‘‘ආවා කල්ලිය පට්ටපල් බොරුවක්!‘‘- දකුණ නොදන්න උතුරේ කතාව - 1 කොටස

‘‘ආවා කල්ලිය පට්ටපල් බොරුවක්!‘‘- දකුණ නොදන්න උතුරේ කතාව - 1 කොටස

4 February 2019 09:53 am

අරුලානන්දම් අරුන්, උතුරු පළාතේ ක්‍රියාත්මක සමාජ සාධාරණත්වය සඳහා වන තරුණ ව්‍යාපාරයක කැඳවුම්කරු වශයෙන් අප සොයා ආවේ, උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන සත්‍ය ජීවන අත්දැකීම් සාක්ෂි සහිතව අප සමග බෙදාහදා ගන්නට ය. මෙතැන් පටන් දිග හැරෙන්නේ ‘ඔහුගේ වචන‘වලින්, ‘ඔවුන්ගේ කතාව‘යි.

‘‘යාපනයේ ආවා කල්ලිය යනුවෙන් ප්‍රශ්නයක් පවතින බව දිගින් දිගටම යාපනයේ මාධ්‍යවලත් දකුණේ මාධ්‍යවලත් අන්තර්ජාතිකවත් ප්‍රචාරය වනවා. ඒ ප්‍රශ්නය දැන් හොඳට විකිණෙනවා. මුලින්ම මම කියන්න කැමතියි, උතුරු පළාතේ, ඒ කියන්නෙ යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව තුළ ආවා කල්ලිය කියන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් කිසිසේත්ම නෑ.

උතුරු පළාතේ අපරාධ කල්ලි තිබුණා. නැතිව නෙවෙයි. ‘මණ්ඩියන් ගෘෘප්‘ කියල එකක් ඉස්සර තිබුණා. එය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සහෝදරයෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු එකක්. කරුණා අම්මාන් යටතේ නොතිබුණත් ‘අම්මාන් ගෘෘප්‘කියල එකක් තිබුණා, ‘දීනා ගෘෘප්‘ කියල එකකුත් තිබුණා. උතුරෙ විතරක් නෙවෙයි, අපි දන්නවා දකුණෙත් පාතාල කල්ලි වගේ දේවල් තියෙනවා. ඒ වගේ නොවුණත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන සංවිධානාත්මක කල්ලි හිටියා. ඒ නම්වලින් පැරා මිලිටරි කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. හැබැයි ආවා ගෘෘප් කියල නම් ගෘෘප් එකක් නෑ. ඒක පට්ටපල් බොරුවක්.

 

‘ආවා‘ නම හැදුණු හැටි

‘ආවා‘ කියන වචනෙම දෙමළ වචනයක් නෙවෙයි. එතකොට මේක මේ විදිහට මීඩියාවල යන්නෙ කෙහොමද?

උතුරෙ අපිට නයිට් ක්ලබ්ස් නෑ. කැසිනෝ නෑ. ගණිකා වෘත්තිය තිබුණට ගණිකා මධ්‍යස්ථාන නෑ. අවන්හල් නෑ. තේමා උද්‍යාන නෑ. සිනමා ශාලා එකක් දෙකක් තිබුණත් ඒවා ඇතුළට යන්නම රුපියල් එක්දාස් පන්සීයක් දෙදහක් ඕනෙ. කොකාකෝලා එකක් ඒක ඇතුළෙදි බොනව නම් රුපියල් පන්සීයක් දාහක් ඕනෙ. උද්‍යාන, ක්‍රීඩාංගන එකක් දෙකක් නමට තිබුණත් ඒවා නැතිතරම්. ඒ කියන්නෙ ගම්මාන ඇතුළෙ ක්‍රීඩාංගන නෑ. ප්‍රජා ශාලා එකක් තියෙන ක්‍රීඩාංගනවලත් කිසිම දෙයක් නැති තරම්. අපි කොළඹ රාජගිරියෙ දැක්කා පයින් ඇවිදගෙන යන්න හැදුව පාක් එකක්. නමුත් යාපනයෙ තරුණ ප්‍රජාවට මේ විදිහට කිසිම දෙයක් නෑ. ඒ අයට පාරෙ ඉන්නත් බෑ.

