වෛරය නොමැත්තේද ඇත්තේ ආදරයයි, ආදරය ඇත්තේද එය පිළිගැනීමයි..

වෛරය නොමැත්තේද ඇත්තේ ආදරයයි, ආදරය ඇත්තේද එය පිළිගැනීමයි..

24 February 2019 06:45 am

බහුතරයක් ඉදිරියේ සුළුතරය කැපී පෙනීම සාමාන්‍යයකි. එහෙත් බහුතරයක හස්තය ක්‍රියාත්මක වන්නේ සුළුතරයේ පැවැත්ම හතුගා දැමීමට නම්, එය ප්‍රශ්ණ කළ යුතු වන්නේ තිරිසන්භාවයෙන් වසර සිය දහස් ගණනකට පෙර මිදුණු මිනිසා තවමත් එතැනම හිඳ කටයුතු කරන්නේ ද යන සැකය එමඟින් ගම්‍ය වන නිසාවෙනි. නූතන ලෝකය තුළ වසන විවිධත්වයට ගරු කරන ප්‍රගතිශීලී ලෝ වැසියන් අතර, යල් පැන ගිය මත දරන යම් පිරිසකගේ හස්තයට යම් සුළුතර ප්‍රජාවක් හසුවන්නේ ද, ඒ තුළ නියෝජනය වන්නේ සමස්ත රටකට උරුම කොට දුන් අපකීර්තියකි.  
ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත බහුතරයක පැවැත්මට අනුකූල නොවන ප්‍රජාවක අරගලය ඇරඹෙන්නේ මෙතනනි. ශ්‍රී ලාංකීය සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන් ගේ මානව හිමිකම් අරගලය තුළ කියා පාන්නේ හුදෙක් යල් පැන ගිය අධිරාජ්‍යවාදී නෛතික නටඹුන් ගේ ප්‍රතිසංස්කරණය පවා අභිබවා ගිය සමාජීය ආකල්පමය වෙනසක් උදෙසා වූ බල කිරීමයි. මේ පිළිබඳ අප සමඟ කතා බස් කිරීමට අද දින පැමිණෙන්නේ ප්‍රභාත් ය.
 
නිදහසේ ඇති දැඩිවූ දරුවකු ලෙස, තම ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක නොසිටි ප්‍රභාත් පවසන්නේ එය අවබෝධ වීමට තමා හට යම් කාලයක් ගත වූ බවයි.
 
“පාසල් කාලයේදී, මාත් සමඟ පාසල් ගිය අනෙත් පිරිමි ළමුන් ගෙන් වෙනස් බවක් කවදාවත් මට දැනුනේ නැහැ. මට වයස 14 දී, පාසලේ පිරිමි ළමුන් ගැහැණු ළමුන් ගැන කතා කරනවා, තවත් පිරිසක් ඔවුන් යාළු වෙලා ඉන්න ගැහැණු ළමුන් ගැන කතා කරනවා. මට ගැහැණු ළමුන් ගැන ආශාවක් තිබුණේ නැහැ. ඒත්.. පොඩ්ඩක් ආපස්සට කල්පනා කරලා බැලුවොත්, ඇත්තටම එහෙම කියලා මට පිරිමි ළමුන් ගැන ආශාවක් තිබුණේත් නැහැ.”
 
කිසිවකුත් පිළිබඳ හැඟීමක් නොපැවතීම ප්‍රභාත්ගේ සිතේ දෙගිඩියාවක් ඇති කරවන්නට ද විය. නව යොවුන් වියට පැමිණීමත් සමඟ මෙය තවත් උත්සන්න වන්නට ඇත. තමා පිළිබඳ පැටළුම් සහගතව සිටි ප්‍රභාත් අවසානයේ මේ පිළිබඳ තම පන්තියේ මිතුරකු සමඟ කතා කරන්නට තීරණය කරයි.   
 
