බුදුන් වහන්සේ දේශනා කළේ දර්ශනයක් මිස ආගමක් නොවේ - වෛද්‍ය ගාමිණී අභය

බුදුන් වහන්සේ දේශනා කළේ දර්ශනයක් මිස ආගමක් නොවේ - වෛද්‍ය ගාමිණී අභය

24 May 2019 11:15 am

2019 වසර පිරිසිදු බුද්ධ දර්ශනය මතුවීමේ සන්ධිස්ථානයක් බව වෛද්‍ය ගාමිණී අභය මහතා පවසයි. ධම්ම ශ්‍රවණය කරන ආකාරය දැන් විවෘත වී ඇති හෙයින් ලංකාවේ සෝවාන් තත්වයට පත්වූ අය 500 කට අධික බව ඔහු පවසයි. වෙසක් උත්සවය පටන් ගත් දුටුගැමුණු රජුගේ කාලයෙන් පසුව රහතුන් පහළ නොවූ බව ද ඔහු පවසයි. දැන් මේ මාසයෙන් පසු නැවත රහතුන් පහළ වන බුද්ධ දර්ශනයට මග විවෘත වී ඇති බව ගාමිණී අභය මහතා ප්‍රකාශ කරයි.

පහතින් පළවන්නේ වෛද්‍ය ගාමිණී අභය මහතා 'ලංකා නිවුස් වෙබ්' සමග සිදුකළ සාකච්ඡාවකි.

මේ වෙසක් සමයෙන් පසු මහජනතාව නිවන් නොදකින බුද්ධාගම අතහැර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලැබෙන පිරිසිදු බුද්ධ දර්ශනය වැළඳ ගතයුතු බව වෛද්‍ය ගාමිණී අභය මහතා පවසයි. වෙසක් උත්සවයද දුටුගැමුණු රජු ඉන්දියාවෙන් කොපි කරගත් ඔවුන්ගේ 'වෛශාඛ' යන වචනයෙන් සමන්විත තෙමගුලක් එකතු කරගත් නිවන් නොදකින මිථ්‍යාවක් වී ඇත. සියලු මිථ්‍යාවන් අතහැර බුද්ධ දර්ශනය සොයා යායුතු කාලය දැන් ලඟාවී ඇති බව ඔහු පවසයි.

වසර 2100 කට පසු පිරිසිදු බුද්ධ දර්ශනය එනම් නිවන් දැකීම මතුවී ඇති හෙයින්, 2019 වෙසක් සමයෙන් පසු නිවන් නොදකින හින්දු ජෛන මතවාද කලවම් වූ බුදුන් නොවදාළ බුද්ධාගමේ අවසන් කාලය පැමිණ ඇතැයි වෛද්‍ය ගාමිණී අභය මහතා පවසයි. පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් නොවන‍ හෙයින් පසුගියදා සිදු වූ මුස්ලිම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට හේතු වූ ආගම්වාදී බෙදීම් ඉදිරියේද‍ී ආගම් නැතිවූ විට රටේ සාමය ඇතිවේ යැයි ඔහු පවසයි.

මා දේශනා කරන්නේ ආගමක් නොවේයැයි බුදුන් වහන්සේ පැවසුවත්, වසර 2100 කට පර බුද්ධාගම නමින් නිවන් නොදකින ආගමක් බිහිවුණි. එයින් පසුව ඇති වූ නොයෙකුත් අන් ආගම් නිසා අඬදබර යුද්ධ ඇතිවුණි. සාමය උදාවීමට බුද්ධාගම ඇතුළු සියලුම ආගම්වලින් අයින් වී බුද්ධිමත් වියයුතු බව ගාමිණී අභය මහතා පවසයි. සත්‍යය සමග සටන් කිරීමට බැරි නිසා හාමුදුරුවරුන් නිර්මාණය කළ බුද්ධා‍ගමේ අවසානය පැමිණ ඇති මෙකළ මහජනතාවට නිවන් මාර්ගය විවෘත වී ඇති බව ඔහු විශේෂයෙන්ම ප්‍රකාශ කරයි. නිවනෙහි ආගමක් නැති බව ද ඔහු පවසයි.

මෙපමණ කල් බුදු පණිවුඩය නිවන් නොදැකපු බුද්ධඝෝෂ හිමි විසින් සම්පාදිත ප්‍රඥා-සීල-සමාධි ක්‍රමයෙන් සමන්විත දාන, ශීල, භාවනා කරන ආගමක් වී තිබිණි. දැන් සීල, සමාධි ලෞකික බව මහජනතාව දනී. ලෞකික සීල, සමාධිවලින් ලෝකෝත්තර ප්‍රඥාව ලබාගත නොහැකි බව වෛද්‍ය ගාමිණී අභය මහතා පවසයි. පිරිසිදු බුද්ධ දර්ශනය ලෞකික තොරතුරු ලබා ගැනීමේ ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම අයින් වී ලෝකෝත්තර වී බුද්ධිමත් වීම බවද ඔහු පවසයි.