එතකොට යාපනයෙ ඉන්න අපිට තියෙන එකම විනෝදාස්වාදය ලබාගත හැකි ක්‍රමය කෝවිල්. හැම තැනම කෝවිල් තියෙනවා. හදිස්සියකට යන්න පොදු වැසිකිළියක් නෑ-ඒත් කෝවිල් තියෙනවා. නිකං හරි ඇදගෙන වැටුණොත් කෝවිලක ඉස්සරහ තමයි, වැටෙන්න වෙන්නෙ. එතකොට අපි විතරක් නෙවෙයි, මිනිස්සුන්ගෙන් සියේට අනූවක්ම කෝවිල් යන්නෙ වෙන යන්න තැනක් නැති නිසයි. නල්ලූර් කෝවිලේ උත්සව කාලෙට මිනිස්සු ලක්ෂ 5 ක් 6 ක් එනවා. ඒ හැම කෙනෙක්ම දෙයියො වඳින්න එන අය කියල කියනව නම්...

 

ආවා කල්ලියේ යැයි කියා අල්ලාගත් පළමු තරුණයා - විනෝදන් ගැන ඇත්ත කතාව

අපිට තියෙනව ඉනිවිල්වල කන්දසාමි කියල කෝවිලක්. යාපනය නගරයේ ඉඳන් කිලෝමීටර 7-8 ක් විතර ඈතින් තියෙන ඒ කෝවිල ළඟ තමයි, කුමරේසරත්නම් විනෝදන් කියන, ආවා එකේ කියල මුලින්ම අල්ලගෙන ගිය ළමයා (ඉනිවිල් පදිංචිකරුවෙකි), චුන්නාගම්වල ඉන්න මම ඇතුළු තරුණයො එකතු වෙන තැන. එතන තියෙන ග්‍රවුන්ඩ් එකේ අපි සෙල්ලම් කරනවා. කතා කරකර ඉන්නවා. එක දවසක් කුමරේසරත්නම් විනෝදන් කියන මේ තරුණයා ඇතුළු කණ්ඩායමයි, තවත් කණ්ඩායමකුයි අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. අවුරුදු 18-19-20 වයසෙදි හැම තරුණයෙක්ම ඔහොම තමයි. ඉක්මනට කේන්තියනවා. ගැටවරයන්ගෙ ප්‍රශ්න. ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවෙලා, එක්කෙනෙකුගෙන් පිහිපාරක් අනෙක් එක්කෙනාට වදිනවා. මේ ප්‍රශ්නය පොලිසියට යනවා. පොලිසියෙන් විනෝදන්ගෙ ගෙදරට හොයාගෙන යනවා.

යාපනයෙ, උතුරු පළාතෙ පොලිස් වසම් පණස් ගාණක් තිබෙනවා. මේ පොලිසිවල දෙමළ දන්න පොලිස් නිලධාරීන් සෑහෙන්න අඩුයි. ප්‍රතිශතය අනුව බැලුවොත් දශම ගාණක්. හැමදාම මේක අපිට ප්‍රශ්නයක්. අපි පොලිසියට ගියාම දෙමළ කතා කරන්න පුළුවන් පොලිස් නිලධාරීන් තවමත් හරියට නැහැ. එතකොට ෆීල්ඩ් විසිට්වලට යන්නෙත් සිංහල භාෂාව කතා කරන පොලිස් නිලධාරීන්. සමහර විට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් එක්කරගෙන යනවා. සමහර තැන්වල ඒ විදිහට එක්කරගෙන යන්නෙත් නෑ, යන එක්කෙනාට දෙමළ දන්නෙත් නෑ.

