‍යාව වපුරවමින් ජීවන ක්‍රමයක් සකස් කොට ගෙන ඇති හාමුදුරුවරුන්ගේ ඇත්ත ස්වභාවය මහජනතාව දැන ගැනීමත්, මහජනතාව රවටා ඡන්දය ලබාගෙන තම බඩවල් තර කර ගනිමින්, රටේ ධනය කූට ක්‍රමවලින් අත්පත් කර ගනිමින්, අල්ලස දූෂණ පණ පොවමින්, කපටි ඇදුම්වලින් සැරසී මහජනතාව මුළා කොට තමන්ගේ පවුල් වර්ධනය කර බලලෝභීව වැජඹෙන දේශපාලනඥයන් රට ප්‍රපාතයකට ඇදදමා ඇති බවත්, බහුතර ජනතාව දැන ගැනීමය.

පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව දැන් එවැනි දෙයක් සිදුවීමට මූලික හේතුව සොයනු ලැබේ. එය මීට පෙර සිදු නොවූ දෙයකි. මීට පෙර එවැනි දෙයක් සිදු වුවහොත් හාමුදුරුවරු හා දේශපාලනඥයන් එවැනි දෙයක් සිදුවීමට මූලික හේතු වසා දමා, එවැනි හේතුවලට පිළියම් නොදී, ජනතාවට ඉදිරියේ එවැනි දෙයක් නොසිදුවන බව පවසමින් රැවටූහ. නමුත් දැන් එවැනි දේවල් නිතර නිතර මතුවන හෙයින් තවදුරටත් ජනතාව රැවටීමට බැරිය. දැන් මේ දෙපාර්ශ්වයට (හාමුදුරුවරු හා පාලකයින්) රටේ මතුවී ඇති තත්වයට උත්තර නැත. ඒ මන්ද, එවැනි තත්වයක් ඇති වී ඇත්තේ ඔවුන්ගේ අදූරදර්ශී හා දූෂිත ප්‍රතිපත්ති නිසා සත්‍යය වසමින් මිථ්‍යාව පැතිරවූ නිසාය.

ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍යය ද මීට හවුල් වී ඇත. ඒ නිසා ඔවුන්ද ඒ දෝෂාරෝපණයට වගකීම බාරගත යුතුය.

දැන් හෙළි වී ඇති අන්දමට රටේ පාලනයක් සිදු වී නැත. පසුගිය අවුරුදු 30 ක පමණ කාලය තුළ පාලකයන් කර ඇත්තේ රටේ ධනය පෞද්ලිකව භාවිතා කරමින් දූෂිත බලලෝභී ජීවන ක්‍රමයක් සකසා ගැනීමය. ඔවුන්ට රටේ දියුණුවට, අනාගතයට, සාමකාමී ජීවිතයක් ඇති කිරීමට වඩා මීලග ඡන්දය වැදගත්ය. බලයේ රැදීමට කළහැකි, මීට පෙර නොසිතූ විරූ දූෂිත දේවල් කිරීමට ඔවුන් මැලි නොවෙති.

කිසි පාලනයක් නොමැතිව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, කෘෂිකර්මය වැනි දේවල් දඩාවතේ යාමට ඉඩ දී ඇත. රටේ අනාගතය දියුණු වීමට ජනතාව පුහුණු කරන අධ්‍යාපනයක් ගොඩනැගී නැත. ඒ වෙනුවට විභාග සමත් වී උපාධි ලබා ගන්නා ක්‍රමයක් බිහි වී ඇත. පෞද්ගලික අධ්‍යාපනය කිසිම පාලනයක් නොවී, සිංහල පවා කියවීමට බැරි සිංහල ළමයින් බිහි වී ඇත.

රටේ ලෙඩ රෝග බොහෝ වශයෙන් පැතිර ඇත. පිළිකාවල සීමාවක් නැත. රටේ පොළවෙන් බීමට ජලය ලබා ගත නොහැකි තත්වයට පරිසරය රසායනික ද්‍රව්‍යවලින් සන්තෘප්ත වී ඇත. මීට පෙර ලංකාවේ නොතිබූ රෝග, ජනා විකෘති කළ ආහාර මගින් රටේ හැමතැනම පැතිර ඇත. මේවා පාලකයන්ට නොතේරේ. ඔවුන් එවැනි දෙයක් ඇසීමට හෝ පිළියමක් කිරීමට යොමු නොවේ. ඔවුන්ගේ එකම අරමුණ බලයේ රැදෙමින් රටේ ධනය සූරාකෑමය.

කොටි ත්‍රස්තවාදය මෙල්ල කිරීමෙන් පසුව‍, මුස්ලිම් ත්‍රස්තවාදයට මෙරටට ආරාධනා කළේ හාමුදුරුවරුය. කොටි ත්‍රස්තවාදය තිබූ කාලයේ ශබ්ද නොකොට සිටි හාමුදුරුවරු ඉන් පසු මුස්ලිම් ත්‍රස්තවාදය මෙරටට ගෙන්වා ගත්හ. බොදුබල සේනා, රාවණා බලය ආදී වශයෙන් සිටින බෞද්ධ අන්තවාදීන්ට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි අය අත දුන්හ. එය තුළින් ඉදිරියේදී බුර්කාව, මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවට පැමිණෙන බව අදූරදර්ශී ඔවුන්ට නොපෙනිණි. එහි ප්‍රතිඵල මුස්ලිම් බෝම්බ පිපිරවීමෙන් මනාව දක්නට ඇත.

