2020 ට පොදු අපේක්ෂකයෙක් නෑ! (වීඩියෝ)

2020 ට පොදු අපේක්ෂකයෙක් නෑ! (වීඩියෝ)

26 September 2018 07:25 pm

දශකයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය පෙරළා දමමින් යහපාලන රජය බලයට පත් වෙන්නේ උතුරේත් දකුණේත් ජනතාවට බලාපොරොත්තු රැසක් අත්කර දෙමිනි.

 

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමත්, වසර ගණනාවක් රටේ පවතින ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබා දීමත් එම පොරොන්දු අතර මූලිකත්වයක් ගත් අතර නව රජය යටතේ රටේ ආර්ථිකයේ ස්ථිවරත්වයක් ගොඩනැගෙනු ඇති බවට ජනතාව තුළ පැවැතියේ විශාල විශ්වාසයකි.

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයත් ඒකාබද්ධව පිහිටවු සම්මුතිවාදී ආණ්ඩුව මේ වන විට බලයට පත්ව වසර තුනකට අධික කාලයක් ගෙවා දමා ඇතත් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වන ආකාරයක් ද දක්නට නොලැබේ.

විටෙක ජනාධිපතිවරයාත් තවත් විටෙක අගමැතිවරයාත් සිදු කරන ප්‍රකාශ හමුවේ සම්මුතිවාදී ආණ්ඩුව තව කොතෙක් කලක් පවතීද යන්න සම්බන්ධයෙන් පවා කුතුහලයක් ජනතාව තුළ ඇති වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් දරන්නේ කෙබඳු දේශපාලන ස්ථාවරත්වයක් ද යන්න පවා විටෙක පැටළිලි සහගතය.

මෙවැනි සමාජ ආර්ථික දේශපාලන වටපිටාවක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළත් රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරත්වය පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු මහාචාර්ය ‍රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමග ලංකා නිවුස් වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දැක්වු අදහස් පහත පරිදි වේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව පවසන මහලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සියලුම බලවේගයන් ඒකරාශි කරගැනීමේ කටයුත්ත මේ වන විට ආරම්භ කර තිබෙන බව සදහන් කරයි.

කෙසේ නමුත් එහිදී පුද්ගල කේන්ද්‍රීයභාවය වෙනුවට ප්‍රතිපත්ති කේන්ද්‍රීය වැඩ සටහනක් සකස් කළ යුතු බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

රටේ සියලුම අංශයන් ආවරණය වන පරිදි සංවර්ධන වැඩපිළිවෙළක් සකස්කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් අවශ්‍ය අතර එහි වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුවන බව ද ඔහු අවධාරණය කරයි.

ඒ සඳහා අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීම මේ වන විට සිදු කරමින් පවතින අතර නොයෙක් හේතුන් මත මේ වන විට පක්ෂයෙන් වෙන්වී සිටින සියලු සාමාජිකයන්ට ඒ සදහා ඒකරාශි වන ලෙසයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඉල්ලා සිටියේ.

හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් බව පෙන්වා දෙන මහලේකම්වරයා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා නැවත වරක් පක්ෂය සමග සම්බන්ධ කරගැනීමේ අපහසුතාවයක් නොමැති අතර ඔහුට නැවත වරක් පක්ෂය සමග එකතු විය හැකි ආකාරයේ සාකච්ඡා සහ ප්‍රතිපත්තිමය සංවාද නිර්මාණය කළ යුතුව තිබෙන බවයි.

පොදු සතුරාට විරුද්ධව පුළුල් බලවේගයක් නිර්මාණය කරගැනීම සඳහා යළි පක්ෂය සමග ඒකරාශි වන ලෙස ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි ඉල්ලීමක්ද කළේය.

දේශපාලන වියවුලට ප්‍රධාන හේතුව මහ බැංකු මංකොල්ලය

යහපාලන රජයේ ගෙවුන වසර තුනක කාලය අසාර්ථක පාලනයක් බව පිළිගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ජනතාව තබා සිටි බලාපොරොත්තු සුන්ව ගිය කාල සීමාවක් ලෙස ද එය පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අඩුපාඩු නිවැරදි කරගැනීමට තිබූ අවස්ථාවන් පවා දුරස්ථ වී ඇති බව සදහන් කරන ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයට පෙර එම තත්වය වෙනස් කළ යුතු බවයි.

ඒකාබද්ධ රජය කෙරෙහි තබා තිබූ විශ්වාසය බිද වැටීමට ප්‍රධානතම හේතුව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති මහ බැංකුව තුළ සිදු වු වංචාවයි.

 "මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා. ලංකා ඉතිහාසයේ සිදුවු ලොකුම මුදල්මංකොල්ලය" යැයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය‍.