ඒ විදිහට ගිහිල්ලා පොලිසිය අහනවා විනෝදන්ගෙ අම්මගෙන්, ‘‘අම්මෙ, විනෝදන් ආවා? (ආවද?)‘‘ කියලා. දෙතුන් වතාවක් ඒ විදිහට අහනවා. අම්මට ඒ අහන එක තේරෙන්නෙ නෑ. අම්මට විතරක් නෙවෙයි, ඒ වෙලාවෙ එතැන හිටිය අනෙක් අයටත් ඒ අහන දේ තේරෙන්නෙ නෑ. අපේ ගම්වල පොලිසියෙන් ගමට ආව ගමන් ගමේ අය එතැන පිරෙනවා. අපේ ගම්වල සිංහල මනුස්සයෙක් තවමත් දැකල නැති දෙමළ මිනිස්සු ඉන්නවා. බහුතරයක් ඒ විදිහ අය. අපිට පොලිස් යුනිෆෝම් එකක් දැක්කම, පොලිස් භටයෙක් දැක්කාම අපි ආරක්ෂිතයි කියල හිතෙන්නෙ නෑ. අපිට ඒ වෙනුවට බයක් තමයි හිතෙන්නෙ...

ඉතින් මේ අම්මා කිසිදෙයක් දන්නෙත් නෑ. ගමේ කට්ටිය අහනවා මොකද මේ විනෝදන්ට ආව ආව කියන්නෙ කියලා. මොකද මේ වෙද්දි පුතා හැංගිලා හිටියෙ. ඒත් හැංගිලා ඉන්න ළමයා අම්මත් එක්ක කතා කරනවනෙ දුරකථනයෙන්. එතකොට විනෝදන්ගෙ වයස අවුරුදු 21 යි. අම්මා කතා කරද්දි පුතාට කියනවා, පොලිසියෙන් ඇවිල්ලා ආවා ආවා කියල උඹව හොයන්නෙ මොකටද කියල අම්මා පුතාගෙන් අහනවා . ඊට පස්සෙ පුතා අනෙක් අයගෙන් අහනවා, මොනවද බං ආව කියන්නෙ කියලා. ඔය විදිහට තමයි, ඔය ආවා කියන කතාව පැතිරෙන්නෙ.

එහෙම කතාව ගියාට ඒ කතාව මේ තරම් ස්ථාපිත වෙන්න හේතුව තමයි, 2014 ජනවාරි 8 වැනිදා උදයන් පත්තරේ පළ වුණු වාර්තාව. පළවෙනි වතාවට ආවා ප්‍රශ්නය ගැන පත්තරේක පළ වෙනවා. ගෑණු ළමෙක් ගැනයි, ආවා කල්ලිය පාවිච්චි කරන ආයුධ ටිකයි, අල්ලපු විදිහකුයි ඔක්කොම එක්ක උදයන් පත්තරේ පළ වෙනවා.

 

උදයන් පුවත්පතේ හිමිකරු TNA මන්ත්‍රී සරවනභවන්!

උදයන් පත්තරේ අයිතිකරු TNA මන්ත්‍රී සරවනභවන්. එයාට යාපනේ අය කියන්නෙ ‘සෆ්රා සරවනභවන්‘ කියලයි. සෆ්රා කියල කියන්නෙ, එයා 80 දශකයෙ අග භාගයෙ සෆ්රා කියල ෆිනෑන්ස් සමාගමක් නඩත්තු කළා. ඒකෙන් වැඩි පොලියක් දෙනව කියල මිනිස්සුන්ගෙ සල්ලි තැන්පතු විදිහට ගත්තා. නමුත් ඒ කට්ටිය සමාගම වහල දාල ලන්ඩන්වලට ගියා. තවම ඒ රිසිට් අපි ගාවත් තියෙනවා. මිනිස්සු ගාවත් තියෙනවා. අන්තර්ජාලයෙත් තියෙනවා. ඕනෙ නම් අපි රිසිට් ඕනෙ තරම් අරන් දෙන්නම්.. තාමත් සරවනභවන් පාර්ලිමේන්තු මන්ත්‍රී.