හාමුදුරුවරුන්ටද අවශ්‍ය වූයේ කලබලකාරී තත්වයකි. ඔවුන් සන්සුන්භාවයට හා සාමයට, යටින් කැමති නැත. උඩින් සාමය ගැන කතා කරන ඔවුන් යටින් මහජනතාව කුලප්පු කරවති. මුස්ලිම් අයට පහරදීමට ඔවුන් අනුබල දුන්හ. එයින් මහජනතාවට පෙන්නුම් කරන්නට යෙදුනේ හාමුදුරුවරුන් සිංහලයන් ආරක්ෂා කරන බවයි. නමුත් දිගුකාලීනව සිදුවන්නේ සිංහලයන් වැනසී යාමයි. අඥානවන්ත (බුද්ධිමත් නොවූ-නිවන් නොදුටු) හාමුදුරුවරුන්ට මෙය නොතේරේ. නමුත් දැන් මහජනතාව හාමුදුරුවරු කියන දේවල් විශ්වාස නොකරන නිසා ඔවුන්ට මහජනතාව තවදුරටත් රැවටීමට බැරි වනු ඇත. කෙසේ වුවද හාමුදුරුවරු දේශනා කරන බණවලින් කවුරුවත් නිවන් නොදකින බව මහජනතාව දැනගෙන බොහෝ කල්ය.

අවුරුදු 2100 කට පෙර ලියූ ත්‍රිපිටකයේ පොත්වත් ආරක්ෂා කර ගැනීමට අසමත් වූ හාමුදුරුවරු කෙසේ සිංහලයන් ආරක්ෂා කරත් ද ?

හාමුදුරුවරුන්ගේ කරපිටින් ඡන්දය දිනා ගන්නා දේශපාලනඥයන්ට එය ඉදිරියේදී සිදු කිරීමට නොහැකි වනු ඇත. මේ 2019 වෙසක් සමයෙන් පසු හාමුදුරුවරු හා දේශපාලනඥයන් රටට විනයක් සිදුවන අනවශ්‍ය දෙයක් වනු ඇත. රටේ සාමයට බාධාවක් වන බව මහජනයාට තේරුම් යනු ඇත.

හාමුදුරුවරුන් කළයුත්තේ මහණ ජීවිතයට ඇතුළුවීමේදී දෙන පොරොන්දුව වන නිවන් දැකීම සිදු කළයුතු බව මහජනතාව ඔවුන්ට කෙලින්ම ප්‍රකාශ කර සිටිය යුතුය.

දැන් පන්සල්වල සිදුවන මත්ද්‍රව්‍ය, මත්පැන් ජාවාරම්, ළමා අපචාර ආදිය නිසා බොහෝ මහජනතාව පන්සල්වලින් අයින් වී ඇත.

බුද්ධ දර්ශනය නොහොත් සත්‍යය දැකීම නොහොත් නිවන් දැකීම දැන් මතු වී ඇති හෙයින් මිථ්‍යා වපුරුවන හාමුදුරුවරුන්ගේ පරිහාණය සීග්‍ර වී ඇත. ඔවුන් කෙතරම් සත්‍යය සමග සටන් කරතත් දිනන්නට බැරිවනු ඇත. සත්‍යය - බුදුදමහ එතරම් බලවත්ය. බුදුන් වහන්සේගේ නම ඈදාගත් බුදුන් නොදෙසූ දේවල් කියමින් මහජනතාව මුළා කොට මුදල් හා අනෙකුත් පෞද්ගලික දේවල් උපයා ගැනීමටත්, පාලකයින් සමග එකතු වී සංවාසයට සාදාගත් ජීවන ක්‍රමය ලගදීම අවසන් වනු ඇත.

ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගම්වල අන්තිම උසස් තැන බුද්ධ ය. එය එම ආගම අදහන අය ද, බෞද්ධයෝ ද නොදනිති. එසේ බව ඔවුන් දැනගතහොත් සියලු ආගමිකයෝ බුද්ධ දර්ශනය වැළදගනු ඇත. එවිට ආගම් අතුරුදන් වනු ඇත. බුද්ධ දර්ශනය පමණක් ඉතිරි වනු ඇත.

මහජනතාව පන්සල් නොයෑමත්, ජෛන ආගම් ක්‍රමය වන සිල් නොගැනීමත් දැන් බහුලව දක්නට ඇත. ඒ සත්‍යය මතුවීමේදී මිථ්‍යාව අහෝසි වී සිදුවන දෙයකි. ඉදිරියේදී සාමය මතුවී රටක් දියුණුවීමට සියලු ආගම් (බුද්ධාගම ඇතුලුව) නැති වී පිරිසිදු බුද්ධ දර්ශනය (නිවන් දැකීම) මතුවිය යුතුය. දැනටමත් 'සිංහල මුස්ලිම්' ආදී වශයෙන් මුස්ලිම් ජනතාව තමන් හදුනා ගැනීම එවැන්නක් සිදුවීමට පළමුවැනි පියවරය.

මිථ්‍යාව පතුරවමින් ජීවන ක්‍රමයක් සාදාගෙන සිටින හාමුදුරුවරුන්ගෙන් අයින්වීමෙන් දේශපාලනයේ වෙනසක්ද සිදුවිය හැකිය. එසේ නොවුනහොත් රට තවතවත් ප්‍රපාතයකට වැටෙනු නොඅනුමානය.

රටේ සාමයක්, අවධියක්, දියුණුවීමක් ඇතිවීමට ගස්,ගල් වදින වත්මන් දේශපාලනඥයන් සියල්ලෝම (එක කෙනෙකුවත් නොහැර) විශ්‍රාම යැවිය යුතු අතර ඔවුන්ගේ සහයෝගයෙන් ඉදිරිපත් වන කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය නොදිය යුතුය. ඉදිරි මැතිවරණයේදී එය මහජනතාවට බාරය.

 - ගාමිණී අභය