 වර්තමාන දේශපාලන වියවුල් භාවය නිර්මාණය වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත්වන්නේ බැඳුම්කර වංචාව බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍ය බව පිළිගන්නා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානියකුද වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පෙන්වා දෙන්නේ එය මහජනතාවගේ මට්ටමේ සංවාද කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතු බවයි.

"ඒක කීප දෙනෙකු එකතු වෙලා කරන ව්‍යායාමයක්, ශාස්ත්‍රීයමය ව්‍යායාමයක් එහෙම නැත්නම් කාගේ හරි කණ්ඩායමකගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කරන එකක් නොවිය යුතුයි"

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් විමේදි ගමට මන්ත්‍රීවරයකු නියෝජනය වන ආකාරයේ වඩාත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුළත් ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතු නමුත් පසුගිය කාලය තුළ එවැන්නක් සිදු නොවු බවද ඔහු පෙන්වා දුන්නේය.

රට මේ වන විට මුහුණ දී සිටින සමාජ ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අවශ්‍ය කාලය අවකාශය පවතීද යන්න සම්බන්දයෙන් ප්‍රායෝගික ප්‍රශ්නයක් පැනනගින බවද ඔහු පෙන්වා දුන්නේය.

දකුණත් එකඟ විය හැකි උතුරත් සම්බන්ධ විය හැකි බලතල බෙදීමකට යා යුතුයි

වසර ගණනාවක් තිස්සේ රටේ පවතින ජාතික ප්‍රශ්නය විසදීම සදහා ද පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන මහාචාර්යවරයා සදහන් කරන්නේ රටට නිදහස ලැබු සැණින් කළ යුතුව තිබූ කාර්ය වන්නේ ශ්‍රී ලාංකික රාජ්‍ය නිර්මාණය කිරීම බවයි.

"අපි හැමෝටම නිදහසේ එකට පොදුවේ ඉන්න පුලුවන් ආකාරයේ රාජ්‍යක් නිර්මාණය කරන්න"

දකුණත් එකඟ විය හැකි උතුරත් සම්බන්ධ විය හැකි බලතල බේදීමේ ක්‍රියාවලියකට යා යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ එම බලතල බෙදීමේ ක්‍රියාවලිය රට කඩන වෙන් වන එකක් නොව නිෂ්පාදන හා සේවා කටයුතු හුවමාරු කරගැනීමේ දී නිෂ්පාදන හා සේවා කටයුතු පිළිබද තීරණ ගැනිමේදී පුළුල් සහභාගීත්වයක් සහිත ආයතන ව්‍යුහයක් නිර්මාණය කළ යුතු බවයි.

ඒ සදහා රටේ සංවාද ඇති කළයුතු අතර එම සංවාද හරහා විතැන් වී සිටින සියලු පිරිස් ඒකරාශි කරගැනීමට හැකි වනු ඇති බවටද මහාචාර්යවරයා විශ්වාසය පළ කළේය.

දේශපාලන සිරකරුවන් රටක සිටීම අනවශ්‍ය බවද පිළිගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා සදහන් කරන්නේ සිතා මතා වැරදිකරුවන් බවට පත් කළ සියලු දෙනා අධිකරණයක් ඉදිරියට යොමු කළ යුතු බවයි.

අනෙක් පිරිස් ද පුනරුත්ථාපනය කරමින් අධිකරණමය තීන්දු ගත යුතුබව ඔහු පෙන්වා දෙයි.

"කිසිම කණ්ඩායමක් සැක පිට අත්අඩංගුවේ තබා ගැනීම නොකළ යුතුයි' ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය සකස් කරන්න ඹ්න වඩා පහසු ලෙහෙසි ක්‍රමයකට" මහ ලේකම්වරයා ලංකා නිවුස් වෙබ් අඩවිය සමග වැඩිදුරටත් සදහන්කළේය.

මෙවැනි සමාජයක දේශපාලන සිරකරුවන් සිටීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමයකට නොගැළපෙන්නක් බව ඔහුගේ අදහසයි.

මාධ්‍ය හැසිරීම ගැන සෑහීමකට පත්වෙන්න බැහැ

මේ වන විට රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය සම්බන්ධයෙන්ද සම්පුර්ණ වශයෙන් සෑහීමකට පත් නොවන බව සඳහන් කරන ජන සන්නිවේදන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ රටේ සියලුම මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන්ද තමාගේ එකඟතාවක් නොමැති බවයි.

"රාජ්‍ය විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේත්"

රටේ සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් සංසන්දනය කරමින් තොරතුරු වාර්තාකරණයේ නියැලෙන්නේදැයි රටේ මාධ්‍ය ආයතන වලින් ප්‍රශ්න කරන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ සියලුම මාධ්‍ය හැගීම්බර සංවේදී සන්ත්‍රාසජනක තොරතුරු පමණක් සොයා යන බවයි.

 සාකච්ජා කළේ - චතුරංග සී. බණ්ඩාර