“විවිධ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයන් හා ලිංගික දිශානතීන් පිළිබඳ පොතපත තොරතුරු කියවන මිත්‍රයෙක් මගේ පන්තියේ හිටියා. අපේ සම වයසේ හිටපු සෑම දෙනෙකුම පාහේ ආදර සම්බන්ධතාවයක් පවත්වන්නේ හෝ හිත ගිය ගැහැණු ළමයකු පිළිබඳ කතා බස් හරි කරනවා, ඒත් මට කිසිම ගැහැණු ළමයකු කෙරේ හිත නොයන බව මම මගේ මිතුරාත් සමඟ පවසා සිටියා. මේක අහගෙන හිටපු මගේ මිතුරා හිනා වෙලා කිව්වා, ‘මචං, උඹ ගේ (සමරිසි) වෙන්න පුළුවන්. මම ඒ ගැන කියවලා තියනවා, උඹත් කියවපං’ කියලා.. ”
 
තම මිතුරාගේ ඉඟි කිරීම මත, ප්‍රභාත් ද LGBTIQ ප්‍රජාවන් පිළිබඳ තොරතුරු කියවන්නට විය. මේ අතරම ප්‍රභාත් ගේ අනෙකුත් මිතුරන් ඔහු නොමැති තැන මේ පිළිබඳ දැඩි අන්දමින් වාචික වන්නට ද විය.
 
“මම දැන ගත්තා පන්තියේ අනෙක් ළමුන් මගේ ලිංගිකත්වය පිළිබඳ කතා කරන්නට පටන් අරන් කියලා, හැබැයි කවදාවත් මම ඉන්න තැන මාව කොන් කරේ වත්, වෙනස් කොට සැලකීම් වත් කරේ නැහැ. හැමෝම මාත් එක්ක හොඳින් හිටියා. මම මගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගිය නිසා, සමහර ළමුන් ඔවුන්ගේ පාඩම් වැඩ වලට මාවත් සම්බන්ධ කර ගත්තා. ”
 
ගෙදරින් මේ ගැන මුල ඉඳලාම දැනගෙන හිටියා !
 
ප්‍රභාත් පවසන අන්දමට, තම පවුලේ සාමාජිකයන්ට තම ලිංගිකත්වය පිළිබඳ හෙලිකිරීමට කිසිදිනක අවශ්‍යය වී නැත. තම මවත්, සොයුරියත් මේ පිළිබඳ මුල සිටම දැන සිටින්නට ඇති බව ප්‍රභාත්ගේ විශ්වාසයයි. තමා ජීවත් වන අන්දමේ හෝ සමාජගත වන්නට බලාපොරොත්තු වන අන්දමේ වෙනසක් සිදුවන්නේ නම් යහපත් යැයි ප්‍රභාත් ගේ මවත්, සොයුරියත් පැවසූ හෝ ඉඟි කළ අවස්ථා ගණනාවක් ම තිබෙන්නට ඇත. එහෙත් කිසිවිටක, එම දෙපළ ප්‍රභාත්ගේ ජීවන විලාශය වෙනස් කර ගැනීමට බලකොට හෝ බලපෑම් සිදුකොට නැත.
 
“මගේ තාත්තා නැති වෙනකොට මම ගොඩක් පොඩියි, එම නිසා ඒ කාලේ ඉඳලාම මම මගේ අක්කා ටත් අම්මා ටත් ගොඩාක් සමීපයි. ඒ ගොල්ලෝ මම ගැන ඒ කාලේ ඉඳලාම දැනගෙන හිටියා. ඒත් කවදාවත් මගේ ලිංගිකත්වය වෙනස් කර ගන්නට කියා බලපෑම් කළේ නැහැ. පාසල් කාලයේදී වත්. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මම රැකියාවක් කරන්නට පටන් ගත් කාලයේදී, ඒ දෙදෙනාම මට විවාහ යෝජනා හොයන්නට පටන් ගත්තා. විවාහය කියන කාරණය පිළිබඳ ඒ ගොල්ලෝ මතු කරපු හැම අවස්ථාවකම මම එය මඟහැර හිටියා.”
 
මේ වන විට, තමා තවත් පිරිමි ළමයකු සමඟ පවත්වා ගෙන ගිය ප්‍රේම සබඳතාවක් පිළිබඳ ප්‍රභාත්ගේ සොයුරියට දැන ගන්නට ලැබෙයි.
 
