අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මුදාහළ අදේශපාලනික “වමේ පොලීසිය”

අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මුදාහළ අදේශපාලනික “වමේ පොලීසිය”

23 May 2019 08:30 am

සිය අන්තර්ජාතික වෙළෙඳාම නූතනව මුහුණ දී ඇති අභියෝගයන්ට ගැළපෙනා ලෙස කුරාණයේ ඉගැන්වීම් විකෘති කොට ගත් “මුස්ලිම් ව්‍යාපාරික” ප්‍රජාවක් ක්‍රිස්තු වර්ෂයෙන් 2000 වසරේ සිට තීරණයක් ගත්තේ සුදද්න් සමග ගේමකට යාම සඳහාය. ඒ ඇමෙරිකානු වෙළෙඳපල සමග දැවැන්ත ගනුදෙනුකාර පවුලකින් පැවත ආ ඔසාමා බින් ලාදන්ගේ නායකත්වයෙනි. ඒ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නජිබුල්ලාගේ නායකත්වයෙන් ගොඩනැගුණු සමාජවාදී පාලනය පෙරළා දැමීම වෙනුවෙන් ඇමෙරිකාව විසින් ගොඩනැගූ “මුජහයිදීන් ගරිල්ලන්” විසින් තම ස්වාමියා ලබා දුන් නම “අල්කයිඩා ත්‍රස්තවාදීන්” ලෙස මාරු කොට ගෙනය. එහිම විකාරරූපී දිගුවක් ලෙස 2003 වසරේ ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමීම සඳහා ඇමෙරිකාවට අවශ්‍ය ලෙස හැසිරුණාවූ මුසල්මානු දෙශ්පාලනයක් නැවතත් සුපුරුදු ලෙස සිය ස්වාමියාට එරෙහි වෙමින් මනෝරාජික “ඉස්ලාම් රාජ්‍යයක” සටන් පාඨයක් පෙරට ගෙන ආයේ මෙහි ඇති සැබෑ වෙළෙඳ යුද්ධය ඉස්ලාම් ආගමීකරණයෙන් උන්මාදයට පත් කොටය. ඒ තමන් විසින් ඉටුකරනුයේ ශුද්ධ වූ අල්ලා දෙවියන්ගේ ඉල්ලා සිටීමක් බව තහවුරු කිරීම හරහාය. මේ වෙළෙඳ යුද්ධය පසුගිය අප්‍රේලයේදී ශ්‍රී ලංකා භූමියට කඩා වැදුණේ සිය ආගමික හැඳුනුම්පත භාවිතා කොට ගෙන වුවද, මේ වනවිට නියම හැඳුනුම්පත එය නොවේ යැයි යන්න තහවුරු වෙමින් ඇත. ඒ ලාංකේය ජාතික රාජ්‍යය තුළ ද “වෙළෙඳ යුද්ධය” ඇරඹී ඇති නිසාය. “ජනමිත්‍ර හඬ” වියමනට ප්‍රවේශ වන්නේ මේ වෙළෙඳ යුද්ධය මෙරට තුළ බිහිසුණු බෝම්බ පිපිරීමක් දක්වා උත්සන්න කිරීමට කටයුතු කළ වුන් පසුපස හඹා යා යුතු මෙරට “වමේ පොලීසිය” මේ වන විට සිදුවීමේ ප්‍රධාන සැකකරුට පළායාමට අවශ්‍ය ගමන් පහසුකම් සපයා දී ඇති නිසාය.

