සියල්ල අනන්‍යතාවක් දරයි, අනන්‍යතාවයේ සුළුතරයකට පමණක් වෙනස්කම් කරයි !

සියල්ල අනන්‍යතාවක් දරයි, අනන්‍යතාවයේ සුළුතරයකට පමණක් වෙනස්කම් කරයි !

18 March 2019 10:37 am

HIV සමඟ ජීවත් වන පුද්ගලයකු වශයෙන් ද, පාරලිංගික අනන්‍යතාවයක් දරණ පුද්ගලයකු වශයෙන්ද පිටතට පැමිණීමට ගත් තීරණය ඉදිරියේ ශ්‍රියාල් නිලංක හට මුහුණ පෑමට සිදු වූයේ සුළුපටු අත්දැකීම් සමුදායක් නොවේ.

'සමාජ මාධ්‍යජාල, සබඳතා ඇතිකර ගැනීම සඳහා පවතින ජාල (dating sites) වගේ දේවල්වලින් තමයි මගේ ලිංගික දිශානතිය කුමක්දැයි හඳුනා ගැනීමේ ගමන්මඟ මා ආරම්භ කළේ. මේ වන විට මා රැකියා කළ ස්ථානයේ කිසිවක් මා පිළිබඳ දැන සිටියේ නැහැ. මිනිසුන් අන්තර්ජාලය ඔස්සේ මට කෙනහිලිකම් කරන්න පටන් ගත්තා, මා යොදා ගෙන මීම්ස් හැදුවා. මේ තත්ත්වයත් එක්ක මුහුණ දීමට අපහසු බව මා හට තේරුණු නිසා මට මගේ සේවා ස්ථානය වෙනස් කරන්නට සිදු වුණා.'

චිත්‍රපටකරණය හා සන්නිවේදනය පිළිබඳ අධ්‍යාපනය හදාරා සිටි ශ්‍රියාල්, තම නිශ්පාදන හා ඩිජිටල් මාධ්‍යය හැසිරවීමේ කුසලතා ශ්‍රී ලාංකීය සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ප්‍රයෝජනයට ගනු වස් සේවා ස්ථානයක් පිළිබඳ සෙවීමට උත්සුක වෙයි.

'මට මුලින්ම අවශ්‍යය වුණේ HIV පිළිබඳ අවබෝධය ඇතිකරවන ව්‍යාපෘතියක් හා සම්බන්ධ වී වැඩ කිරීමට, නමුත් එයින් මා බලාපොරොත්තු වූ දේ ඉටු කර ගැනීමට අවස්ථාවක් මට ලැබුණේ නැහැ. එම නිසා Equal Ground ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට මට හැකිවුණා. මේ කාලයේදී, මගේ මිත්‍රයින්ට, පවුලේ අයට මෙන්ම ඒ වන විට මා සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා හට පවා මගේ අනන්‍යතාවය මම හෙලි කළා. එදා සිට අද වන තුරුත් මා සමඟ සිටින සියළුම දෙනා පාහේ මගේ අනන්‍යතාවයට ගරු කරන, මා හට සහයෝගය දක්වන පුද්ගලයන්.'

පාරලිංගිකත්වය අමුතු දෙයක් නෙමෙයි !

පාරලිංගිකත්වය, නැතහොත් පෑන්සෙක්ෂුවල් (Pansexual) යන්නෙන් අදහස් වනනේ තමා කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් ආකර්ෂණය වන පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හෝ ලිංගික දිශානතිය ඕනෑම තත්ත්වයක පැවතීමට ඉඩ ඇති බවයි. ශ්‍රියාල් පැවසූ පරිදි, තම ආකර්ෂණය පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හෝ ලිංගික දිශානතියට සීමා වීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ චරිතය හා පෞර්‍ෂත්වය මත තීරණය වන්නකි. එහෙත්, ශ්‍රියාල් මත දරණ පරිදි තම ආකර්ෂණයේ වැඩි ඉඩක් පවතින්නේ පිරිමි ළමුන් හටයි.

'ගැහැණු ළමුන්, පිරිමි ළමුන් මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය තහවුරු නොකළ පුද්ගලයින් (Gender non-conformists) සමඟ මම සබඳතා පවත්වා තිබෙනවා. නමුත් මම ගොඩක් ම ආකර්ෂණය වන්නේ පිරිමින් හට හා ඔවුන්ගේ තිබෙන ශක්තියට. ඔවුන්ගේත් පෞර්‍ෂත්වයට මිස, බාහිර පෙනුම හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පාදක කරගෙන මම ආකර්ෂණය වන්නේ නැහැ. මනුශ්‍යයකු වශයෙන් කොපමණ ගතිගුණ වලින් හෙබි පුද්ගලයකු ද කියන දේටයි මම ආකර්ෂණය වන්නේ.'

ශ්‍රීයාල් ශ්‍රී ලංකාවේ HIV සමඟ ජීවත් වීම පිළිබඳ 2018 දෙසැම්බර් මස, ලෝක AIDS දිනයට (දෙසැම්බර් 1) සමගාමීව ලෝක සෞඛ්‍යය සංවිධානයේ සමාජ මාධ්‍යය ජාල ඉදිරියේ ප්‍රසිද්ධියේ කතා කරයි. මේ ඔස්සේ තම අනන්‍යතාවයත්, HIV තත්ත්වයත් පිළිබඳ විවෘතව කතා කිරීමට ශ්‍රියාල් වාචික වෙයි.

'මීට අමතරව, පහල මට්ටමේ පවතින ප්‍රජා-මූලික සංවිධාන සඳහා අවශ්‍යය ඩිජිටල් සන්නිවේදන ක්‍රමෝපායික සැලැස්ම සාදා දීම සඳහාත් මම දායකත්වය ලබා දෙනවා.'

HIV සහ ව්‍යාප්තිය

සමලිංගික සබඳතා සමාජය තුළ HIV ව්‍යාප්ත කිරීමට හෝ ආසාධිත වීමට වැඩි නැඹුරුවක් පවතින්නේ යැයි සමාජය විසින් නිර්මාණය කර තිබෙන මතවාදය පිළිබඳ විමසුමක් අපි ශ්‍රියාල් ගෙන් කළෙමු. එයට ප්‍රතිචාර දක්වමින්,

'HIV ව්‍යාප්තිය සමලිංගික සබඳතා අතර වැඩි බවට නිර්මාණය වී තිබෙන මිත්‍යාව හරිම පොදු දෙයක්. LGBTIQ නැමති ප්‍රත්‍යය බොහෝවිට අනන්‍යතාවය දේශපාලන මුහුණුවරකින් පෙන්වන්නක්. HIV මර්දන ව්‍යාපාරය තුළදී, අධි අවදානම් කණ්ඩායම් ලෙස පුද්ගල කොට්ඨාශයක් වර්ග කොට තිබෙනවා. එසේ කර තිබෙන්නේ ඔවුන්ගේ ලිංගික චර්‍යාව මත: පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (Men having Sex with Men: MSM), කාන්තා ලිංගික ශ්‍රමිකයන් (Female Sex Workers: FSW), මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන් (Drug Users: DU) ආදී වශයෙන්. මේ තුළින් සංවාදය නිර්දේශපාලනීකරණය කරනවා පමණක් නොවෙයි, පුද්ගලයකුගේ අනන්‍යතාවය පිළිබඳ අවදානයක් යොමු නොවීමත් සිදුවනවා.'