සරවනභවන්ගෙ පත්තරේ මේ සිද්ධිය පළවෙන්නෙ ‘‘යාපනයෙ සිදුවන කැපිලි කෙටිලි සිදුවීමක් සම්බන්ධයෙන් 13 දෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. මේ කල්ලියෙ ගෑණු කෙනෙකුත් ඉන්නවා. තව පස්දෙනෙක්ව අපි හොයනවා. අත්අඩංගුවට ගත්ත අයගෙන් කඩු 12 ක් අත්බෝම්බ 2 ක් ඇතුළු දැඩි ලෙස තුවාළ කරන්න පුළුවන් ආයුධ හොයාගත්තා.ආවා කල්ලිය පාවිච්චි කෙරුව යතුරුපැදි 9 ක් අත්අඩංගුවට ගෙන තියෙනව‘‘ කියලයි.

මේ අය නිව්ස් එක දානකොටවත් කවදාවත් ‘පොලිසියෙන් පවසන ලදී‘ කියලවත් පළ කරන්නෙ නෑ. රිපෝට්ර්ස්ලා ගිහින් හොයල බලල ලියනව වගේ පළ කරනවා. හැබැයි අහගන්නෙ පොලිසියෙන්. නැතිනම් කොහේ හරි වෙබ් සයිට් එකකින් කට් ඇන්ඩ් පේස්ට් කරනවා. මේ පත්තරේ වාර්තාකරණය සම්බන්ධයෙන් අපිට සාක්ෂි ඇතුව මේ බව ඔප්පු කරන්න පුළුවන්. මේ පත්තරේ රිපෝටර්ලා ගොඩක් දෙනෙක් සිංහල දන්නෙත් නෑ. ඉංග්‍රීසි දන්නෙත් නෑ. උසාවියෙදි අපි කියන කතාව නෙවෙයි, පළ කරන්නෙ. මම ඉංග්‍රීසි භාෂාවෙන් එක වතාවක් විනිසුරුට කියපු දේ වෙන විදිහකට තමයි, ඒ පත්තරේ පළ වුණේ. එහෙම තමයි, මේ පත්තරේ කරන්නෙ.

කෝපායි පොලිසිය කෙහෙල් කොටුවෙන් අත්බෝම්බ ඇල්ලූ හැටි!

හරි.. මෙතැන මේ අත්බෝම්බ දෙකක් ඇල්ලුව කියල කියනවනෙ. අපි ඊට පස්සෙ උසාවි ගිහිල්ලා විනෝදන්ගෙ බී වාර්තාව ගත්තා. බී වාර්තාවෙ තියෙනවා විනෝදන්ගෙ ගෙදර තිබුණු කෙහෙල් කොටුව ඇතුළෙ තිබිල තමයි, අත්බෝම්බ ඇල්ලුවෙ කියලා. ඒක තමයි, පොලිසිය උසාවියට කිව්වෙ. ඒ වුණාට විනෝදන්ලගෙ ගෙදර කෙහෙල් කොටුවක් නෙවෙයි, කෙහෙල් පැළයක්වත් නෑ!

නඩුව දැම්මෙ 2014 අවුරුද්දෙ. පොලිසියට පස්සෙ හරිගිහින් කෙහෙල් පැළ හිටවන්න හරි තිබුණා! එහෙම හරි ඒක ඇත්ත කරන්න තිබුණනෙ.. එහෙමත් නෑ. අද වෙනකල්වත් විනෝදන්ලගෙ ගෙදර කෙහෙල් කොටුවක් තියා කෙහෙල් පැළයක්වත් නෑ!

විනෝදන් අවුරුදු එකහමාරක් විතර හිරේ හිටියා. බෝම්බ තිබුණයි කිව්වාම දරුණු චෝදනාවක් නිසා මුලින් ඇප දුන්නෙත් නෑ. පස්සෙ එයා එළියට ආවම මේ වෙද්දි තමයි සනාථ වෙලා තියෙන්නෙ බෝම්බ තිබ්බෙ නෑ කියලා..!

විනෝදන්ට විතරක් නෙවෙයි, යාපනයේ බෝම්බ කේස් දැනට 10කට වැඩියෙන් 2009 න් පස්සෙ මේ විදිහට දාල තියෙනවා. මේ ගැන ඔක්කොම විස්තර දෙන්න පුළුවන්. මේ ඔක්කොම පොඩි පොඩි තරුණයන්ට විරුද්ධව තමයි, දාල තියෙන්නෙ.

බෝම්බ තියාගෙන උසාවියෙදිත් බෝම්බ ගහපු කට්ටිය ඔක්කොම පාර්ලිමේන්තුවෙ හෙන කූල් එකේ ඉන්නවා. දෙමළ මන්ත්‍රීලම තමයි. ඕනෙ නම් නම් කියන්නම්. මේ මිනීමැරුම් කොහෙද කළේ කියල කියන්නම්..

පොලිස් වධහිංසා

එතකොට විනෝදන්වයි එයාගෙ යාළුවන්වයි අරන් ගිහින් මේ විදිහට අත්අඩංගුටව ගත්තා.හොඳටම වධහිංසා කළා. සමහර අයට පස්සාපැත්තට කොකාකෝලා බෝතලුත් ඔබල තියෙනවා..

අවුරුදු 18,19,20,21 වයස්වල මේ ළමයින්ව උඩ එල්ලලා, ඇඳුම් නැතුව තියලා, මූණ වහලා මූණට පෙට්‍රල් දාල තියෙනවා. පුච්චලා තියෙනවා. ඇඟිලි, හන්දි කඩලා තියෙනවා. ඒ කාලෙ හතරවැනි තට්ටුව, බූස්ස වගේ තැන්වල එල්ටීටීඊ කාලෙ වෙච්ච දේවල් වගේම. සමහර අය මේව ඉවසගෙන ඉන්න බැරුව සිය දිවි නසා ගන්නවා. ඊයෙ පෙරේදා කෝපායි පොලිසියෙදි ළමයෙක් බ්ලේඩ් එකකින් බෙල්ල කපාගෙන මැරෙන්න ගියා. මේ කරන වධහිංසා, ගහන හැටි දරාගන්න බැරි වුණාම මිනිස්සු එහෙම වෙනවා.

එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කියල තියෙනව නේද ටෝචර් කරන්න බෑ කියලා. උතුර ඕනෙ නෑ, ඕනෙම කෙකෙුගෙන් අහල බලන්න පොලිසිය කොහොමද සමස්ත ලංකාවෙ ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා. මේක මම දන්න විදිහට උතුරෙ විතරක් නෙවෙයි, දකුණෙ කොල්ලෙකුටත් ඕකම තමයි වෙන්නෙ. දකුණෙ මොණරාගල ඉන්නෙ කොල්ලෙකුටත් ඕකමයි වෙන්නෙ, යාපනයෙ ඉන්න කොල්ලෙකුටත් ඕකමයි වෙන්නෙ.. කොළඹ ඉන්න කොල්ලන්ට ඒව වෙන්නෙ නෑ කියල කියනව නෙවෙයි, කොළඹත් කුලී වැඩ කරන, සල්ලි නැති මිනිස්සු, බලය නැති මිනිස්සුන්ට තමයි ඔය වගේ දේවල් වෙන්නෙ...අහිංසක දුප්පත් මිනිස්සුන්ට බලයක් නෑ කියල හිතාගෙන ඒවගේ දේවල් කරනවා.

 

ආවා කල්ලියේ ගෑණු ළමයා ගැන ඇත්ත කතාව

එතකොට උදයන් පත්තරේ වාර්තාවෙ තියෙනවා, ආවා කල්ලියට සම්බන්ධ ගෑණු ළමයෙක් අත්අඩංගුවට ගන්න හොයනව කියලා. මේක වුණු හැටි දැන් කියන්නම්.

මෙතැනදි වුණේ මේ ගෑණු ළමයට කට්ටියක් ඇවිත් කියනවා, ඔයාගෙ මල්ලිව කෝපායි පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනව කියලා. මේ ළමයගෙ නම නිත්‍යා. අපේ යාළුවෙක්ගෙ අක්ක කෙනෙක් නිසා අපි කියන්නෙ නිත්‍යා අක්කා කියලයි. ඒක දැනගෙන එයා කෝපායි පොලිසියට දුවගෙන යනවා. එහෙම ගියාම මොකක්ද ප්‍රශ්නෙ කියල ඇහුවාම එයා පොලිසියට කියනවා, මල්ලිව අත්අඩංගුවට අරන් තියෙනවා කියලා. මල්ලිගෙ නම මොකක්ද කියල ඇහුවාම ‘විනෝද්‘ කියල කියනවා. එතකොට එයාගෙ හැඳුනුම්පත ඉල්ලගෙන ඒ පොලිස් නිලධාරීන් පොලිසිය ඇතුළට ගිහින්.

පැය බාගයක් විතර මේ විදිහට ගත වෙනවා. හැඳුනුම්පත අරගෙන පොලිසිය ඇතුළට ගිය කෙනාත් නෑ, මල්ලිව පේන්නත් නෑ. ඒ නිසා නිත්‍යා පොලිසිය ඇතුළට ගිහින් බලනකොට කූඩුවෙ දාල ඉන්නවා කුමරේසරත්නම් විනෝදන්. එයාගෙ නම විනෝදන් නිසා එයාටත් විනෝද් කියල කියනවා. ඉතින් ඒ ඉන්නෙ වෙන විනෝද් කෙනෙක්. එයාගෙ මල්ලි නෙවෙයි. හරි මේ අපේ මල්ලි නෙවෙයි, වෙන කෙනෙක් කියල දැනගෙන නිත්‍යා එළියට ගිහින් ආයෙමත් වාඩි වෙලා ඉන්නවා හැඳුනුම්පත ගෙනත් දෙනකල් ඒකත් අරන් ගෙදර යන්න....

ආපහු පැය බාගයක් විතර ගියා. ඒත් කවුරුවත් නෑ. සාමාන්‍යයෙන් පොලිසියට ගෑණු ළමයි යනව කියන්නෙ හරියට සුයිසයිඩ් කරගන්නව වගේ වැඩක්. එහෙම යනවට වැඩිය හොඳයි කොහේ හරි ගඟට පැනල මැරෙන එක. දැන් ගෙදර යන්න පරක්කු වෙනවා. එයාට ගෙදරින් දුරකථන ඇමතුම් එනවා. ඔහොම යද්දි එතනම හිටිය වයසක පොලිස් නිලධාරියෙක් කියල තියෙනව ඒ ළමයට, ‘‘දුව, ඔතන ඉන්න එපා, ඔයාවත් අත්අඩංගුවට අරගෙන ඇතුළට දාන්න ඇතුළෙ කතා වෙනවා. ඔයා ඔහොමම යන්න‘‘ කියලා. එතකොට මෙයා කියල තියෙනවා එතකොට මගෙ අයිඩින්ටි කාඩ් එක නෑ සර්‘‘ කියලා. එතකොට ‘‘නෑ. නෑ. ඔයාව ඇතුළට දාන්න යන්නෙ, ඒකද ලොකු මේකද.. ඔයා ඔහොමම යන්න‘‘ කියල පොලිසියෙන් කියල දෙමළ භාෂාවෙන් ඒ පොලිස් නිලධාරියා කියල තියෙනවා. ඊට පස්සෙ ඒ ළමයා ගෙදරට දුවගෙන ඇවිත් අම්මල මේ විස්තරේ කියල තියෙනවා. අම්මත් බය වෙලා. ඊට පස්සෙ ඒ අය වෙන නෑදෑ ගෙදරක ගිහින් එදා දවසෙ ඉඳලා තියෙනවා. ඒ අයිඩින්ටි කාඩ් එක දීපු කෙනාගෙන නම, අයිඩින්ටි කාඩ් එකේ අංකයත් එක්ක ඊළඟ දවසෙ ආවා කල්ලියෙ ගෑණු කෙනෙක් ගැන පත්තරේ පළ වෙනවා.

