71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා - නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන් - Lanka News Web (LNW)

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා - නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරලිකරුවන් පිළිබඳ පරීක්ෂණවලදී ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණගැසුනේ ඔහුගේ කාර්යාලයේදී ය. හිටපු විමර්ශන නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.

...චේගුවේරා බියුරෝව මගින් 1968 පමණ කාලයේ පටන් අපි තරුණ කැරලිකාර දේශපාලන ප්‍රවාහය ගැන සෝදිසියෙන් සිටියේ. අප මෙම ව්‍යාපාරය ගැන තොරතුරු එකතු කළා. විජේවීර ප්‍රථම වතාවට හම්බන්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අප සෝවියට් තානාපති කාර්යාලයේ තිබූ ඔහුගේ වීසා අයැදුම්පතේ පිටපතක් හා ඒ සඳහා ඔහු විසින් ලබා දී තිබූ ඡායාරූපය අප ගෙන්වා ගත්තා.

ජ.වි.පෙ. විසින් ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කිරීමෙන් පසු රහස් පොලිස් නිලධාරින්ද එම රැස්වීම්වල සැරිසැරුවා. වරක් එවැනි අවස්ථාවක රහස් පොලිස් නිලධාරියකු වූ කේ.එස්.ද. සිල්වා මහතාගේ කොළර් එකේ අපහාස වැකියක් එල්ලා තිබ්බා. කේ.එස්.ද සිල්වා මහතා හිසේ කෙස් නැති තට්ට පුද්ගලයෙකු වූ නිසා ඔහුව හඳුනාගන්න ඇති.

කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල, දෙනියාය වගේ ප්‍රදේශවල පොලිස් ස්ථාන විනාශ කළා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා. මේ නිසා පොලිස් නිලධාරින් කැරලිකරුවන් සමග යම් තරහකින් හිටියේ. ඒ නිසා යම් යම් අවස්ථාවල කර්කශ අන්දමට ක්‍රියා කරන්න ඇති.

කැරලිකරුවන් පිළිබඳ විමර්ශනයට විශ්‍රාමික පොලිස්පතිවරයකු වූ ඇලරික් අබේගුණවර්ධන මහතා ගෙන්නුවා. ඔහු නිලධාරීන් පනහක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තම විමර්ශන කටයුතු ආරම්භ කළා. මමද අයත් වූයේ මෙම පරීක්ෂණ කණ්ඩායමටයි. කැරලිකරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාවට දුන්නා. මෙම ප්‍රකාශ ලබා ගැනීමට බලය තිබ්බේ ඉයන් වික්‍රමනායක, කෙනත් සෙනෙවිරත්න, ෂන්මුගනාදන් වැනි රාජ්‍ය නීතිඥවරුන්ට. නමුත් කැරලිකරුවන්ගේ ප්‍රකාශවලින් 99% ම සටහන් කර ගත්තේ ඉයන් වික්‍රමනායකයි.

ඉයන් වික්‍රමනායක ඒ කාලයේ තනතුරු ගණනාවක් දැරුවා. ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ නියමය පරිදි විමර්ශන නිලධාරීන් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු ඉයන් ඒවා කියවා බලා අත්සන් කළා. ඔහුගේ හෝ කෙනත් සෙනෙවිරත්නගේ හෝ ෂන්මුගනාදන්ගේ අත්සනින් යුතු සාක්ෂි සටහන් පමණයි අ.යු.වි. හෙවත් සී.ජේ.සී. කොමිසම භාර ගත්තේ. කැරැල්ලෙන් පසුව රෝහණ විජේවීර රඳවා සිටි යාපනය බන්ධනාගාරයට ඉයන් වික්‍රමනායක සර්නි් විජේසූරිය, උපාලි සෙනෙවිරත්න හා මම ගියා. අපි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් තමයි උතුරට ගියේ.