විෂමරිසි විවාහ තුළද පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (MSM ප්‍රජාවන්) සිටිය හැකි බවත්, දත්ත විශ්ලේෂණයේදී සමරිසි ප්‍රජාවන් ද MSM කාණ්ඩයට ඇතුලත් වන බවත් ශ්‍රියාල් අප හට පහදා දුන්නේය. ශ්‍රියාල් තවදුරටත් අවධාරණය කළ කරුණක් වන්නේ, ඉතිහාසය පුරා පැවති දත්ත විශ්ලේෂණයන් හා අධ්‍යයනයන් සලකා බැලූ විට, MSM ප්‍රජාවන් අතර පවතින චර්‍යාවන් සැලකිල්ලට ගෙන ඔවුන් අතර HIV ව්‍යාප්තිය සඳහා ඇති අවදානම සඳහා වැඩි අවදානයක් යොමුවී ඇති බවය.

'අධි අවදානම් කණ්ඩායම් සඳහා මර්දන ව්‍යාපාරය තුළ වැඩි අවදානයක් යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ, දැනට වාර්තා වන පරිදි HIV සමඟ ජීවත් වන පුද්ගලයන් 4,500 පමණ සිටිනවා. එය රටෙහි සමස්ත ජනගහනයෙන් 1% කටත් අඩුයි. මෙහිදී HIV සඳහා වැඩි අවදානමක් පවතින මෙන් වැඩි වගකීමක් සමරිසි ප්‍රජාව හා MSM ප්‍රජාවන් වෙත පවරා තිබීම නිසා, වෛද්‍ය පරීක්ෂාවන් වෙත යොමු කරවන්නේ බොහොමයක් අධි අවදානම් කණ්ඩායම් පමණයි. එහිදී විෂමරිසි අනන්‍යතාවක් පවතින පුද්ගලයන් මඟ හැරෙනවා. MSM පුද්ගලයන් විෂමරිසි ප්‍රජාව අතරද සිටින නිසා, මම විශ්වාස කරනවා බොහොමයක් මෙම දත්ත අවුල් සහගතයි.'

ශ්‍රියාල් පෙන්වා දෙන අන්දමට MSM පුද්ගලයන් යනු සමරිසි හෝ සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්ම නොවේ. ඔවුන් අතර ඉඳහිට පිරිමින් සමඟ ලිංගික චර්‍යාවන්හි නිරත වන, එහෙත් සමාජය තුළ විෂමරිසි අනන්‍යතාවක් ගත කරන පිරිමින් ද සිටිය හැක. පර්යේෂණයන් සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ, ඔවුන්ගේ පසුගිය මාස 6ක MSM චර්‍යාවන් පමණකි.

උද්දේශනය හා අවබෝධය නැංවීම

'මේ අනුව බලන කොට, ඇත්තටම අපි සමූහයක් වශයෙන් දත්ත දෙස නිවැරදිව අවදානය යොමු කරන්නේ නැහැ. එමෙන්ම, පුද්ගලයකුගේ ලිංගික දිශානතිය පාදක කරගෙන ඔවුන් HIV සඳහා කොපමණ අවදානමකින් පසුවනවාද කියන දේ ගැන කතා කරන්නට මිනිසුන් හරි කැමතියි. අවාසනාවකට, මේ සංවාදය විෂමරිසි පුද්ගලයන් ඉලක්ක කර ගන්නේ නැහැ. වෙනකක් තබා, ඔවුන් අතර සිදුවන ලිංගික සබඳතා වලදී ලිංගාශ්‍රිත ආසාදන සම්බන්ධව අවදානයකින් පසුවන්නේද හෝ, ඔවුන්ගේ කාලාත්‍රයන්/පෙම්වතුන්/පෙම්වතියන් ලිංගික සබඳතා වලදී උපත් පාලනය සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ ද කියා වත් අසන්නේ නැති තරම්.'

HIV මර්දනය කිරීමේ ව්‍යාපාරය තුළ තම දායකත්වය කෙබඳුද කියා අප කළ ප්‍රශ්ණ කිරීමේදී ශ්‍රියාල් පවසා සිටියේ, තමා ක්ෂේත්‍රය තුළ පුද්ගලයන් ඒකකෘතියකට ලක්කිරීමට භාවිතා කරන වදන් වෙනුවට ‘ලිංගිකව සක්‍රිය පුද්ගලයකු’ ලෙස ඔවුන් හඳුන්වන බවයි.

