රාජිතත් වැරදියි - වකුගඩු ජාවාරම ගැන හෙව්වද? නැහැ. පාදෙණියගේ විනිමය වංචාව හෙව්වද? නැහැ

රාජිතත් වැරදියි - වකුගඩු ජාවාරම ගැන හෙව්වද? නැහැ. පාදෙණියගේ විනිමය වංචාව හෙව්වද? නැහැ

11 February 2019 08:19 am

වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) මෙරට වෘත්තීය සමිති අතර ඉදිරිපෙළ වෘත්තීය සමිතියකි. ඉතා සක්‍රීය මට්ටමේ පවතින මෙම වෘත්තීය සමිතියට විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රජාව අතරින්ම හොඳ මෙන්ම නොහොදද එල්ල වෙයි.

 

වර්තමානය වන විට විශේෂයෙන් විෂය භාර අමාත්‍යවරයා සමඟ දිගින් දිගටම ඔවුන් කටයුතු කරමින් සිටින්නේ විරුද්ධවාදී ආකල්ප සමඟිනි. තවදුරටත් ඔවුනොවුන්ට එකඟතාවන්ට පැමිණීමේ ඉඩක ඇත්ද යන්න පවා සැකයට තුඩු දෙන්නක් වී තිබේ.

මේ අතරින් වෛද්‍ය ප්‍රජාව අතරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එල්ලවන බරපතලම චෝදනාව වන්නේ ඔවුන් සිය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳා ගැනීම පසෙකලා රටේ සෙසු ජාතික ප්‍රශ්නවලට පමණක් මැදිහත් වෙමින් සිටින බවයි. විශේෂයෙන් පසුගිය වසර හතරක පමණ කාලය තුළ ඔවුන් සම්පුර්ණයෙන් පාහේ විෂය භාර අමාත්‍යවරයා සමඟ ගැටුම් නිර්මාණය කරගැනීමට උත්සහ දැරීමක් පමණක් සිදුකරමින් සිටින බවට චෝදනා නැගෙයි.

මෙකී ගල්, මල් මැද පසුගිය 07 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය(GMOF) කරළියට පැමිණියේය. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා මෙන්ම අභියෝග රැසක්ද එල්ල කරමිනි. සිය වෘත්තීය ගරුත්වය පවා පසෙක තබමින් පෞද්ගලික හා දේශපාලන න්‍යාය පත්‍රයන් ජයග්‍රහණය කරගැනීම උදෙසා වෘත්තීය සමිතිය අවභාවිතයේ යොදවමින් සිටින බවට GMOF පැහැදිලිව අවධාරණය කරයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සමඟ ලංකා නිවුස් වෙබ් සංවාදගත වූයේ තවදුරටත් මේ වෘත්තීය සමිති ගැටුම පිළිබඳ අලගිය මුලගිය තැන් සොයාගනු සඳහාය.

පාදෙණියට ඕනේ සෞඛ්‍ය ඇමති වෙන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සිය අනාගත දේශපාලන ප්‍රතිරූපය සකස් කරගැනීම සඳහා වෘත්තීය සමිතිය යොදාගනිමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ල මහතා කියා සිටියේය. එය පොදුවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ බලාපොරොත්තුව නොවන අතර එලෙස පෞද්ගලික අරමුණක් වෙනුවෙන් වෘත්තීය සමිතියක් යොදා ගන්නේ කෙලෙසද යන ප්‍රශ්නය බෙල්ලන මහතා නගයි.

ඒ අනුව වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්න ගැටළු විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සක්‍රීය කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කරයි.

ඇමතිවරයා සමඟ ගැටෙන්නේ පාදෙණියගේ නොහැකියාව නිසා

පසුගිය වසර හතරක පමණ කාලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන් දෛනික රාජකාරියේදී මුහුණ දෙන ගැටළු කිසිවකට විසඳුම් ලබා ගැනීමට මැදිහත් නොවූ අතර මේ වන විට ඔවුන් ඊට අසමත්වී සිටින බවයි රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ. දිගින් දිගටම විෂයභාර අමාත්‍යවරයා සමඟ ගැටුම් නිර්මාණය කරගැනීමට උත්සහ දරමින් සිටින්නේ එම නොහැකියාව වසා ගැනීමට බව ඔහු අවධාරණය කරයි.

රු.මිලියන 84කට මොනවද වෙන්නේ කියල හොයල බලන්න

විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජික මුදල් අවභාවිත කරමින් සිටින බව බෙල්ලන මහතා අනාවරණ කරයි.

"මිලියන හතලිස් ගණනක් වසරකට කාබාසිනියා කරන්නේ මොන අරමුණු වෙනුවෙන්ද? සාමාජිකයින්ගෙන් අවුරුද්දකට දෙදාහක් අරගෙන ඒ දෙදාහත් මදි කියල දැන් හාරදාහක් කරලා. ලබන වසරේ ඒ සංගමයට ලැබෙන ආදායම මිලියන 84ක්. මිලියන 84 මොනවදට වියදම් කරන්නේ කියලා හොයලා බලන්න......."

රාජිතත් වැරදියි - වකුගඩු ජාවාරම ගැන හෙව්වද? නැහැ .පාදෙණියගේ විදේශ විනිමය වංචාව හෙව්වද? නැහැ

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභිකයන්ගේ දුෂණ, අක්‍රමිකතා පැහැදිලිව තියෙද්දී ඒ පිළිබඳව රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර නොමැති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.

ආන්දෝලනාත්මක වකුගඩු ජාවාරම මෙන්ම වෛද්‍ය පාදෙණියට එරෙහිව ඇති විදේශ විනිමය වංචාව පිළිබඳ චෝදනාවද විමර්ශනය කර නොමැති බවයි ඔහු කියා සිටින්නේ.

2002 වසරේ කඩයිම් විභාගයේදීද වෛද්‍ය පාදෙණිය වංචනික ලෙස කටයුතු කර ඇතත් ඒ සම්බන්ධයෙන්ද විධිමත් විමර්ශනයක් නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

GMOA එකට "සයිටම්" ප්‍රශ්නයක් වුණේ 2015න් පස්සේ

"2010 සිට 2015 දක්වා රජයට එරෙහි වී සිටීමට කටයුතු නොකළ කාරණා 2015 පස්සේ ඉදිරිපත් වෙනවා නම් අපිට ඒකට එකඟ වෙන්න බැහැ. උදාහරණයක් වශයෙන් සයිටම් ප්‍රශ්නය. සයිටම් එක GMOA එකට ප්‍රශ්නයක් වුණේ 2015න් පස්සේ......"

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැබෑ වුවමනාවකින් වෛද්‍ය වෘත්තියේ සහ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න ගැන මැදිහත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන