සමාජ පිළිගැනීම ඉල්ලා නාද වන වෙඩිමුරය.. සමරිසිභාවය හා තාරුණ්‍යයේ ජවය

සමාජ පිළිගැනීම ඉල්ලා නාද වන වෙඩිමුරය.. සමරිසිභාවය හා තාරුණ්‍යයේ ජවය

17 February 2019 04:12 am

ඔහු හෝමාගම පදිංචි ෆිරෝන් ය. ශ්‍රී ලාංකික සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන් පිළිබඳ අප ඉදිරිපත් කළ ලිපි පෙළට මෙවර අදහසින් දායක වන ෆිරෝන් යං අවුට් හියර් ශ්‍රී ලංකා තරුණ සංවිධානය සමඟ කටයුතු කරන තරුණ මානව හිමිකම් ක්‍රියාකරුවකි. පාසල් අවධියේදී ම තම ලිංගිකත්වය තම මිතුරන්ට හෙලි කිරීමට නොපසුබට වූ ෆිරෝන් පවසා සිටියේ ඔහුගේ සියළුම මිතුරන් පාහේ එය ගැටළුවක් කර නොගත් බවයි.

පවුලේ හා යහළු මිත්‍රයින් ගේ පිළිගැනීම

“අ.පො.ස. සාමාන්‍ය පෙළ අවධියේදී තමයි මම කීවේ මගේ මිතුරන් ට මම සමරිසි කියලා. ඒ ගොල්ලෝ හැමෝම විෂම ලිංගික පුද්ගලයින්.. ඔවුනට මගේ ලිංගිකත්වය ගැටළුවක් වුණේ නෑ. මගේ ලිංගිකත්වය මගේ දෙමාපියන් සමඟත් පැවසීමට අවශ්‍ය බව මම ඔවුන් සමඟ පවසා සිටියා. ඒ මොහොතේ නම් ඔවුන් තුළ නොසන්සුන් බවක් ඇතිවුණා කියන්න පුළුවන්. මට අවවාද කළා එසේ නොකරන ලෙසට.”

ෆිරෝන් ගේ මිතුරන් පවසා සිටියේ මෙම පුවත ඔහුගේ පවුලේ සාමාජිකයන් සුභවාදී අන්දමින් නොගනු ඇති බවටත්, තම සමරිසිභාවය හෙලි කලහොත් පවුල හැර දමා යාමට සිදුවනු ඇති බවටත් ය. මෙම කාලවකවානුවේදී ෆිරෝන් ගේ අසල්වැසියකු හදිසි අනතුරකට මුහුණ පාන අතර, ඔහුට සාත්තු සේවා කිරීමට ෆිරෝන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි.

“ඔහුව බලා කියා ගැනීමට දිනපතාම මම ඔහුගේ නිවස වෙත ගියා. ඔහුත් සමඟ ගොඩක් වේලා කාලය ගත කරා. මගේ පවුලේ උදවිය මා සහ අපගේ අසල්වැසියා අතර පැවති මේ මිත්‍රත්වය විවිධ අන්දමින් අර්තකථනය කරන්න ගත්තා.. මට තේරුණා ඔවුන් මා පිළිබඳ සැක කරන බවට. ඒ නිසා මගේ මවට මා ආකර්ෂණය වන්නේ පිරිමි ළමුන් හට පමණක් බවත් කිසිදාක ගැහැණු ළමයකු කෙරේ සිත් පහළ වන්නේ නැති බවත් හෙලි කරා.”

මෙම හෙලිදරව්වත් සමඟ ෆිරෝන් ගේ මව ප්‍රතිචාර දක්වා තිබුණේ ඈ මේ පිළිබඳ බොහෝ කලක සිට දැන සිටි බවත්, අවසානයේ හෝ මේ පිළිබඳ ඈ වෙත හෙලිකිරීම පිළිබඳ ඈ සතුටු වන බවත් ය.

“මගේ මව ඉතාම බුද්ධිමත් කාන්තාවක්, ඈ ඉතා හොඳින් මා තේරුම් ගත්තා. ඒ වගේම සමාන ලිංගයේ පුද්ගලයන් හට ආකර්ෂණය වන මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා යැයිද පැවසුවා. ඈ මට පැවසුවා මම කා සමඟ ජීවත් වන්නට තීරණය කළත්, කාට ආදරය කළත්, කිසිදාක මා දරුකමින් අතාරින්නේ නැති බවට. කිසිදාක මා හට විවාහ වන්නට හෝ මාගේ ජීවන විලාශය වෙනස් කර ගැනීමට බලපෑම් නොකරන බවට පොරොන්දු වුණු මගේ මව ජීවිතයේ වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසටත් අවවාද කළා.”

තම පුතු තවත් පිරිමියකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වන බව දැනගත් ෆිරෝන් ගේ පියා, මේ පිළිබඳව විවෘතව කතා කිරීමට තීරණය කරයි.

“මගේ පියා මට අවවාද කළා කිසිවකුට මගේ ජීවන විලාශය හෝ මා ජීවිතයේ ගන්නා තීන්දු තීරණ වෙත බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙසට. ඒ වගේම මගේ පෞරෂත්වය ගොඩනඟා ගැනීමටත් ඔහු මට අවවාද කළා. මේ වන විට, සියළුම දෙනා, මගේ පවුල, මගේ මිත්‍රයින්, සේවා ස්ථානයේ පුද්ගලයින්, මා පිළිබඳ දන්නවා. ඔවුන් බොහොම සහයෝගයෙන් මාත් සමඟ සිටිනවා. කිසිවිටකත් මා කොන් කරන්නේ නැහැ.”  

LGBTIQ ප්‍රජාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කෙරේ දැඩි විශ්වාසයක ෆිරෝන් පසු වෙයි. තම ලිංගිකත්වය මත වෙනස්කම් හා කෙනහිලිකම් වලට බඳුන් වූ සෑම විටකම, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට ගත් උත්සාහය පිළිබඳ ෆිරෝන් පවසයි.

“මිනිසුන් අපේ ප්‍රජාවට කෙනහිලිකම් කිරීමට බොහෝ විට පෙළඹෙන්නේ වැරදි මත වල සිට. LGBTIQ පුද්ගලයන් යනු කවුරුන් ද කියා ඔවුනට නිසි අවබෝධයක් නැහැ. අවබෝධයක් නොමැති දේ ඉදිරියේ මිනිසා භීතියට පත් වෙනවා. විටින් විට මම ඔවුනට පවසා තිබෙනවා, සමරිසි, හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගයන් කියන්නේ මේ සමාජයේ ම ජීවත් වන කොටසක්, ඔවුන් තුළද විවිධ දක්ෂතා හා කුසලතා පවතිනවා, ඔවුන් ද මේ සමාජයට දායකත්වයක් සිදු කරනවා. මගේ මානව හිමිකම් ක්‍රියාකාරී දිවිය තුළ ද මේ පිළිබඳ දැනුවත් කිරීම් රාශියක් සිදුකොට තිබෙනවා.”

බලධාරීන්ගේ භීතිකාව    

ශ්‍රී ලංකාව තුළ LGBTIQ ප්‍රජාව මුහුණ පාන මානව හිමිකම් කඩවීම් පිළිබඳ අප කළ විමසීමේදී ෆිරෝන් පවසා සිටියේ, බොහෝ විට මෙය සිදුවන්නේ රජයේ ආයතන වල බවයි.  

“අපගේ ප්‍රජාවේ පුද්ගලයින් කොන් කිරීම් වලට ලක්වූ සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා අවස්ථා ගණනාවකදීම, විශේෂයෙන් ම රෝහල් වල. සමරිසි පුද්ගලයකු ලිංගාශ්‍රිත ආසාදනයක් සඳහා පරීක්ෂාවක් කර ගන්න ගිය විට, හෙදියන්, සුළුකාර්‍ය සේවකයින් ඔවුනට විෂම ලිංගිකයකු ලෙස හැසිරෙන්නටත්, නිසි පරිදි ඇඳුම් ඇඳීමටත්, කතා විලාශය ගමන් විලාශය වෙනස් කර ගැනීමටත් තරවටු කළ අවස්ථා තිබෙනවා. එහෙම පවසන එක හරිම අසංවේදීයි. ප්‍රජාව තුළ වුවත් පුද්ගලයින් විවිධාකාරයි, ඇවිදීමේ, කතා බහේ ලාලිත්‍යයක් පැවතීම තුළ පුද්ගලයකු සමරිසි යැයි මනින්න බැහැ. ඔවුන් අපේ ප්‍රජාව විහිළුවකට ගන්නවා.”

සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ සිදුවන තවත් අකටයුත්තක් පිළිබඳ ෆිරෝන් අප සමඟ හෙලි කලේය. එනම්, ඇතැම් විට ප්‍රජාවේ පුද්ගලයකු (සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු) වෛද්‍ය පරීක්ෂාවක් සඳහා පැමිණි විට ඔවුන්ගේ නම ඉතා හඬින් යුතුව අමතා ඔවුනට සිදුකර ගැනීමට තිබෙන පරීක්ෂණය අනෙකුත් පුද්ගලයින්ට ද ඇසෙන පරිදි හඬ ගා කීමයි. මෙමඟින් කොපමණ අපහසුතාවකට ප්‍රජාවේ පුද්ගලයන් පත්වන්නේ දැයි ෆිරෝන් පහදා දෙයි.

“වර්තමානය වන විට 80% පමණ රෝහල් කාර්‍යමණ්ඩල විවිධ ලිංගික දිශානතීන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවන් පවතින පුද්ගලයන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කර තිබෙනවා. එහෙත් 20% පමණ ඉතිරි වන පුද්ගලයින් අතර තවමත් අර යල් පැන ගිය මත පවතිනවා. මොවුන් රෝහල් කාර්‍යමණ්ඩල වල කීර්තිනාමය පවා මෙමඟින් විනාශ කරනවා. අපේ ප්‍රජාව අතර ලිංගාශ්‍රිත ආසාදන ව්‍යාප්තිය වැඩිවෙනවා නම් ඔවුනද වක්‍රාකාරයෙන් එයට වගකිව යුතුයි. මන්ද ඔවුන්ගේ මෙම හැසිරීම නිසා තමයි සමරිසි පුද්ගලයකු වෛද්‍යවරයකු වෙත යොමුවීමට පවා බිය වන්නේ.”

සමාජ ආකල්ප වෙනස් කිරීම

ෆිරෝන් පවසන පරිදි කෙනහිලිකම් සිදුවීම පිටුපස පවතින ප්‍රධාන හේතුව වන්නේ මිනිසුන්ගේ නොදැනුවත්භාවයයි. සමාජය LGBTIQ ප්‍රජාව පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත් බව පවසන ෆිරෝන් කිසිවිටක පුද්ගලයකුගේ කතා විලාශය, ගමන් විලාශය හෝ ඇඳුම් පැළඳුම් මත් ලිංගිකත්වය තීරණය කළ නොහැකි බව අවධාරණය කරයි.

“මෑත කාලයේදී පැවැත්වූ පර්යේෂණයකදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මෙසේ පැවසුවා: ‘අප මුණ ගැසුණු සමරිසි පුද්ගලයින් හරිම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒත් ඔබ ප්‍රජාවේ සමහර අය සමරිසි යැයි හඳුනා ගන්න අමාරුයි’ කියා. මේ ප්‍රකාශය තුළින් ම පේනවා අපේ සමාජය මොන තරම් ප්‍රාථමිකද කියන බව. ඔවුන් තුළ අප කෙරේ ඒකාකෘතියක් පවතිනවා. ඔවුන් සිතන්නේ සියළු සමරිසියන් ලාලිත්‍ය ගති පැවතුම් පවතින පිරිසක් විය යුතුය කියා. සියළු සමරිසියන් හරස් විලාසිතාකරුවන් කියා. ඔවුන් ජීවත් වන වෙනමම ජීවන රටාවක් පවතින්නේය කියා..”

තමා තුළ ලාලිත්‍ය ගති පැවතුම් නොතිබීම මත සමාජය තුළ කටයුතු කිරීමේ ගැටළුවක් පැණ නොනැගීමත්, ලාලිත්‍ය ගති පැවතුම් පවතින සමරිසියකු හට විවිධ අභියෝග වලට මුහුණ පෑමට සිදුවීමත් තුළ, ප්‍රජාවට සමාජය සැලකීමේ පවතින විෂමතාව ෆිරෝන් පෙන්වා දෙයි. චිත්‍රපටයක වූවද සමරිසි චරිතයක් පෙන්වන්නේ හාස්‍යය උපදවන අන්දමින් යැයි ෆිරෝන් පවසයි.  

“මම තාමත් දකිනවා මාධ්‍යය තුළ මේ අඩුපාඩුව, LGBTIQ ප්‍රජාවේ පුද්ගලයකු පෙන්වීමට ඔවුන් තීරණය කරනවා නම් මීට වඩා සංවේදී විය යුතුයි. එවන් චරිතයක් හාස්‍යය මතු කිරීම සඳහා යොදා ගන්නවා නම්, එයින් සමාජයට යන්නේ සමරිසියකුට සැබෑ ජීවිතයේද අප හිනාවිය යුතුය යන පණිවුඩය. අප මෙය වෙනස් කළ යුතුයි. චිත්‍රපට ක්ෂේත්‍රයේ අධ්‍යක්‍ෂකවරුන් අතර ඉතාම අල්ප දෙනෙක් පමණයි LGBTIQ ප්‍රජාවේ පුද්ගලයකු ධනාත්මක අන්දමින් ප්‍රදර්ශණය කරන්නේ.”

ෆිරෝන් සමඟ පැවති සාකච්ඡාවේ අවසන් අදියර තුළ අප උගත් වැදගත්ම කරුණ වන්නේ සමාජ පිළිගැනීම ලබා ගැනීම ශ්‍රී ලංකික LGBTIQ ප්‍රජාව මුහුණපාන ප්‍රධාන අභියෝගය බවයි. ෆිරෝන් පවසන්නේ නිසි අධ්‍යාපනයක් නොමැති ඇතැම් ශ්‍රී ලාංකික පවුල් ඒකක අතර තම දරුවන්ගේ ලිංගිකත්වය එතරම් ගැටළුවක් කර නොගන්නා දෙමාපියන් සිටින අතර, ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන උගත් බුද්ධිමත් දෙමාපියන් අතර පවා තම දරුවන්ගේ ලිංගිකත්වය ගැටළුවක් ව පවතින බවයි. මෙම තත්ත්වය ඇතිවන්නේ දැනුම බුද්ධිය අභිබවා ගිය සමාජ සම්මත කරපින්නාගෙන සිටීමට අප සමාජය දක්වන ලොල් බවයි. ආගමික, සංස්කෘතික මතවාද, එසේත් නොමැති නම් සමාජ ප්‍රතිරූපය ආරක්ෂා කර ගනු වස් යතාර්ථය සැඟවීම යන කරුණු ආදිය මත ගොඩනැංවුණු මෙම සමාජ සම්මත බැහැර කිරීමට මහා පරිමාණයේ සංවේදීකරණයක් රට තුළ ඇතිවිය යුතු බව ෆිරෝන් පහදා දෙයි.

“ඔවුන් කොහොමත් මේ පිළිබඳ දන්නවා වෙන්න පුළුවන්, නමුත් තමන්ගේ දරුවා සමරිසි ය යන යතාර්ථය දිරවා ගැනීමේ ගැටළුවක් මෙතන තිබෙන්නේ. මම බලාපොරොත්තු වනවා සමාජයේ අපට හිමි තැන ලබා ගැනීමට මේ දියත් කළ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත්, බලධාරීන් හා ජනතාව අප කෙරේ දක්වන ආකල්ප ඉදිරියේදී වෙනස් වනු ඇතිය කියාත්. අපට මනුෂ්‍යයින්ට මෙන් සලකනු මිස අපරාධකරුවන් හෝ පිටසක්වලයින් මෙන් නොසලකනු ඇතිය කියාත්..” ෆිරෝන් තම වදන් පෙළ අවසන් කළේය.     

මූලාශ්‍රය: themorning.lk | ඡායාරූප: සමන් අබේසිරිවර්ධන

(http://epaper.themorning.lk/Home/ShareArticle?OrgId=b879367e&imageview=0&fbclid=IwAR1AqNqQk87IPsJRywbPj-2rX9bTkHaZEadsKd2qDKQ78YBxyLybGTLRa2M)

MIAP