“මට ගෙනාපු හැම විවාහ යෝජනාවක් ම මම ප්‍රතික්ෂේප කරපු නිසා, එක දවසක් අක්කා මගේ මූණටම ඇහුවා මම තාමත් ඒ පිරිමි ළමයා සමඟ සම්බන්ධතාවක් පවත්වනවා ද කියලා. අක්කා මේක ඇහුවේ ඇත්තටම අම්මාත් ඉස්සරහා මයි!”
 
තම පෙම්වතා පවුලට හඳුන්වා දෙන ලෙස සොයුරිය ඉල්ලා සිටි බව ප්‍රභාත් අප සමඟ පැවසුවේය. එම දෙබස යලි ආවර්ජනය කරමින්, “ඔයා යාළු වෙලා ඉන්න පිරිමි ළමයා හොඳ කෙනෙක් බව පේනවා, වෙලාවක එයාට අපේ ගෙදර එන්න කියන්න ” යැයි ඈ පවසා ඇත. තම සොයුරිය ගේ මෙම ආරාධනය මත, තම ලිංගිකත්වය හෝ ජීවන විලාශය පිළිබඳ තම පවුල හොඳින් ම දැන සිටි බවත්, ඒ පිළිබඳ තවදුරටත් ප්‍රශ්ණ නොකරන බවටත් ප්‍රභාත් ට අවබෝධ වී ඇත.  
 
සමාජ පසුගාමීත්වය
 
ඉතාමත් ගතානුගතික සමාජ වටපිටාවක හැදී වැඩුණු ප්‍රභාත්ගේ අසල්වාසීන් නිතරම ඔහු ගමේ අනෙකුත් පිරිමි ළමුන් සමඟ හමු නොවන්නේ හෝ ක්‍රීඩා නොකරන්නේ මන් දැයි ප්‍රශ්ණ කොට ඇත. ගමේ සැරිසැරූ පිරිමි ළමෝ කල්ලි හෝ, රස්තියාදු ගසන පිරිමි ළමුන් කණ්ඩායම් කිසිවක් අතර ප්‍රභාත් දක්නට නොවීය.
 
“සමහර වෙලාවට මම පාරේ යනකොට මිනිස්සු මට කෙණහිලිකම් කරලා තියනවා. ඒ ගොල්ලෝ මගේ දිහා බලලා, ‘අර බලපන්, අන්න අර ගෑණි යනවා’ යැයි කියලා තියනවා. මම දවස් කිහිපයක් එය ඉවසුවා. ඒත් බැරිම තැන, ඒ ගොල්ලන්ගේ කටවල් වැහෙන්න මම කතා කරා.”
 
ප්‍රධාන මූල්‍ය කලමනාකරණ නිලධාරී හා භාණ්ඩාගාරික වශයෙන් ප්‍රභාත් කටයුතු කරන ආයතනය ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය වැළැක්වීම හා සමාජ අවබෝධය ගොඩනංවනු වස් ස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ ඉදිරියේදී දියත් කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතීන් සම්බන්ධ අප කළ විමසුමකදී ප්‍රභාත් පවසා සිටියේ, 2019 වර්ෂයේදී තම ආයතනය HIV මර්දන ව්‍යාපෘතිය දිවයින පුරා දිස්ත්‍රික්ක 08 ක සිදු කිරීමට නියමිත බවයි.  
 
“යං අවුට් හියර් ශ්‍රී ලංකා (Young Out Here Sri Lanka) තරුණ සංවිධානය ආරම්භ වන්නේ 2012 වර්ෂයේදී. එහෙත් අප ගොඩක්ම සක්‍රිය වන්නට පටන් ගන්නේ 2017 වර්ෂයේදී සිට පමණ. 2018 වර්ෂයේ අගභාගයේ පටන් රජයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස කටයුතු කිරීම ආරම්භ වනවා. ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික දිශානතීන්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයන් හා ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ (Diverse Sexual Orientations, Gender Identities and Biological Sex Characteristics) ඇති ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා වූ වැඩමුළුවන් මෙන්ම ඔවුනට අවශ්‍ය සහචර දැනුවත් කිරීම් හා සහයෝගය ලබා දීමට අප කටයුතු කරනවා.”
 