“අපරාධකරුවන් හට නීතියෙන් පළා යාමට” උපකාර කළේය යන චෝදනාව මෙරට තුළදී බහුල වශයෙන් එල්ල වී තිබෙනුයේ ශ්‍රී ලංකා පොලිසියේ අනීතික රාජකාරීන් හි නියැලුනා වූ නිලධාරීන්ට සහ දූෂිත දේශපාලකයන්ට එරෙහිවය. ඒ අනුව උක්ත චෝදනාවට මෙරට පොලිස් නිලධාරීන් සහ දේශපාලකයන් ගොදුරු වූ අවස්ථා බොහෝ ඇති බව කිසිවෙකුටත් අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත්.... වමේ දේශපාලනයට මෙවන් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක් නැති තරම්ය. “ජනමිත්‍ර හඬ” අපගේ වියමන විසින් මතු කරනා තත්ත්වය විශේෂයක් වනුයේ එබැවිනි. අප්‍රේල් 21 සිදුවීම අහම්බයක් නොවූ අනිවාර්‍යයක් බවට පත්වෙමින් තිබියේ වසර කිහිපයක සිටය. ඒ මුසල්මානුවන්ට එරෙහි සිංහල අන්තවාදයක් සහ ජාතික රාජ්‍යයට එරෙහි ඉස්ලාම් අන්තවාදයක් සඳහා නවාතැන් පහසුකම් සහ යටිතල පහසුකම් සපයා දෙමින්ය. එබැවින් බෝම්බ පිපිරුමේ ඍජු වගකීමක් 2010 සිට මේ දක්වා රට පාලනය කළාවූ ආණ්ඩු වෙත පැවරී තිබෙනුයේ ඉතාම පැහැදිලි සාක්‍ෂි සහිතවය. ඒ අන්තවාදය පෝෂණය කිරීම සඳහා දැක්වූ ද්විපාර්ශ්වික දායකත්වයේ තොරතුරු මැනවින් අනාවරණය වෙමින් තිබූ නිසාය. නමුත් ප්‍රශ්නය මතු වන්නේ ඉතාම ව්‍යාකූල ලෙසය. ඒ මෙරට වාමාංශික ව්‍යාපාරය බෝම්බයේ වගකීමෙන් මෙරට ද්වී පක්‍ෂ දේශපාලනය මුදාහරිමින් තිබෙනා නිසාය. 


දේශපාලනයේදී සිදුවන්නේ “බලය අත්පත් කොට ගෙන, බලය හොබවමින් සිටිනා වුන් එම තත්ත්වය තවදුරටත් රැකගැනීමේ වෑයම සහ බලය අහිමි වුන් එකී බලය අත්පත් කොට ගැනීම සඳහා දරණ වෑයම” වන්නේ යැයි දේශපාලනය ගැන දන්නා වුන් හොඳින්ම දන්නා කරුණකි. එබැවින් දේශපාලනයේදී බලය හිමි වුන් සහ අහිමි වුන් විසින් ගනු ලබන්නේ සිය අරමුණ (බලය රැකගැනීම හෝ බලය අත්පත් කොට ගැනීම) සාක්‍ෂාත් කොට ගැනීම සඳහා ඇති වන දේශපාලන අවස්ථාවන් උපයෝගී කොට ගැනීම වේ. ඒ අනුව අප්‍රේල් 21 බෝම්බය ගැන කල් තියා දැන සිටි වුන් පූර්ව බෝම්බ දේශපාලනයක්ද පිපිරුමෙන් පසු පශ්චාත් බෝම්බ දේශපාලනයක්ද කරනුයේ ඔවුන් යෙදී සිටිනුයේ දේශපාලනයක නිසාය. වරක් හිටපු අගමැති දී. මු. ජයරත්න උන්නැහේ ප්‍රසිද්ධියේ කියා සිටියේ බොරු නොකියා මැතිවරණ ජයගත නොහැකි යැයි කියාය. ජයරත්න තියරිය ඉතා මැනවින් භාවිතා කොට ගනිමින් මේ වන විට ප්‍රධාන පක්‍ෂ ද්විත්වය දේශපාලනය කරනුයේ අනෙකාගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ව්‍යාකූල කරමිනි. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මේ අවස්ථාවේ ආණ්ඩුවට තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්නේ යැයි කියමින් හීන් නූල භාවිතා කොට ගෙන දේශපාලනය කරමින් සිටිනුයේ ඉතාම සූක්‍ෂම ලෙසය. ඒ මෛත්‍රීපාල සිරිසේන හා සමග එක්ව රයිගමයා සහ ගම්පලයා භාවිතාවක්ද පවත්වා ගෙන යන්නාවූ අල්ල පනල්ලේය. ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබූ ආරක්‍ෂක වගකීමත් එජාපයට භාර දී රට ගිනිගෙන තිබියදී චීනයට පැන ගත්තේ එය ඔහුගේ දෙශ්පාලන න්‍යාය පත්‍රයේ ඊළඟ අංකය බවට පත්ව තිබූ නිසා මිස කිසි ලෙසකවත් ආවට ගියාට නොවේ. “ජනමිත්‍ර හඬ” අප මෙකී තත්ත්වය ගෙනහැර පෑවේ සියල්ලන් සීඝ්‍ර ලෙස දේශපාලනය කරන්නේ යැයි උදාහරණාත්මකව තහවුරු කිරීම සඳහාය. ඒ ලංකාවේ වාමාංශික දේශපාලනයට පූර්ව හෝ පශ්චාත් යන ද්විත්ව ආකාරයෙන්ම අප්‍රේල් 21 බෝම්බ පිපිරුමට අදාළ වූ දේශපාලනයක් ඇත්තේ නැති නිසාය. මෙතැන් සිට අප වමේ දේශපාලනයේ අණ්ඩ දැමූ දේශපාලන භාවිතාව ගෙනහැර පෑමට සූදානම්ය.