'වෛද්‍ය පරීක්ෂාවක් කර ගැනීම තමා සතු වගකීමක්. ඕනෑම ආකාරයේ ලිංගාශ්‍රිත ආසාදනයක් පවතින්න පුළුවන් එක හා සමානව. පූර්ව සූදානමකින් පරීක්ෂාවක් කර ගන්නවා නම් ඉතා ඉක්මනින් ආසාදනයක් පාලනය කරන්න පුළුවන්. එමෙන්ම තම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ මනා අවබෝධයකින් පසුවීමත්, මේ පිළිබඳ තම සහකරුවන් සමඟ විවෘතව කතා බස් කිරීමත් ඉතාම වැදගත් වෙනවා. වෛද්‍ය පරීක්ෂාවක් කර ගැනීමට කවුරුවත් ඔබට බලපෑම් කළ යුතු නැහැ. එය තමා විසින්ම අවබෝදයෙන් ලබා ගත යුතුයි. එය තමන්ගේ පෞද්ගලික තීරණයක්. මේ අන්දමට ක්‍රියා කරනවා නම්, ඔබ ඉදිරියේදී සම්බන්ධ වන පුද්ගලයන් හා වගකීමකින් කටයුතු කිරීමට පහසු වේවි.'

හැමෝටම අනන්‍යතාවක් තිබෙනවා, පිරිසකට විතරක් වෙනස්කම් කරනවා.. මේක තවරාගත් සංස්කෘතියක්!

ශ්‍රියාල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වීය කාලීන සමාලෝචනය (Universal Periodic Review: UPR) තුළ LGBTIQ ප්‍රජාවන්ගේ ගැටළු සඳහන් කළ පුද්ගලයෙකි. සභාව තුළ තම කතාවෙන් ලැබූ ප්‍රතිචාර කෙබඳුදැයි අප කළ විමසීමේදී ශ්‍රියාල් පවසා සිටියේ LGBTIQ ප්‍රජා ගැටළු සුළුතර ගැටළු ලෙස ඔවුන් හඳුනා ගන්නා බවත්, එය එසේ විය නොහැකි බවත් ය.

'හැමෝටම ලිංගික දිශානතියක් තිබෙනවා, හැමෝටම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවක් තිබෙනවා, එහෙත් ඒ අනන්‍යතාවයන්ගෙන් සුළුතර පිරිසකට පමණක් වෙනස්කම් කරනවා. සිස්-සමාජභාවී කාන්තාවකට වුවත් සිස්-සමාජභාවී පිරිමියකුට සාපේක්ෂව වරප්‍රසාද, සමාජ තත්ත්වය වගේ හැම කාරණයකදීම වැඩි වශයෙන් වෙනස්කම් සිදුවනවා.'

සිස්-සමාජභාවය (cis-gender) යනු ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත කායික හා මානසික ශරීර අතර ගැලපීමක් පැවතීමයි. සංක්‍රාන්ති සමාජභාවය මෙමඟින් වෙනස් වන්නේ එම කායික හා මානසික ශරීර අතර නොගැලපීමක් පවතින නිසායි.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව සමලිංගික සබඳතා හා චර්‍යාවන් නීතිවිරෝධී වූවද, ශ්‍රියාල් පවසන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ ඉතාම පටු අරමුණු වෙනුවෙන් වැසූ දොරවල් පසුපස සිට බවයි. තම අත්දැකීම් නිදසුන් කොට ශ්‍රියාල් පවසන්නේ තම මිත්තණිය තම සබඳතා හා ජීවන විලාශය අනුමත කළද, තම මව සමඟ මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකි බවයි.

'සමලිංගික සබඳතා නීතිවිරෝධී වන අතරතුර, සමලිංගික චර්‍යාව සමාජය තුළ යම්තාක් දුරකට සාමාන්‍යකරණය වී තිබෙනවා. වර්තමානය වන විට, ආදි කාලීන බටහිරකරණය වූ වෙනස් කොට සැලකීමේ නීති රාමුන් තුළින් මේ දෙස බලමින් අපේ සංස්කෘතියට පටහැනියි කියලා අපි කෑ මොර දෙනවා. මේ නීතීන් ස්ථාපිත වුණේ වික්ටෝරියානු පාලන සමයේදී. අන්තර්ජාතික වේදිකාව ඉදිරියේ මෙම ගැටළුව සඳහන් කිරීමට හැකියාව ලැබීම ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවන්ට ඉතා ප්‍රයෝජනවත් වූයේ යැයි මම විශ්වාස කරනවා.'

ජගත් මානව හිමිකම් වේදිකාව ඉදිරියේ කළ කතාව අතරතුර, ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවන් මුහුණපාන දෛනික ගැටළු පිළිබඳ නොයෙකුත් තානාපතිවරුන් සමඟ තමා කතාබස් කළ බවත්, එහිදී මතුකල වැදගත්ම කරුණ නම් තම අනන්‍යතාව හෝ දිශානතිය පිළිබඳ විවෘත සංවාදයකට පැමිණීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් ශ්‍රියාල් අප සමඟ පැවසුවේය.

'මිනිසුන් තම අනන්‍යතාව සඟවා ගැනීමට පෙළඹීමට හේතු රාශියක් තිබෙනවා; එම හේතූන් තමාගේ පාලනයෙන් තොර විය හැකියි. උදාහරණයක් වශයෙන්, ඔබ කොල්ලෙකු නම්, ඔබට සහෝදරියන් සිටී නම් ඔවුන් නිසි පරිදි ආවාහ කර දීමට තම අනන්‍යතාවය සඟවා ගන්න සිදු වනවා. ඔබ වෘත්තිකයකු නම්, මේ තුළින් මිනිසුන් ඔබ වෙත පැමිණීමෙන් වැළකී සිටීමට හෝ නිග්‍රහ කිරීමට ඉඩ තිබෙනවා. පිටතට පැමිණීම මනුශ්‍යයකුගේ ජීවිතයේ විවිධ අවදීන් තුළ සිදුවිය හැකියි. ඇත්තෙන්ම, ඒ සඳහා විශාල ධෛර්‍යසම්පන්න බවක් අවශ්‍යයි.'

ශ්‍රියාල් සමඟ කළ සාකච්ඡාවේ අවසන් අදියර තුළ, තමා පෙන්වා දෙන්නේ පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව හෝ ලිංගික දිශානතිය මත වෙනස්කමකට ලක් නොවී ගෞරවණීය පුරවැසියෙකු ලෙස ජීවත් වීමට සුදුසු වටපිටාව සාදා දීමේ වගකීම පැවරෙන්නේ සමාජය ට බව ශ්‍රියාල් පවසයි. පුද්ගලයකුගේ අනන්‍යතාව ඉදිරියේ වෙනස්කොට සැලකීම් වලට ලක් කිරීම හෝ අපහාසාත්මක අන්දමින් නාමකරණය කිරීම ඉතාමත් වැරදි හා පහත් ක්‍රියාවකි. LGBTIQ ප්‍රජාවන්ට සහයෝගය දීමට කැමති LGBTIQ නොවන පුද්ගලයන් හට පවා සමාජය සලකන්නේ ද ඒ අයුරින්ම බවත්, ඔවුනද LGBTIQ නාමකරණයට ලක්කිරීමට සමාජය වෙර දරන්නේ යැයි ශ්‍රියාල් පෙන්වා දෙයි.

සේරා හැනන් | The Sunday Morning | ඡායාරූප: ඉන්දික හඳුවල
පරිවර්තනය: MIAP (ලංකා නිව්ස් වෙබ්)