අපි යාපනය කොටුවේ කිංස් පැවිලියන් කියන ගොඩනැගිල්ලේ නැවතුනා. මෙය බංගලාවක්. උසස් රජයේ නිලධාරින් යාපනයට පැමිණි විට නවතින්නේ මෙම ස්ථානයේ. රෝහණ විජේවීරගෙන් කටඋත්තර ලබා ගැනීමට අපට විශේෂ අවසරයක් ලැබුනා. අපි ප්‍රශ්න කරන්නට ගිය විගසම විජේවීර පෙන්නුවේ කෝපවූ ස්වභාවයක්. "මගෙන් අහන්න එපා ඒකිගෙන් (අගමැතිනිය සිරිමාවෝගෙන්) අහන්න" යැයි කියමින් කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව මැතිනියට දොස් කිව්වා. ඉන් පසුව කැරැල්ල ලොකු අතුලගේ වැඩක් බවටත් ප්‍රකාශ කළා.

දිගින් දිගටම විජේවීර කථා කළේ කෝපයෙන්. මෙහිදි මම මගේ රිවෝල්වරය හා හදිසි නීතිය ගැසට් පත්‍රය ඔහුට පෙන්නුවා. මම ඔහුව ඇමතුවේ විෙජ්වීර සහෝදරයා කියලා. මම කිව්වා විෙජ්වීර සහෝදරයා දන්නවා නේ මේ මොකක්ද කියලා. මේක තුවක්කුව. මේක මොකක්ද දන්නවානේ මේක ඕනෑම සැකකරුවෙකු මරා දැමීමට හා මරණ පරීක්ෂණයකින් තොරව සිරුර වළලා දැමිය හැකි බලතල තියන ගැසට් පත්‍රය. අපිට බලය තිබ්බත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි කථා කරමු. ඉන් පසුව ඔහු මඳක් මෙල්ල වුණා.

අපි විජේවීරව දිවා කාලයේ රැගෙන ගියා, ප්‍රශ්න කිරීමට කිංස් පැවිලියන් වෙතට. ඔහු බියසුළු චරිතයක්. නමුත් කථාවේ අතිදක්ෂයි. සිංහල භාෂාවෙන් කථා කොට පුද්ගලයන් නම්මා ගැනීමේ දක්ෂ අයෙක් මට ජීවිතයට දැකලා නැහැ. ඔහුගේ කථාවලින් ඇතැම් විට අපේ නිලධාරින් පවා වශී වුණා.

ප්‍රශ්න කිරීමේදී ඔහු බිය පෙන්නුවා. දාඩිය දැම්මා. ඔහුව ප්‍රශ්න කරන අතරතුර යාබද කාමරයේ නිලධාරින් අනෙකුත් සැකකරුවන්ට පහර දුන්නා. ඔවුන් කෑ ගහන ශබ්දයට විජේවීර දැක්වූයේ බියපත් වු ප්‍රතිචාර. ඔහු තමාගේ උපැස් යුවල ගැලෙව්වා. ඉන් පසුව ඔහු තම ව්‍යාපාරයේ අභ්‍යන්තරය තමන්ගේ සගයන් ගැන තොරතුරු ලබා දුන්නා. අපි ඔහුගේ කට උත්තරය පටිගත කළා. ඇතැම් අවස්ථාවලදී ඔහු අනෙකුත් කැරලිකරුවන් ගැන කළ හෙළිදරව් පටිගත වනවාට ඔහු කැමති වුණේ නැහැ. එවැනි අවස්ථාවල පටිගත කරන යන්ත්‍රය නවත්තන්න යැයි ඉල්ලීම් කළා. ඒ අනුව වරින් වර අප යන්ත්‍රය නවත්තලා ඔහුගේ කරුණුවලට සවන් දුන්නා.

දවස් 14-15 විතර මේ ආකාරයට විජේවීරව දිවා කාලයේ යාපනය කොටුවේ පිහිටි බංගලාවට ගෙන්වා ගෙන විස්තර ලබා ගත්තා. රෑට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනවා. දිනක් හදිසියේ මට බඩේ කැක්කුමක් ආවා. මාව වහාම යාපනය රෝහලට ගෙන ගියා එහිදි ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයට මාව භාජනය කෙරුනා. මාව රෝහලේ දින කිහිපයක් රඳවාගෙන පසුව ගුවන් මගින් කොළඹ ගෙනාවා. එහිදි මට ආරංචි වුණා විජේවීර මම ඔහුට රිවෝල්වරය පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීමක් පිළිබඳව බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළ බව. මම තර්ජනය කිරීමක් කළේ නැහැ. ආයුධය හා ගැසට් පත්‍රය පෙන්වා බලතල අනුව නොව සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවයි කීවේ. මේ පිළිබඳව යාපනය පොලිස් අධිකාරී එස්. පී. සුන්දරලිංගම් මහතා පරීක්ෂණයක් කළා. මෙම පරීක්ෂණය එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා දක්වා ගියා.

ලොකු අතුල අත්අඩංගුවට පත් වූයේ ප්‍රහාරයේ දී. එදා සිටි ඉහල නායකයන් සටන මඟහරිද්දී ප්‍රහාරයේ සිටයේ ලොකු අතුල විතරයි. ඔහු චේගුවේරා නිල ඇදුම පිටින් සී.අයි.ඩී. එකේ හතරවන තට්ටුවට ගෙනාවා. ඔහුගේ කකුලක් පවා තුවාල වෙලා තිබුනා. ඉහල නායකයන් සටන කර අරිද්දී සටනේ සිටි ලොකු අතුල කෙරෙහි පොලිස් හා හමුදා නිලධාරීන් කෙරෙහි යම් ගරුත්වයක් තිබුනා. ඉයන් වික්‍රමනායක මහතා වහාම පියවර ගත්තා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට.

ප්‍රතිකාරවලින් පසු යළිත් මට ලොකු අතුල මුනගැසුනා හතරවන තට්ටුවේදී. ඔහු අපෙන් ඉල්ලුවා සර් මට මගේ කෙල්ල සොයලා දෙන්න. කියලා. ඔහුගේ පෙම්වතිය ධම්මිකාත් ප්‍රහාරයේ හිටියා. ඇයත් සිටියේ අත්අඩංගුවේ. අප ධම්මිකාට ලොකු අතුලව මුනගස්සවලා දුන්නා. ඒ අවස්ථාව ඉතා හැඟීම්බර මොහොතක්. ඇය දැන් ඔහුගේ බිරිඳ.

වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්‍රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල් බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්‍යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුණා. අපි විසඳුමක් සොයා ගත්තා.

අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල් ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල් බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන්වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්‍යාජ නම්. උදාහරණයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්‍රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිළිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි වුණා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. ඒ නිසා ඔහුව දැක්කත් හඳුනාගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ.

විරාජ් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම අපට සත්‍ය පැවසුවේ නැහැ. ඔහු සේවය කළේ කැකිරාව පැත්තේ විරාජ් හොඳ පවුල් පසුබිමකින් පැමිණි උගත්, ඉංග්‍රිසි භාෂාව කතා කළ හැකි තරුණයෙක්. ඔහුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු චේගුවේරා පෙන්නපන් කියලා ඔහුට පහර දී තිබුණා. ඒ කාලේ ඇතැම් කොස්තාපල්වරු චේගුවේරා කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියෙත් නැහැ.

විරාජ් අප ළඟට ගෙන්වා ගැනීමෙන් පසු ඔහුට අපි හොඳට සත්කාර කළා. හිරිහැර කළේ නැහැ. විරාජ් බුද්ධිමත්. ඒ වගේම ලිස්සා යන පිළිතුරු දුන්නේ. අපිට අනෙක් අයගේ සාක්ෂිවලින් දැනගන්නට ලැබුනා විරාජ් වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදී බෝම්බ සාදන අයුරු ගැන දේශනයක් කළ බව. මම මේ කරුණු ඇසුවේ වටින් ගොඩින්. මුලින්ම ඇසුවා විරාජ්ගෙන් ඔයා වනාතමුල්ලට ගිහිල්ලා තියනවාද? ඔහු කිව්වා ඔව් ඕවල් එකේ මැච් බලන්න ගිහිල්ලා තියනවා. ඉන් පසුව මට ඔස්මන්ඩ් ගැන ඇහුවා. එවිට විරාජ් කියා සිටියා ඔස්මන් ගැන නොදන්නා බව. අප විසින් ප්‍රශ්න කරන ලද සැකකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කලා. එදා විරාජ් ඔස්මන්ඩ්ගේ ගෙදර බෝම්බ නිෂ්පාදනය ගැන දේශනය කරපු අයුරු. එවිට විරාජ් එය පිළිගත්තා. ඔහු විස්තර පැවසූවා. යළිත් කටඋත්තර දීම නවත්වා අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක හමුවිය යුතු බවට බල කළා. නමුත් මම ඔහුට පෙන්වා දුන්නා එවැනි ඉල්ලීමකට ඉඩ නොදිය හැකි බව. එවිට ඔහු ප්‍රකාශ කළා ලන්ඩනයේ තමා හා ගිනි පුපුර සංවිධානය අතර තිබූ සම්බන්ධතා. කුමාර් රූපසිංහ හා සුනේත්‍රා සමග ඔහුට තිබු මිත්‍රකම යනාදිය. මැණික් ගෙන යාම ගැනත් ඔහු කිව්වා. විරාජ් පැවසූ පරිදි සුනෙත්‍රාට බන්ඩාරනායක මැතිණිය හා විජේවීර අතර හමුවක් සංවිධානය කිරීමට අවශ්‍ය කෙරුනා කැරැල්ලට පෙර. නමුත් එම හමුව ආරක්ෂක අංශවල උපදෙස් මත පැවැත්වූයේ නැහැ. එහි යම් සත්‍යතාවක් තියෙන්න ඇති. විරාජ් සුනේත්‍රා පිළිබඳ කළ ප්‍රකාශය ඔහුගේ කටඋත්තරයට අඩංගු කළේ නැහැ. එය ඉහලින් පැමිණි නියෝගයක්. ඇතැම් විට සුනේත්‍රාවද මෙයට පැටලිම මගින් යම් කේවල් කිරීමක් විරාජ් බලාපොරොත්තු වන්නට ඇතැයි මට සිතෙනවා.

විරාජ් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එස්. නඩේසන්. ඔහු ඉයන් වික්‍රමනායක සාක්ෂි කූඩුවට නංවා බොහෝ සෙයින් ප්‍රශ්න කළා. ඉයන් අ.යු.වි. කොමිසමේ දී වාර 100 පමන සාක්ෂි දුන්නා. සෑම අවස්ථාවකම ඔහු ඇඳ සිටියේ එකිනෙකට වෙනස් ටයි කෝට්. ඔහු විශාල ටයි පටියක් පැලදුවා. අප අතර විහිළුවක් තිබුනා මුලින්ම පේන්නේ ටයි එක ඉන් පසුව දකින්නේ ඉයන් ලෙසට.

ඉයන් ඔහුගේ යටත් නිලධාරින්ට ආවරණය දෙමින් ඉදිරිපත් වී සාක්ෂි දුන්නා. වර්තමානයේ උසස් නිලධාරින්ට එවැනි කොන්දක් තිබේද පවා මට සැකයි. ඔවුන් බොහෝ විට පහල නිලධාරින්ගේ ඛෙල්ල ඉදිරිපත් කොට තමා ගැලවෙනවා. නමුත් ඉයන් එසේ කලේ නැහැ. කැරැල්ල මර්දනයේදී ඉයන් විසින් කළ කාර්යභාරය තවමත් ඇගයීමකට ලක් වෙලා නැහැ.

අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වූ විිට ඇතැම් විත්තිකරුවන් අත්අඩංගුවේ සිටියේ නැහැ. නමුත් ඔවුන් නොමැතිව නඩු විභාගය ආරම්භ වුණා. මට ඔත්තුවක් ලැබුනා ඩබ්ලිව්. ටි. කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස්කරු සිටින තැන පිළිබඳව.

ඉන්කම්ටැක්ස් කරු රත්නපුර දිස්ත්‍රික්කයේ තිරුවාණ කැටිය ප්‍රදේශයේ නවාතැනක සිටියේ වෙනත් නමකින්. අපි ඔහු සිටි නවාතැනට ගොස් ඇසුවා කොහොමද කරු කියලා. ඔහු වික්ෂිප්ත වුණා. මම කිව්වා දැන් ලොකු අතුල ඇතුළු ඔබගේ මිතුරන් සෑම දෙනා පාහේ අපි ළඟ ඉන්නවා අපිත් එක්ක යං යනාදි වශයෙන්. කරු නිහඬවම අපි සමඟ ආවා.

ඒ වගේම යාපනයේ බාස්කරන්, ලිනස් ජයතිලක පියතුමා වැනි පුද්ගලයන් පිළිබඳවත් අපි පරීක්ෂණ පැවැත්වූවා. බාස්කරන් ගුරුවරයෙක්. ඔහු එස්.ඩී. බන්ඩාරනායකගේ මිතුරෙක්. විජේවීර එස්. ඩී. බණ්ඩාරනායක හරහා යාපනයේ තරුණයන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ වෑයමක නිතර වූවා. ඒත් එය සාර්ථක වූයේ නැහැ.

ලීනස් ජයතිලක දිළිඳු ධීවර පවුලක දරුවෙක්. ලීනස් පූජකවරයෙක් බවට පත් වුන නමුත් ඔහු යම් ආකාරයක රැඩිකල් චරිතයක්. ඔහු කැරලිකරුවන්ට යම් හිතවත්කමක් පෑවා.

71 කැරැල්ල පිලිබඳ විමර්ශනය කණ්ඩායම් වැඩක්. අපි ඉතා සහයෝගයෙන් කැපවී වැඩ කළා. බොහෝ දිනවල අපි රැය ගත කළේ කාර්යාලයේ. විමර්ශන කටයුතුවලදි මා සමඟ ඉතා සහයෝගයෙන් යුද හමුදාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්‍රියා කළා. ඔහු එවකට කපිතාන්වරයෙක්.

අපි කැරලිකරුවන් සමඟ පෞද්ගලික ආරෝවක් තිබුනේ නැහැ. අපි කළේ අපේ රැකියාව. අපිට නියමිතව තිබුනා රට ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් වැලැක්වීම අපගේ පරම යුතුකමක්. අපි රජය, ජනතාව ආරක්ෂා කළා.

මම විශ්‍රාම ගියේ 1996 දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසට. 1988 කැරැල්ල අවස්ථාවේ දී අපට විශේෂ වැඩ කොටසක් ලැබුනේ නැහැ. එහෙත් වරක් ඉතා උසස් පොලිස් නිලධාරියෙක් මට බැන්නා ඔහේලා 1971 දී මුං (විජේවීර ඇතුළු නායකයන්) මරා දැමුවෙ නැති එකේ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ කියලා. මම ඒ කතාවට එකඟ වුණේ නැහැ. අපිට බලය තිබුනා කැරැල්ලේ නායකයන් මරා දමන්න. අපි ක්‍රියා කළේ හිතට එකඟවම. වැදගත් තොරතුරු ලබා ගැනීමේදී පහර දීමට බලය පාවිච්චි කරන්න සිදු වෙනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ්, එෆ්.බී.අයි. ආයතනය පවා කරනවා. නමුත් තිරිසන් ක්‍රමයට මිනිසුන්ට වද දීම මා අනුමත කළේ නැහැ.

විජේවීර නිදහස් වුනු පසු ටවුන් හෝල් එකේ පැවති මුල්ම රැස්වීමේදී මට හා සර්නි විජේසූරියට දොස් පැවරුවා. නමුත් 1988 කැරැල්ලේදී ඔහුට ගනුදෙනු කිරීමට සිදු වූයේ අප වැනි නිලධාරින් සමඟ නොවේ. ඔවුන් අප කළාක් මෙන් විජේවීරට සැලකුවේ නැහැ. ඔහුව මරා දමන්ට පසුබට වූයේ නැහැ. එය විජේවීර තේරුම් ගත්තද යන්න මට සැකයි.

සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම්. ජයතුංග

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...