2020 ට ගැළපෙන අපේක්ෂකයෙක් අපි ගේනවා

2020 ට ගැළපෙන අපේක්ෂකයෙක් අපි ගේනවා

29 September 2018 11:30 pm

සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව සිය ධූර කාලයෙන් දැන් හරි අඩකටත් වඩ ගෙවා අවසන්ය. අවලාද මෙන්ම පැසසුම් මැද මෛත්‍රී - රනිල් දෙපාර්ශවය ආණ්ඩු කරන අයුරු රට පමණක්  නොව ලෝකය තවදුරටත් බලා හිඳියි. ඒ අතරම රාජපක්ෂ කඳවුරෙන් එල්ලවෙමින් තිබෙන බලපෑමද අනෙක් පසෙන් වෙයි. දෙපාර්ශවයේ දේශපාලන කඹ ඇදිල්ල අතර මේ වන විට රටේ ආර්ථිකය තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ යමින් පැවතීම, විවාදයට තුඩු දී ඇති වෙළෙඳ ගිවිසුම්, ජීවන වියදම ඉහළ යමින් පැවතීම  ආදිය මේ වන විට විශාල ලෙස කතාබහට ලක්වෙමින් ඇත. 
 
ඒ අතරම ආණ්ඩුව තුළද වරින් වර මතුවන විවාදාත්මක තත්ත්වයන් සමස්ත ක්‍රියාවලියම තවදුරටත් රත්කිරීමට සමත්වෙයි. මේ සියලු කාරණා මැද වර්තමානයේ වැඩි කතාබහට ලක්ව තිබෙන මාතෘකා කිහිපයක් පිළිබඳ සාකච්ජා කිරීමට අපි එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමඟ සම්මුඛ වූයෙමු.
 
සම්මුතිවාදීආණ්ඩුවක් ලෙස වත්මන් ශ්‍රීලනිප - එජාප ආණ්ඩුව විශේෂයෙන් පැවති  රාජපක්ෂ පාලනයට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සිට සුභසාධන හා සංවර්ධන කටයුතු රැසකට මුලපුරා ඇති නමුත් එය ජනතාවට සන්නිවේදනයේදී  යම් දුර්වලතාවක් පවතින බව පවසන හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මූලිකව අවධාරණය කරන්නේ එම සන්නිවේදන දුර්වලතාවට පිළියම් යෙදිය යුතු බවයි. 
 
මෙතන තියෙන්නේ ආණ්ඩුවේ සන්නිවේදන ප්‍රශ්නයක් 
සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සාකච්ජාවෙන්ම ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතාව දැක ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. 
 
ගිවිසුමක්  ඇතිකරගත් සැණින් සීමා මායිම්වලින් තොරව ක්‍රියා කළ නොහැකි අතර විවාදයට තුඩු දී ඇති සිංගප්පූරු ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනයන්ට යටත් බවද ඔහු ප්‍රකාශ කරයි. එහෙයින් ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ජනතාව නොමඟ යැවීම යුක්ති සහගත නොවන බව හෙතෙම පෙන්වා දෙයි. 

 කෙසේවෙතත් එළඹෙන 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් ඊට ගැළපෙන අපේක්ෂකයෙක් ඉදිරිපත්කිරීමට කටයුතු කරන අතර එහිදී එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ පාර්ශවයන් එක්වනු ඇති බවයි හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ. 
 
කිසිලෙසකින්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ට අභියෝගයක් නොවන බව ඔහු අවධාරණය කරයි. 

 මාධ්‍ය අනවශ්‍ය විදිහට මැදිහත් වෙනවා 
 
මේ මොහොත වන විට ආර්ථිකයට විශාල බලපෑමක් කර තිබෙන ඩොලරය ශක්තිමත් වීම මත රුපියල අවප්‍රමාණය වෙමින් තිබීම පිළිබඳව හර්ෂණ රාජකරුණා මහතා අදහස් දක්වමින් කියා සිටින්නේ මාධ්‍ය විසින් ඊට  අනවශ්‍ය ප්‍රචාරයක් දෙමින් සිටින බවයි. 
 
ඇමරිකාව තුළ ඩොලරය ශක්තිමත් වීම මත සෙසු බහුතරයක් ආර්ථිකයන්  වෙත මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති අතර එය කෘතිමව පාලනය කිරීම ආර්ථිකයට අයහපත් ලෙස බලපාන බවයි ඔහු පෙන්වාදෙන්නේ. 

 
 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ පහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල උච්චාවචනය කිරීම සඳහා වන මේ වන විට මිල සූත්‍රයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සෑම මසකම 10 වෙනිදාට ඉන්ධන මිල වෙනස් වීම සිදුවෙයි. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ යෑම මෙන්ම එහි ප්‍රතිවිරුද්ධයද සිදුවන බවයි ආණ්ඩුව සඳහන් කර ඇත්තේ. කෙසේවෙතත් මෙම  මිල සූත්‍රයට සමාජය තුළ එකඟතාවක් නොමැති බව පෙනෙන්නට තිබෙන කාරණයකි. 
 
මෙම ඉන්ධන මිල වෙනස් වීම සමස්ත ආර්ථිකයටම බලපැවැත්වෙන හෙයින් ඒ මත සෙසු භාණ්ඩ හා සේවා මිල සංශෝධනය වීම පිළිබඳව ද ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

 
 කෙසේවෙතත් පාරිභෝගික සේවා අධිකාරිය තවදුරටත් ශක්තිමත් කර මිල නියාමනයක් ඇති කිරීමට සාකච්ජා කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ. 
 
මේක මුලින්ම කරන්න තිබුණ වැඩක්
මෙම සියලු කාරණා මැද පැවති රාජපක්ෂ ආණ්ඩුවේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමී තැනක පසුවන බවට නොයෙක් චෝදනා එල්ල වෙමින් තිබුණි. 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ප්‍රධාන පොරොන්දුව බවට පත්ව තිබුණේද එයයි. නොයෙක් විවේචන මැද මේ වන විට විශේෂ අධිකරණ පිහිටුවමින් එම කටයුතු සක්‍රීය කිරීමට යම්  ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසන්නේ මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීම ආණ්ඩුව ආරම්භක සමයේදීම සිදුකළ යුතුව තිබූ බවයි. 

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන