‘ගේ මැරේජ් කතා කරන්න කලින් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි..’ ප්‍රායෝගික ලෝකය ගැන කතා කරන මංජු

‘ගේ මැරේජ් කතා කරන්න කලින් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි..’ ප්‍රායෝගික ලෝකය ගැන කතා කරන මංජු

11 February 2019 08:30 am

ප්‍රසන්න හේමාල් නම් ඔහු කවුරුත් හඳුනන්නේ මංජු නමිනි. මංජු ගේ කතාව තරමක් වෙනස්. ශ්‍රී ලාංකික සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන්ගේ ගැටළු හා ඔවුන්ගේ මානව හිමිකම් අරගලය තුළ හඬ අවදි කරවන්නන්ගේ ජීවන වෘතාන්ත තුළ ගවේශණාත්මක ප්‍රවේශයක් ගනිමින් අප මෙතෙක් ඉදිරිපත් කළ ලිපි පෙළට මෙවර අදහස් දක්වන මංජු HIV නිවාරණය හා මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක කාර්‍යාල භාර නිලධාරී වශයෙන්ද, ශ්‍රී ලංකා අධි අවදානම් කණ්ඩායම් අතර HIV නිවාරණය උදෙසා රජය හා අනුබද්ධිත ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා MSM ප්‍රජාවන් කේන්ද්‍ර කොට ගත් ප්‍රධාන නියෝජිත වශයෙන් ද කටයුතු කරයි.

වෘත්තීය දිවිය තුළත් පෞද්ගලික දිවිය තුළත් කාගෙත් සිත් ගත් චරිතයක් වූ මංජු අප හමුවන විටදී තම වෘත්තීය කාර්‍යභාරයන් මඳකට පසෙක ලා අප සමඟ කතාබස් කිරීමට මුල්තැන දුන්නේ ඔහුගේම කාර්‍යාල කාමරය තුළය.

දෙමව්පියෝ හැමදාමත් මාත් සමඟ සිටියා

පාසල් අවධිය කටුක අත්දැකීමක් වූයේ දැයි අපි මංජුගෙන් විමසුවෙමු. එයට පිළිතුරු දුන් මංජු පැවසුවේ පාසල් ජීවිතය කටුක අත්දැකීමක් ලෙස ඔහු නොදකින බවටත්, සැවොම සමඟ සුහදව කටයුතු කළ බවටත් ය. සමරිසි ප්‍රජාව කොන්ද පන නැත්තන් යැයි හංවඩු ගැසීමේ සමාජ ව්‍යර්‍තය නිශ්ප්‍රභ කරමින් මංජු තම පාසල් අත්දැකීම ගෙන හැර පෑවේ මෙලෙසිනි.

“පාසල තුළ සමරිසි දරුවන්ට විවිධ කෙනහිලිකම් සිදුවීම සාමාන්‍ය දෙයක් යැයි මඟහැර යාමට මම කැමති නැහැ. එය වහා වෙනස් විය යුතුයි. මමත් පාසල් කාලයක් ගත කළා. ඒත් මම මගේ සමරිසි බව කවදාවත් ඒකට බාධාවක් කර ගත්තේ නැහැ. හැමෝම සමඟ මා සුහදව කටයුතු කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක විදියටත් මම කටයුතු කළා. මගේ පාසල් කාලය කටුක අත්දැකීමක් නෙවෙයි.  

අපි කාටත් කියන්න පාසල් ආදර කතාවක් තියනවා. මටත් හිත ගිය පිරිමි ලමුන් සිටියා. ඒත් මම පිළිගන්නවා මගේ ආදරය කවදාවත් ඔවුනට වචනයෙන් ප්‍රකාශ කරන්න මම ගියේ නැහැ. හැමදාම හිතින් මවා ගත්තු ආදර ලෝකයක සිටියේ. මොකද පාසල තුළ මට හිමි වැට සීමාවන් පිළිබඳ හොඳ අවබෝධයකින් මම හිටියා.”

තමා ජීවත් වූ ප්‍රදේශයේ කාගෙත් සිතාදරයට පාත්‍ර වූ තරුණයකු වශයෙන් මංජු ගත කළ ජීවිතයේ දෙමාපිය ආශිර්වාදය ද ඔහුට තිබිණ. තම දරුවා ගේ සිතුම් පැතුම් වෙනස් බව වටහා ගත් මංජුගේ දෙමාපියන්ට එය ගැටළුවක් නොවීය.

“මගේ දෙමව්පියන් හැමදාම මාත් සමඟ සිටියා, ඔවුන්ට කිසිදාක මගේ ලිංගිකත්වය ගැටළුවක් වුණේ නැහැ. මා ජීවත් වූ ප්‍රදේශයේ මිනිසුන් පවා එහෙමයි. මට ආදරෙයි. ඒත් මගේ අම්මා ගේ හිතේ යම් දෙගිඩියාවක් තිබුණා මා කවදා හෝ විවාහයක් කර ගෙන ජීවිතයේ ස්ථායි තත්ත්වයකට නොපැමිණේ දෝ කියන කාරණය පිළිබඳ. නමුත් මම අදටත්  හොඳ ස්ථාවර ජීවිතයක් ගත කරනවා. මම වෘත්තිකයෙක්. මගේ දෙමාපියන් වත් මම හොඳින් බලා කියා ගන්නවා. මගේ පවුලෙන් ලොකුම විරෝධය පැමිණියේ මගේ වැඩිමහල් සහෝදරයා ගෙන්. ඒ උරණ වීම අදටත් ඔහු තුළ තිබෙනවා.”

විසි වසරක ගුරු වෘත්තියට සමුදීම

පාසල් අධ්‍යාපනය නිමකර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයවූ ඩිප්ලෝමා පාඨමාලාව හා ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ මංජු ගුරු වෘත්තියට පිවිසුණි. උපාධිධාරී ගුරුවරයකු ලෙස ගත කළ කාලවකවානුවේ ආචාර්‍ය මණ්ඩලය අතරත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරත් සිත්ගත් චරිතයක් බවට මංජු පත්විය. එහෙත් ගුරුවරයකු ලෙස විසි වසරකට ආසන්න කලයක් සිදුකළ ගුරු සේවාවට අවසන් තිත තබමින් මංජුගේ දිවියේ තීරණාත්මක වෙනසක් සිදුවන්නේ තම අනන්‍යතාවය හමුවේ මුහුණ පෑමට සිදුවූ අභියෝගයකට සම්මුතිවාදී පිළිතුරක් සොයමිනි.    

“මට ප්‍රජාවේ මිතුරන් සිටියා. අපි අතරත් සුහද හමුවීම්, සමාජ ක්‍රියාකාරකම්, උත්සව වගේ දේවල් පැවැත්වුණා. ඒ වගේම රජයත් එක්ක සිදුකරන HIV නිවාරණ ව්‍යාපෘතියේ ප්‍රජා සාමාජිකයන් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරවීම සඳහා සායන වලට රැගෙන යාම වැනි කර්‍තව්‍යයන් වලටත් මම දායක වුණා. ඒත් මගේ පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් කවදාවත් පටළවාගෙන වැඩ කරේ නැහැ. හැමදාම මගේ පෞද්ගලික ජීවිතය වෙන් කර තබා ගැනීමට මම කටයුතු කළා. කොහොම නමුත් මගෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවකුගේම දෙමාපියෙක් මා මේ ප්‍රජා මිතුරන් සමඟ කාලය ගත කරන අයුරු දැක තිබුණා. ඈ මේ ගැන පාසලේ ප්‍රධාන ආචාර්‍යවරයා දැනුවත් කර තිබුණා. ඒ නිසා මට පාසල් ප්‍රධාන ආචාර්‍යවරයා සමඟ මේ පිළිබඳ කතා කරන්නට සිදුවුණා. මම ඉතාමත් පැහැදිලිව කරුණු වටහලා දුන්නා ප්‍රධාන ආචාර්‍යතුමන්ට. පාසල් ආචාර්‍ය මණ්ඩලයට හෝ ප්‍රධාන ආචාර්‍යතුමන්ට මගේ පෞද්ගලික ජීවිතය ගැටළුවක් නොවුනත්, අර මව ලොකු ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා අනෙත් දරුවන්ගේ දෙමාපියන් අතර. මේ නිසා මට දෙමාපියන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වන්නට පටන් ගත්තා. තත්ත්වය උග්‍ර වෙන්නට කළින් මගේ කැමැත්තෙන් ම මම ඉල්ලා අස්වීම දීලා ආවා.”   

දෙමාපියන්ගේ විරෝධය මධ්‍යයේ කවදත් සැමගේ සිත්ගත් මංජු සර් ට තම විසි වසරකට ආසන්න ගුරු ජීවිතයට සමු දෙන්නට සිදුවිය. එහෙත් ඒ හැරවුම් ලක්ෂය තුළ මංජුට තම ජීවිතය පිළිබඳ නව අරමුණක් ඇතිවිය. එනම් මේ සිදුවූ අසාධාරණය තවකෙකුට වීමට ඉඩ නොතැබීමයි. මංජු ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවන්ගේ මානව හිමිකම් ව්‍යාපාරය තුළ සක්‍රිය ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කිරීමට පටන් ගන්නේ මේ අවධියේදී ය.   

LGBTIQ කියන්නේ කුඩු ගැසීම වත් සෙක්ස් සෙවීම වත් නෙවෙයි!

LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය තුළ දස වසරකට ආසන්න කාලයක් කටයුතු කළ මංජු ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය, සෞඛ්‍යය අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ විවිධ ව්‍යාපෘතීන් හා සම්බන්ධව කටයුතු කළේය. ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාව මුහුණ පාන ප්‍රධාන අභියෝගය කුමක්දැයි අප නැඟූ පැනයට ඒ ඇසුරෙන් ලද අත්දැකීම් තුළින් ගොනු කළ මංජුගේ පිළිතුර මෙබඳු විය.

“LGBTIQ ප්‍රජාව කියන්නේ ලිංගිකත්වයෙන් හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයෙන් බහුතරයකට වඩා වෙනස් වන ප්‍රජාවක්. ඔවුන් සිටින්නේත් මේ සමාජය තුළම තමයි. හැබැයි මේ කතන්දරයත් එක්කම මිනිසුන්ගේ මොළ වලට කවපු දෙයක් තියනවා. ඒ තමයි මුන් තමයි සෙක්ස් හොය හොය ඉන්නේ කියලා. මුන් තමයි ලෙඩ බෝ කරන්නේ කියලා. ඒත් LGBTIQ ප්‍රජාව කියන්නේත් සිතුම් පැතුම් තිබෙන, අනෙකා ගේ දුක හඳුනන, සංවේදී මිනිසුන් කොට්ඨාශයක් කියලා දකින්න බැරි ඇයි? ආදරය, දයාව, කරුණාව ඔවුන්ටත් දැනෙනවා කියලා හිතෙන්නේ නැත්තේ ඇයි? ලිංගිකත්වය මත පුද්ගලයකු වෙනස් වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ එයා සෙක්ස් හොයනවා කියන එකද? සෙක්ස් කියන්නේ මනුෂ්‍ය අවශ්‍යතාවයක්. ඒක සමරිසි ද විෂමලිංගික ද කියලා නෑ. හැමෝටම පොදු දෙයක්. ඒක මනුෂ්‍යයකුගේ පෞද්ගලිකත්වය සම්බන්ධ කාරණයක්. සමරිසිභාවය මනුෂ්‍යයකුගේ අභ්‍යන්තර හැඟීමක්. ඒක රටේ ජීවත්වන්න බලපාන්නේ නෑ. ඒක අධ්‍යාපනය හදාරන්න, රැකියාවක් කරන්න, රටේ ආර්ථිකයට දායක වන්න බලපාන්නේ නෑ.”

මෙවන් වැරදි චිත්‍රයක් LGBTIQ ප්‍රජාව පිළිබඳ මිනිසුන්ගේ සිත් තුළ ඇතිව තිබෙන්නේ ඇයිද යන්න අපි විමසුවෙමු.

“මම හිතන විදියට මේක සිද්ධ වෙන්නේ නිවැරදි තොරතුරු නිසි පරිදි සමාජ ගත නොවීම නිසායි. රටේ තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි මේ පිළිබඳ තොරතුරු බොහෝ වෙලාවට තිබෙන්නේ ඉංග්‍රීසි බසින්. LGBTIQ ප්‍රජාව පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූවත්, සුභවාදී ප්‍රවෘත්තියක් පුවත්පතක පළ කළත් ඒවා සන්නිවේදනය වන්නේ අර ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන ලියන කියන යම් පුද්ගල කොට්ඨාශයකට විතරයි. රටේ බහුතරයක් ඉන්නේ සිංහල කතා කරන මිනිසුන්. දමිළ කතා කරන මිනිසුන්ට තේරෙන්නේ ම නෑ. මේ තොරතුරු ඔවුන්ටත් නිවැරදිව සන්නිවේදනය වන්නට නම් සියළු කරුණු ත්‍රෛභාෂික විය යුතුයි. සමහර විට ඉංග්‍රීසියෙන් තිබෙන දෙය සිංහලට හෝ දමිළ බසට පරිවර්තනය කරත් නිවැරදි තොරතුර ඒ අයුරින්ම සන්නිවේදනය වනවා ද කියන එකත් ඇත්තටම ගැටළු සහගතයි.”

මාධ්‍යය තුළ ද අඩුපාඩුවක් දකින මංජු LGBTIQ ප්‍රජාව ඉදිරියේ මාධ්‍යය හැසිරවීම පිළිබඳ පළකළේ මෙවන් අදහසකි.

“මට මතකයි එක්තරා රූපවාහිනී නාලිකාවක පළවූ ටෙලිනාට්‍යයක සමරිසි අනන්‍යතාවක් හැඟවෙන චරිතයක් පෙන්වනවා. ඒ චරිතය විහිළුවට ලක්කරලා එතනින් නවතින්නේ නෑ. ඒත් එක්කම පෙන්වනවා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කෙනෙකු බවට. දැන් මේකෙන් සමාජයට යන පණිවුඩය තමයි සමරිසියෝ තමයි කුඩු ගහන්නේ කියලා. මත්ද්‍රව්‍යයි ලිංගිකත්වයයි අතර සම්බන්ධයක් නෑ. මෙය වෙනස් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මාධ්‍යය LGBTIQ ප්‍රජාව අමුතු මිනිසුන් කොට්ඨාශයක් විදියට පෙන්වීම, නැත්නම් සමාජයේ මොනවා හරි එක දෙයක් විතරක් කරන්නට සිටින පිරිසක් විදියට පෙන්වීම  ඉතාම වැරදියි. වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, කළමනාකාරවරුන්.. මේ හැම පුද්ගල කොට්ඨාශයකම LGBTIQ ප්‍රජා නියෝජනයක් තිබෙනවා.”    

අපටම කියාපු ඉහළ සෞඛ්‍යය සේවාවක් තිබෙනවා

ඉතිහාසය පුරා සෞඛ්‍යය සේවය තුළ LGBTIQ ප්‍රජාවන් හට මුහුණ පෑමට සිදුවූ විවිධ ගැටළු, වෙනස් කොට සැලකීම් හා කොන් කොට සැලකීම් බොහොමයක් මේ වන විට අවම වී පවතින බවට මංජු ගේ විශ්වාසයයි. අනෙකුත් සෞඛ්‍යමය අවශ්‍යතාවන් මෙන්ම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ද LGBTIQ ප්‍රජාවන්ට වැදගත් වන නිසා ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයමය ගැටළු වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කිරීමට බිය විය යුතු නැති බවට මංජු පවසයි.

“ඉස්සර ගොඩක් ගැටළු තිබුණා, සෞඛ්‍යය කාර්‍යමණ්ඩල වල, ඇතැම් විට වෛද්‍යවරුන්ගේ පවා. තමන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටළුවක් ඉදිරිපත් කිරීමට අපේ ප්‍රජාවේ සහෝදර සහෝදරියන් බිය වන්නේ ඒ නිසයි. නමුත් දැන් තත්ත්වය ගොඩක් අතට වෙනස් වී තිබෙනවා. මේ තිබෙන බය නිසා ලොකු මුදලක් වියදම් කරලා පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්ෂාවක් කර ගන්න අය ඉන්නවා. ඒත් හැමෝටම ඒ හැකියාව නෑ. අප රජයෙන් ඉහළ ප්‍රමිතියකින් යුතු සෞඛ්‍යය සේවාවක් නොමිලේ ම ලබා ගැනීමේ හැකියාව තිබෙද්දීත් එම අවස්ථාව මඟ හැර ගන්න එපා කියලා තමයි මට නම් කියන්න තිබෙන්නේ. දැන් වෛද්‍ය කාර්‍යමණ්ඩලය හා අනෙත් සෞඛ්‍යය කාර්‍යමණ්ලයන් සමරිසි පුද්ගලයන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවනවා.”  

අපි අපි අතරත් ගැටළු තියනවා

රටක යම් ප්‍රතිශතයක් නියෝජනය කරන ප්‍රජාවක් හැටියට, LGBTIQ ප්‍රජාව මේ මානව හිමිකම් අරගලය තුළ නිර්භය ව ඉදිරියට යෑමට ප්‍රජාවක් හැටියට ඔවුනට පැවරෙන වගකීම් සමුදාය කෙසේ දැයි අපි මංජුගෙන් විමසුවෙමු. මංජු විශ්වාස කරන්නේ ප්‍රජාවක් හැටියට ඉදිරියට යාමට ප්‍රජාව අතර පවතින අභ්‍යන්තර ගැටළු විශාල බාධාවක් ව පවතින බවයි. එම බාධාවන් හමුවේ ප්‍රජාව කල්ලි ගැසී හෝ කණ්ඩායම් වලට බෙදී පැවතීම ප්‍රජා එකමුතුභාවය හීන කරවන්නක් බව මංජු අදහස් දරයි.

“ශ්‍රී ලංකාවේ LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය ආරම්භ වෙලා දැන් අවුරුදු 25ක් පමණ ගත වෙලා. එදා ඉඳන් අද වෙනතුරුත් තාමත් අපි මේ ගැන කතා කරනවා. අපි අපි අතරේ ගැටළු තිබෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ අපිට. මේ අරගලය තුළ එක සේ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට ලක්වන ප්‍රජාවක් අපි. අපි එකා වගේ මෙතනදී හිඳීම අනිවාර්යයි. අපි අපි අතර කුමන වෙනස්කම් තිබුණත් අපි හැමෝම හඬ නඟන්නේ එක අරමුණක් වෙනුවෙන්. ඒ නිදහස් නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මේ රටේ ජීවත් වෙන්න තිබෙන අයිතිය ලබා ගැනීම. සමාජය තුළ අප දකින කේලම් ඕප දූප කීම්, ළඟම සිටින්නා ට කැපීම්.. මේ දේවල් ප්‍රජාව තුළත් පවතින බව කණගාටුවෙන් වුවත් පවසන්නට සිදුවෙනවා. මේවා සිදුකරන්නේ යම් පිරිසක් විසින්. හැමෝම නෙමෙයි. ඒත් ඒ තුළින් දෙදරා යන්නේ අපේම ප්‍රජාවේ සහෝදර සහෝදරියන් තුළ පවතින එකමුතුභාවය හා විශ්වාසයයි. මම විශ්වාස කරනවා අප මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා.”  

දේදුනු කොඩි ඔසවා ගෙන සිටීමෙන් ඔබ්බට යා යුතුයි! දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි!!

මංජු සමඟ පැවති කතාබහේ අවසාන අදියර තුළ ඔහු විසින් ඉදිරිපත් කළ වැදගත් කරුණු කිහිපයක් විය.

රටක දේශපාලන වාතාවරණය තුළ සුභවාදී මත දරන්නන් යම් පිරිසක් සිටීත් ද, ඔවුන්ගේ හඬ ද විහිළුවට ලක්වන්නේ පෞද්ගලිකත්වයට පවා පහර ගසමින් බව මංජු පවසයි. LGBTIQ ප්‍රජා නිදහස පිළිබඳ ප්‍රගතිශීලී වූවද, තමන්ගේ පැවැත්ම ඒ මත තීරණාත්මක වන්නේ නම් කිසිවකුත් මේ පිළිබඳ කතා කිරීමට ඉදිරිපත් නොවන බව මංජු ගේ අදහසයි.   

“අපි යම් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී නම් අපි ඔක්කොටම කලිං හිතන්නේ අපේ පැවැත්ම ඒ තුළින් තහවුරු කර ගන්න. LGBTIQ ප්‍රජාව අතරත් ඔය ගැටළුව තියනවා. මේ ගැන කතා කරන්න පොරොන්දු වුණත් ඒකෙන් තමන්ට හානියක් වෙනවා නම් එතනින් එහාට වචනයක් වත් කතා කරන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන්නට සූදානම් වන බව අපිට දැනගන්නට ලැබුණා. මේ වෙනුවෙන්ම රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් හා මන්ත්‍රීවරියක් අපිව මුණගැහිලා කතා කරලා තිබුණා. ඔවුන් මේ පිළිබඳ කතා කරන්නට ගියාම ඒ මන්ත්‍රීවරිය ගෙන් ඈ ලෙස්බියන් කෙනෙක් ද කියලත්, මන්ත්‍රීවරයාගෙන් ඔහු කොලුකාරයෙක් ද කියලත් අහලා තිබුණා. ඉතින් ඔහොමයි පාලකයන් ප්‍රතිචාර දක්වන්නේ.. අදටත් ඒ දැනුවත් කිරීමේ වැඩසටහනට සිදුවූ දෙයක් නැහැ. පාර්ලිමේන්තු නියෝජනය 225 ක් වෙන කොට දෙදෙනෙක් මේ ගැන දැනුවත් වෙලා හිටියට වැඩක් නෑනේ..”

මංජු පවසන අන්දමට ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවේ පැවැත්ම පිළිබඳ සංවාදය කලින් කලට ඉහළ පහළ යන්නේ පාර්ශව කිහිපයක උවමනාව මත රැල්ලක් මෙන් විනා සැබවින් වෙනසක් කිරීමේ අරමුණින් කතිකාවක් ගොඩනැඟී ඇත් ද යන්න පිළිබඳ ගැටළුවක් පවතී. මංජු මත දරන්නේ ඒ මොහොතට ලද පන්නරයකට බෝඩ් පුවරුවක් හෝ දේදුනු කොඩියක් අතැතිව මහමඟට බැස ප්‍රජා අයීතීන් ඉල්ලා සිටියද දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් කිසිවිටක ශ්‍රී ලංකාවේ නොපැවති බවයි.

“විටින් විට මේ මාතෘකාව එළියට පනින අවස්ථා එනවා. GSP+ සහන ගැන කතා කිරීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලීන සමාලෝචනය ගැන කතා කිරීමේදී. ඒත් ඒ හැම දෙයක්ම උඩට ඇවිල්ලා දැන් ආයෙත් යටට ගිහින්. මේ රටේ ජනාධිපතිගේ සමනල ප්‍රකාශයට එරෙහිව අපි හැමෝම පාරට බැස්සා. ඒත් දැන් ඒ උණුසුම ආගිය අතක් නෑ. මේ LGBTIQ ප්‍රජාව කියන්නේ කවුද, ඇයි ඒ ගොල්ලන්ගේ මානව හිමිකම් උල්ලංඝනය  වෙන්නේ, ඇයි ඒ ගොල්ලන්ගේ මානව හිමිකම් සුරක්ෂිත විය යුත්තේ.. අපි මේ ඉල්ලන්නේ සමරිසි විවාහය නීති ගත කරන්න නෙමෙයි. අපි ඉල්ලන්නේ සාපරාධී කොට්ඨාශයක් හැටියට අපිව නීතිය ඉදිරියේ හංවඩු ගැසීම නතර කරන ලෙසයි. මේ හැම දෙයක් ගැනම බිම් මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථරයකම දැනුවත් වීම් සිදුවිය යුතුයි. ගමේ ඉන්න පොඩි මිනිහා, පාර්ලිමේන්තු නියෝජනයෙන් පහළ සිටින නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව.. මේ හැම ස්ථරයක්ම. ස්ටෙප්-බයි-ස්ටෙප් යන්න ඕනේ. සෝඩා බෝතලයක් කැඩුවා වගේ ඒ වෙලාවට ලබන පන්නරයට අපි කෑ ගැහුවට වැඩක් නෑ. බෝඩ් ලෑල්ලට, දේදුනු කොඩියට එහා දෙයක් සිද්ධ වෙන්න අවශ්‍යයි. දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. එහෙම නැතුව මේ අපි බලාපොරොත්තු වන නිදහස නැමති ජයග්‍රහණයේ කුසලානය කරා ලඟා වන්නට කිසිදාක අපට බැහැ.”    

MIAP