ඒ ළමයා ඒ වෙනකොට බැඳලා ළමයෙක් ඉන්නවා. මහත්තයා යුරෝපා රටක හිටියෙ. ප්‍රංශයෙද කොහෙද.. ළමයත් එක්ක ඒ රටට යන්න මේ සිද්ධිය වෙද්දි මාස එකහමාරයි තිබුණෙ. ළමයටත් වයස අවුරුදු එකහමාරයි. ඒ අතරෙ තමයි 2014 අවුරුද්දෙ මෙහෙම කළේ. දැන් 2019 වෙද්දි ඒ ළමයව ඒ මහත්තයා දික්කසාද කරල තියෙනවා. දැන් ඒ ළමයට කිසි දෙයක් නෑ පාරෙ. මේ නැතිවෙච්ච ජීවිතේ, කෝපායි පොලිසියට ආපහු දෙන්න පුළුවන්ද...? නැතිනම් කෝපායි පොලිස්කාරයෙකුගෙ දුවකට මෙහෙම කළා නම් හරිද..? එතකොට දරාගන්න පුළුවන්ද? මෙහෙම තමයි, යාපනය පොලිසියෙ ක්‍රියාවලිය.

සුමන්තිරන්ගේ උත්තරේ

උදයන් පත්තරේ මේ සිද්ධිය මේ විදිහට දැම්මට පස්සෙ හැම මීඩියා එකකින්ම ඒක ඒ විදිහට ගියා. ඊට පස්සෙ සුමන්දිරන් මන්ත්‍රීවරයගෙන් එක වෙලාවක ස්වාධීන රූපවාහිනී සේවය අහනවා, ‘‘ඔබ නේද යාපනය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී. අපිට එන තොරතුරුවල හැටියට ඩයස්පෝරා එකෙන් එන සල්ලිවලින් එහෙ ඉන්න තරුණයො සංවිධානය කරලා එල්ටීටීඊ වගේ එකක් පටන් ගන්න ලෑස්ති වෙන බව තමයි, අපිට නම් මාධ්‍යවල දැකගන්න ලැබෙන්නෙ“ කියලා ආවා කියන නම ආව හැටි ගැන අහනවා. එතකොට සුමන්දිරන් කියනවා, ‘‘මේ ළමයව පොලිසියෙන් හොයාගෙන ගිහින් තියෙනවා මේ ආවා එකෙන් කියල ඇතුළට ගත්ත ළමයගෙ ගෙදරට, ගිහිල්ලා, අම්මේ ෆොටෝ එකක් දෙන්න පුතාගෙ කියලා. එතකොට අම්මා දුන්නලු ෆොටෝ එකක්, පොඩි කාලෙ හාව වගේ පාසල් කාලෙ විකට ඇඳුම් තරගෙකට වගේ ඉන්න ෆොටෝ එකක්. ඒ නිසා තමයි මේ ළමයට හාවා (ආවා) කියල නම ආවෙ කියලා.‘‘

එතකොට හිතල බලන්න අපි මේ වගේ විකට ඇඳුම් තරගවලට යන්නෙ කොයි වගේ පන්තියෙදිද කියලා. ඕක වෙන්නෙ දෙක, තුන, හතර වගේ පන්තිවලදි. එකකොට කෝපායි පොලිසියෙන් අරන් ගියෙ දෙකේ පන්තියෙදි ගත්ත ෆොටෝ එකක්ද? එතකොට පොලිසිය මෝඩයිද? නැතිනම් දීපු අම්මල මෝඩයිද? නැතිනම් මේක දාපු මාධ්‍ය මෝඩයිද? නැතිනම් මේ කතාව කියපු සුමන්දිරන් මෝඩයිද...?“

 

දෙවන කොටස බලාපොරොත්තු වන්න.

පසු සටහන: මෙම ලිපි පෙළෙහි අන්තර්ගත වන්නේ යාපනයේ අරුන් විසින් ලබාදුන් වීඩියෝ සම්මුඛ සාකච්ඡා පෙළකදී ඔහු ලබාදුන් ප්‍රකාශ වේ. මෙහි සඳහන් කරුණු පිළිබඳ වෙනත් පාර්ශවයකට යම් කරුණු කියාපෑමක් කළ යුතු නම් ඒ සඳහා පිළිතුරු දීමේ අයිතිය ද පවතින බව සිහිපත් කරමු.