2018 මාර්තු මස මුල් සතියේ දිගන තෙල්දෙණියේ ඇවිල ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ දී මෙරට වම එහි ගියේ කරුණු දෙකක් පෙරදැරිවය. එකක් ඡන්ද වූ අතර, අනෙක මනුෂ්‍යත්වය සහ ජාතීන් අතර සංහිඳියාවයි. ඡන්ද මලු රැගෙන ඡන්ද අසුලන්නට ගිය ජවිපෙ ඉන් ඔබ්බට කිසිදු අනාගත විපත්තියක් දැක ගත්තේ නැත. මනුෂ්‍යත්වය සහ සංහිඳියාව බෙදන්නට ගිය පෙරටුගාමී සමාජවාදීන්ටද අනාගතය පෙනුණේ නැත. ඒ වෙනුවට දිගන තෙල්දෙණියේ සිට ආපසු කොළඹ ගියේ “අපිට මුස්ලිම් සම්බන්ධකම් ටිකක් හැදුණා” යන ආතල් එක පමණක් රැගෙනය. ඒ හැරෙන්නට පොලීසියේ අනියම් සහයෝගයද සහිතව ප්‍රහාරයට ගොදුරු වූ මුස්ලිම් සමාජය මෙතැනින් කොතැනටද යන විග්‍රහයක් පෙරටුගාමීන් සතුව තිබුණේ නැත. තිබුණේ තමන්ගේ දිගුකාලීන අරගල පෙරමුණ අරබයා වූ මනෝරාජික චිත්‍රයක් පමණි. එබැවින් අප්‍රේල් 21 ප්‍රහාරය ඡන්ද කෑදර ජවිපෙට සේම පෙසපටද අදහාගත නොහැක. ඒ මෙවැන්නක් ගැන හාංකවිසියක අවබෝධයක් කල් තියා නොතිබූ නිසාය. මේ අනවබෝධය කොතෙක් උත්සන්නව තිබියේද කිවහොත් මේ වන විටත් ප්‍රධාන පක්‍ෂ දෙකක් නිදහසේ අතපය දිගහැර දේශපාලනයක නියැළී සිටිනුයේ වමේ විග්‍රහයකින් කිසිදු පීඩාවක් නොලබනා තත්ත්වයක් යටතේය. මේ බැව් මැනවින් ප්‍රදර්ශනය වූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය තාප්ප මතට ගෙන ආ සර්වෝදය පන්නයේ සංහිදියා පෝස්ටරය හරහාය. එහි අඩංගුව තිබියේ මෙආකාර ලෙසය.