මීට අමතරව තම සංවිධානය විසින් මෙහෙයවන යූටියුබ් චැනලය හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රජා දැනුවත් කිරීමේ කරුණු මෙන්ම, පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය (Comprehensive Sexuality Education) හා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා බැඳි ආන්තික ජන කොට්ඨාශයන් ගේ මානව හිමිකම් පිළිබඳ තොරතුරු ලබා දෙන බවට ප්‍රභාත් පවසයි.  
 
සාකච්ඡාවේ අවසන් අදියර තුළදී, ප්‍රභාත් පවසා සිටියේ සමාජය විසින් LGBTIQ ප්‍රජාවන් පිළිගැනීමට සුදුසුම කාලය දැන් එළඹ ඇති බවයි. සමාජීය පිළිගැනීම පැමිණෙන්නේ පියවරෙන් පියවරට බවත්, එය පවුල් ඒකකය තුළින් ආරම්භ වී, යහළු මිත්‍රයින්, ගම, නගරය, රැකියා ස්ථානය හා අවසානයේ සමස්ත සමාජය තුළත් ව්‍යාප්ත විය යුතු බව ප්‍රභාත් විශ්වාස කරයි.
 
ප්‍රභාත් ප්‍රාර්ථනා කරන්නේ තමා ජීවත් ව සිටින කාලය තුළ හෝ ශ්‍රී ලාංකීය සමාජය පවතින මෙම යල්පැන ගිය මානසිකත්වයෙන් මිදෙනු ඇති බවත්, LGBTIQ ප්‍රජාවන් නීතිය ඉදිරියේ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීම නතර වනු ඇති බවත් ය.
 
“කිසිම කෙනෙක් තවත් කෙනෙකු ව පහත් කරලා දකින එක අනුමත කරන්න බැහැ, විශේෂයෙන් ම ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව වගේ කාරණාවකදී. ලිංගිකත්වය අතින් සුළුතර ප්‍රජාවේ පුද්ගලයකුත් අනෙකුත් පුද්ගලයන් මෙන්ම සමාජයට සමානව සේවයක් සිදු කරනවා නම්, ඔවුන් තුළ පවතින හැකියා හා කුසලතා මඟින් මේ සමාජය ජීවත් වීමට වඩාත් යහපත් ස්ථානයක් බවට පත්කිරීමට දායක වනාවා නම්, ඇයි ඔවුනට වෙනස්කම් කරන්නේ? කෙනහිළිකම් කරන්නේ? අපි හැමෝම එක වගේ මේ සමාජය ට වැදගත් නැත්ද? අපි මිනිසුන් නෙමේද? මම විශ්වාස කරන්නේ නම් වෛරය නොමැති තැන පවතින්නේ ආදරය බවයි. ආදරයක් තියෙන්නේ කොතනද, එතන පවතින්නේ පිළිගැනීමයි. යහපත් සමාජයක්, විවිධත්වයට ගරු කරන සමාජයක් අපේ රටේත් බිහි වෙන්න කියන ප්‍රාර්ථනය තමයි මගේ තිබෙන්නේ.”
 
නොහඳුනන්නකු හැඳිනීමට ගත වන්නේ තත්ත්පර කිහිපයකි. හඳුනන්නකු මිතුරකු වීමට ගතවන්නේ මිනිත්තු කිහිපයකි. එහෙත් නොහඳුනන්නකුගේ පෞද්ගලිකත්වය අරඹයා බිහි භීතිය වෛරයක් දක්වා උත්සන්න වීමට ගතවන්නේ තත්ත්පරයකටත් අඩු කාලයකි. ප්‍රභාත් ගේ හමුවීම තුළ අප වටහා ගත් වැදගත්ම කරුණ වන්නේ වෛරය මුලිනුපුටා දැමීමට සුදුසුතම ආයුධය වන්නේ ආදරය බවයි.
 
MIAP
 
මූලාශ්‍රය: The Sunday Morning | ඡායාරූප: සමන් අබේසිරිවර්ධන