april 21 01

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලනය කොතෙක් නොදුටුවේ දැයි කිවහොත් මෙකී පෝස්ටරය දැක ගත් පාලකයින් නිශ්චිතවම එළැඹි සිතිවිල්ල කුමක් වන්නේද? “හොඳ වෙලාවට මුන්ගෙ ඔළුව නරක් වෙලා ! බැරි වෙලා හරි මුං හරියට දේශපාලනය කළා නම් අපිට පාරට බහින්න වෙන්නෙ නෑ. ! යන්නක් මිස අන් යමක් නොවේ. ඒ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තමන් සතු වස්ත්‍ර කොතෙක් අහිමිව තිබෙන්නේ දැයි ඔවුන් මැනවින් දන්නා නිසාය. පෙ. ස. ප. ශාන්තිවාදී දේශපාලනයක නියැළී සිටින්නේ මෙරට ජනයාට අවවාද අනුශාසනා කරමින්ය. “මනුෂ්‍යත්වයට පණ දෙමු!” මෙරට මිනිස් ජන විඥානය සතු මනුෂ්‍යත්වය කාබාසිනියා කළ වුන් සඳළුතල මත සිට සිය ටයි කෝට් සහ චීවරයන් එකේලි කොට ගනිමින් “උන්ට වැඩේ මාට්ටු වෙලා නෑ යකෝ!” යැයි එකිනෙකා “දාන්න පහක්” කෙළියේ නිරතව සිටියේ ජුගුප්සාජනක ලෙසය. වසර 06 කට අධික කාලයක් තිස්සේ සිංහල මුස්ලිම් අන්තවාදීන්ට සිය වගා කටයුතු සරුසාර ලෙස පවත්වා ගෙන යාම සඳහා තෙල් පොහොර සැපයූ දේශපාලකයන් මෙරට වමේ දේශපාලනය විසින් තාප්ප මතට ගෙන එතැයි සිතූ මාරාන්තික දේශපාලන පෝස්ටරයක් විය. නමුත් එවැන්නක් පාරට ආයේ නැත. ඒ කිනම් පන්නයකින්ද?

ජනතාවනි !
අප්‍රේල් 21 බෝම්බය සඳහා
“ජාතිවාදයේ වෙඩි බෙහෙත්” සැකසූ
නින්දිත බලකෑදර දේශපාලනය
පිළිකුලින් හෙළා දකිමු !

මේ සටන් පාඨය තාප්ප මතට නොපැමිණියේ ඇයිද? යන ප්‍රශ්නය අරබයා මෙරට “වම නොවනා වමේ” මහත්වරුන්, මෙරට වැඩ කරන ජන සමාජයට පිළිතුරු සැපයිය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව ලාංකේය වමේ දේශපාලනය බෙරිහන් දෙනුයේ වැඩකරන ජනයාගේ බලයක් ගැන කියා සිටිමින් නිසාය. මේ වන විට බැරි මරගාත දේශපාලනයක නියැළී සිටිනා ජනතා විමුක්ති පෙරමුණ සිදුවීම අරබයා මහජනයාට අවවාද මිස “දේශපාලන පෝස්ටර්” අලවන්නට නිදි මැරුවේ නැත. ඒ ආණ්ඩුවට තිබෙන කරදර මදිවාට දැයි කියා ජවිපෙ කල්පනා කළා දැයි අප දන්නේ නැත. නමුත් මෙරට ජනයා එකක් මැනවින් දුටුවේය. ඒ ජවිපෙ පවත්නා දේශපාලනයේ මුරකරුවෙකු මිස විකල්පයෙකු නොවනා බවයි. ඒ අන් කිසිවක් නිසා නොව ජවිපෙ අප්‍රේල් 21 වනදායින් පසු යෙදී සිටියේ සිය ජාතික ලැයිස්තු සම්භාවනීයා හරහා වැදුණු මඩ සෝදා ගැනීමක සහ මුසල්මානුවන්ට අන්තවාදයේ කළලය ඉවත් කොට ගෙන ගර්භාෂය සෝදා ගැනීමට අවවාද කරමින් පමණක් නිසාය. ප්‍රභූ ආරක්‍ෂක අංශය හරහා බහුතරයක් පාර්ලිමේන්තු නියෝජිතයින් ප්‍රහාරය ගැන දැන සිටියේය යන්න මේ වන විට ජන සමාජය හමුවේ අනාවරණය වී ඇත. නමුත් ජවිපෙ සටන් පාඨයක් තාප්ප මතට ගෙන නොආයේ “අප්‍රේල් 21 ප්‍රහාරයට දැනුවත්ව ජනයා බිලිදුන් ආණ්ඩුව ඉල්ලා අස්වනු!” කියාය. වමේ සිට දකුණේ ජාතිවාදයට පළා ගිය විමල් වීරවංශ උන්නැහේ “ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගනු” කියා පෝස්ටර් අලවමින් බලය වෙනුවෙන් දේශපාලනය කරද්දී වමේ අයියා මලෝ දෙදෙනා අවවාද සහ අනුශාසනා ක්‍රියාන්විතයක යෙදී සිටියේ “දේශපාලනය නම් කොයි වෙලේ කරන්න බැරි දැයි” යන පන්නයෙනි.

අප්‍රේල් 21 සිදුවීමෙන් පසු මෙරට ජනයාගේ චෝදනාත්මක දබරඟිල්ල එල්ල වූයේ මහජන ඡන්දයෙන් බලය තහවුරු කොට ගත් පසු තමන් “ප්‍රභූන්” බවට පත්වූවන් වෙතය. ඒ “මුං වැඩේ දැනගෙන ඉඳලත් මේක නැවැත්තුවේ නෑනේ.” යන අර්ථයෙනි. ඒ මෙහි දිගුකාලීන පසුබිම වටහාගෙන නොව සිදුවීම පමණක් ඉලක්ක කොටගෙනය. අවාසනාවන්ත තත්ත්වය නම් වාමාංශික ව්‍යාපාරයද බෝම්බයේ වගඋත්තරකරුවන් කවුරුන් දැයි තීරණය කරනුයේ පොලිස් පරීක්‍ෂණ මත පදනම්ව මිස දේශපාලන විග්‍රහයක් සහිතව නොවීම වේ. ඒ අනුව මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන්නාවූ වමේ යැයි කියාගන්නා දේශපාලන භාවිතාව සමාන වී තිබෙනුයේ මෙරට පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ භූමිකාවක් හා සමග මිස බුද්ධි අංශයක අර්ථයෙන් නොවේ. දිගන තෙල්දෙණිය සිදුවීමෙන් පසුු ගිනිගත් මුස්ලිම් සමාජයෙන් ඡන්ද කෑලි සහ පක්‍ෂ සම්බන්ධකම් පමණක් සෙවූ වාමාංශික දේශපාලනයට ගණන් හදාගත නොහැකි වූයේ මේ සිදුවීමේ ඊළඟ අදියර කුමක් දැයි කියාය. ඒ අප කියා සිටිනා මේ වමේ නිවුන් සොයුරන්ට පෙනෙනුයේ “මැතිවරණ සහ ජන අරගල” පමණක් නිසාය. ඒ අනුව එක් පාර්ශවයක් ඡන්ද කෑලි සොයමින් ඉව අල්ලනා අතර අනෙක් පාර්ශවය වෙනස් චින්තකයින් සොයා ඉව අල්ලන්නේය. මේ වමේ පොලීසියට ඉවක් නැත්තේ මෙරට පොදු සමාජය අරබයාය. එබැවින් මේ වමෙන් පොදු ජනයා බැනුම් අසන අතර “දේශපාලනයේ අපතභාවය” ආශිර්වාද ලබන්නේය. එබැවින් අප්‍රේල් 21 බෝම්බයේ චෝදනා පත්‍රය ජවිපෙන් එල්ල වනුයේ මුස්ලිම් සමාජයටය. ඒ අන්තවාදය සමග නිදි වැද කළලයක් හදා ගත්තා කියාය. පෙසප කියන්නේ මෙයට හේතුව මනුෂ්‍යත්වය පිටුදැකීමත්, අන්තවාදය ප්‍රතික්‍ෂේප නොකිරීමත්, ජන ඝාතන සඳහා පෙළඹීමත්ය. කිසිදු චෝදනා පත්‍රයක් ගොනු වී නැත්තේ ලාංකේය සමාජය අන්තවාදයෙන් ගැබ් ගැන්වූ සහ මිනිසත්භාවයෙන් විතැන් කළ පක්‍ෂ දේශපාලනයේ කැත ශුක්‍ර ධාතූන්ට එරෙහිවය. එබැවින් සැබෑ බෝම්බකරුවන් තප්පුලන්නේ තමන් ගැන විශ්වාසය තබන්නැයි කියාය. තමන් ආවොත් බෝම්බ අවසන් කරන්නේ යැයි කියාය. ඒ ලාංකේය වමේ පොලීසිය ආසන්නතම සිදුවීමේ හවුල්කරුවන්ට අවවාද දීමක නියැළී සිටිනා බැවිනි. මේ අදේශපාලනික වූද අසාමාන්‍ය අන්ධභාවයකට පත්ව සිටිනා වූද මෙකී වමේ දේශපාලනයේ පිටු බලයෙන් සැබෑ බෝම්බකරුවන් දියසෙන් කුමාරයන් බවට පත්වීමට වෙර දරමින් සිටිනුයේ ඉතාම පිළිකුල්සහගත ලෙසය. නමුත් මේ වමට ඒ අරබයා ඇති විශේෂ අමාරුවක් නැත. මන්ද මේ අසක්කිත දේශපාලන සංස්කෘතිය තුළ මෙරට ජන සමාජය විඳිනා අනේක විධ දුක්‍ඛ දෝමනස්සයන් උදෙසා හද පත්ලෙන් නැග එනා විස්සෝපයක් මේ වමට නැති නිසාය. ඒ, වමේ දේශපාලනය වෙනුවෙන් සැපිරිය යුතු අත්‍යාවශ්‍ය කොන්දේසියක ඌනතාවයක් මිස අන් යමක් නොවේ. ඒ වූ කලී “පංති විඥාණයයි.” අද වන විට මෙරට වම පංති විඥාණයක් සහිත දේශපාලනයක නියැළෙන්නේ නැත. මන්ද අප කියා සිටිනා මේ පංතිය හොඳම පන්නයෙන් ගොනාට ඇඳගෙන සිටිනා නිසාය. එබැවින් මේ වමේ දේශපාලනයේ වත්මන් භාවිතාව ගොඩනැගී ඇත්තේ ගොනාට ඇඳ ඇති එකාගේ ගොන්කම ඉවත් කිරීමට නොවේ. ගොනාට ගැළපෙනා ලෙස වමද සකස් වීමට පමණි. ඒ අනුව සටන් පාඨය නිර්මාණය කොට ගෙන තිබෙන්නේ “ගොනා යන්නේ කොයි පාරේ අපි යන්නේ ඒ පාරේ.” කියාය. මේ ඇඳගත් ගොනා විටෙක අරගලයටද විටෙක ඡන්දයටද පැමිණ, වම ගොනාට අන්දන්නේ දිගු කලෙක සිටය. ඒ වම ගොනාගේ ගොන්කම තේරෙන භාෂාවෙන් අභියෝගයට ලක් නොකළාවූ නිසාය. මේ අප්‍රේල් 21 බෝම්බය පිපිරීමෙන් පසුද සාමාන්‍ය ජනයා සහ වමේ දේශපාලනය තම තමන්ගේ තැන්වල ස්ථානගත වූ නිසාවෙන් ප්‍රධාන සැකකරු ගැළවුම්කරුවාගේ භූමිකාව රඟ දක්වද්දී වමේ පොලීසිය තමන් විසින් හඳුනාගෙන ඇති සැකකරුවන්ට වැරදි නිවැරදි කොට ගැනීම සඳහා දැඩි ලෙස අවවාද කරමින්ද මනුෂ්‍යත්වයේ ඇති වටිනාකම් ගැන ධර්ම දේශනා පවත්වමින්ද සිය දේශපාලනය පවත්වා ගෙන යනුයේ “මුහුදට දෙහි මිරිකීමක්” හා සමාන ලෙස මිස කිසි ලෙසකත් “නව අනුරාගී දේශපාලනයක්” අස්වැද්දීමට නොවේ. ඒ අනුව මේ වමේ දේශපාලනයට සිදුවෙමින් තිබෙන්නේ “දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලා සිටීමක්” මිස අන් යමක් නොවේ. ඒ මෙකී වම මොනවා හෝ වැඩ මිස අරමුණු සහගත ලෙස කරන්නාවූ “දේශපාලනයක්” නොමැති නිසාය.

ජයවික්‍රම සූරියබණ්ඩාර
jayawikrama1974@gmail.com